ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අව අටවක පෝ දා 2026 ඔක්තෝබර් 03 සෙනසුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අව අටවක පෝ දා 2026 ඔක්තෝබර් 03 සෙනසුරාදා
නිවස විශේෂාංගසන්සුන් මනස ජීවිතයට ආලෝකයක්

සන්සුන් මනස ජීවිතයට ආලෝකයක්

by Thanushika
October 10, 2026 12:21 am 0 comment

බුරුමයේ උපත ලද වෛද්‍ය තින් තින් මහත්මිය ධර්මධර ආචාර්යවරියකි. ඇය සතිපට්ඨාන භාවනාව පිළිබඳ උපදේශිකාවක් වන අතර, විපස්සනා භාවනාව ද උගන්වයි. ඇය විසින් පවත්වනු ලබන දහම් වැඩසටහන් ඇතුළත් කර ධර්ම කෘතියක් එළිදක්වා ඇත. එම කෘතියේ සිංහල පරිවර්තනය වූ ‘ජීවිතය ම භාවනාවකි’ ග්‍රන්ථයෙන් මෙම ලිපිය උපුටා ගැනිණි.

මට කරදර, චිත්ත පීඩා මහා රාශියක් තිබෙනවා. මම හිත සන්සුන් කර ගන්න හිතාගෙන භාවනා කරනවා. ඒත් ඒකෙන් පලක් වෙන්නේ නෑ.

මේ මහා අධිවේගී ලෝකයේ මිනිස්සු භාවනාව ගැන හිතන්නේ ජීවිතයේ දුක් කරදරවලට ක්ෂණික සහනයක් දෙන දෙයක් කියලයි. භාවනාව හුදෙක් ම සිත සන්සුන් කරන්නක් හැටියට විතරක් සැලකුවොත් ඔබ එහි සැබෑ අගය අවතක්සේරු කරනවා. ඇත්ත තමයි. භාවනාව තුළින් සිත සන්සුන් වෙනවා. ඒත් ඒක භාවනාවේ ප්‍රතිඵල රාශියෙන් එකක් විතරයි. බුද්ධ ධර්මයට අනුව භාවනාව කියන්නේ ක්ෂණික ප්‍රතිකාරයක්වත්, හුදෙක් ම ආතතිය නැති කරන ක්‍රමයක්වත් නොවෙයි.

බුද්ධ ධර්මයට අනුව භාවනාව කියන්නේ ප්‍රඥාව උපදවාගෙන, අන්තිමේ දී විමුක්තිය හෙවත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මනස පුහුණු කිරීමට යි.

මට භාවනා කරන්න ඕනෑ. ඒත් ඒකට වෙලාවක් හොයාගන්න බෑ. මෙය බොහෝ දෙනකුගේ මැසිවිල්ලයි.

ඔබ භාවනාව ගැන කියනකොට හිතනවා ඇත්තේ මේ කාලයේ ජනපි‍්‍රය වෙලා තිබෙන පර්යංක භාවනාව ගැන වෙන්න ඕනෑ. ඒත් ඒ ක්‍රමය හුදෙක් ම උපකාරයක් විතරයි. සතිමත් බවත්, උපේක්ෂාවත් ඇතිවන විදියට මානසික සංවර බව දියුණු කරන ක්‍රමයක් විතරයි. ක්‍රමය, මාර්ගය ලෙස වරදවා ගත යුතු නෑ.

සාමාන්‍ය ජනපි‍්‍රය අදහස තමයි භාවනා කරන්න යම් විශේෂ වෙලාවක් හෝ තැනක් හෝ වෙන් කර ගන්න ඕනෑ කියන එක. ඇත්තට ම භාවනාවෙන් විය යුත්තේ ඔබ ජීවිතයේ එදිනෙදා කටයුතු කරනවිට මානසික සහනයක් ලබා දීමට උපකාර වීම නම්, භාවනාව ගතික කාර්යයක් විය යුතුයි. ඒක ඔබේ දෛනික ජීවිතයේ ම කොටසක් විය යුතුයි. භාවනාව තිබෙන්නේ දැන්, මෙතන, ඒ කියන්නේ මොහොතක්, මොහොතක් පාසා, ජීවිතයේ හොඳ නරක මැද, හැලහැප්පිලි මැද, බලාපොරොත්තු කඩවීම් සිත් වේදනා මැද, ජය පරාජය මැදයි. ඔබට තරහ, ආශා, ඇලීම් කෙළවරක් නැති ආවේග, ගැටුම්, ආදිය වටහාගෙන විසඳාගන්න ඕනෑද? ඊට විසඳුම් හොයන්න ඔබ වෙන කොහෙවත් යනවද? ඔබේ ගෙදර ගිනි අරන් නම් ඒ ගින්න නිවන්න ඔබ වෙන කොහේ හරි යනවද? නෑ නේ?

ඔබට ඔබේ මනස ඇත්තට ම වටහා ගන්න ඕනෑ නම්, ඔබ මනස දිහා බලන්න ඕනෑ. ඒ තුළ තරහ, ආශාව, ගැටුම් ආදිය තියෙනවිටයි, දහසකුත් එකක් සිතිවිලි, ආවේග ආදිය පහළ වෙමින්, නැති වෙමින් තිබෙන විටයි මනස දිහා බැලිය යුත්තේ. ඔබේ ආවේග වෙත අවධානය යෙදූ මොහොතේ ම ඒවායේ ශක්තිය නැති ව අන්තිමේ දී වියැකිලා යන බව ඔබට පෙනේවි. ඒත් ඔබ අවධානශීලි නැති වුණා ම මේ ආවේග දිගින් දිගට ම පවතින බවත් පෙනේවි. එතකොට තරහ නැති වෙලා ගියාට පස්සේ තමයි තරහ ගිහින් තිබුණු බව ඔබට වැටහෙන්නේ. නමුත් ඒ වනවිට ඔබ යම් ලොකු වැරැද්දක් කරලා ඉවරයි. නැත්නම් ඔබ ආවේගයෙන් හෙම්බත් වෙලා ඉවරයි.

ඉතින් අපි මේ ආවේග ආ විට කරන්නේ මොකක් ද? තමන්ට තරහ ගියාම කෑගහන්නයි, බඩුමුට්ටු පොළොවේ ගහන්නයි ඕනෑ වෙනවා කියලා තමන් දන්නවා. ඉතින් කරන්න ඕනෑ මේ ආවේග පාලනය කර ගන්න ද? නැත්නම් ඒවා එළියට දාන්න ද?

ස්වභාවික ප්‍රවණතාව නම් ආවේග පාලනය කරන්න උත්සාහ කිරීමයි. ඒත් එහෙම තද කරගෙන, වහගෙන හිටියා ම ඒවා එළියට එන්න උත්සාහ කරනවා. ඒවා එක්කෝ පුපුරාගෙන පිට වෙනවා. එහෙම නැත්නම් අසනීපයක් හෝ නියුරෝසියාවක් හෝ හැටියට එළියට කාන්දු වෙනවා.

එහෙනං අපි මොකක්ද කරන්න ඕනෑ? ආවේගවලට පිස්සු නටන්න ඉඩ දෙනවාද?

කොහෙත්ම නෑ. අපට කරන්න ඕනෑ නැත්තේ ම අන්න ඒක තමා. ඒක තවත් අන්තයක්. ක්ෂණික පෙළඹීමකින් යුතු ව ආවේග මුදා හැරීම. මෙතැන දී වැදගත් දේ තමා පාලනයක් කිරීමෙන් හෝ නො කිරීමෙන් හෝ වැළකීම, මේ අවස්ථා දෙකේ දී ම ඔබ කරන්නේ පාලනය කිරීමේ ආශාව ක්‍රියාත්මක කිරීමයි. මේ දෙකින් එකක්වත් පවත්වා ගත හැකි තත්ත්වයන් නොවේ. මේ ආශාව ඔබේ මනස පාලනය කරන තාක් කල් තරහව ඇති සැටියෙන් දකින්නට ඔබේ මනස නිදහස් නෑ. මේ අනුව තවත් විරුද්ධාභාසයක් මතු වෙනවා. එනම්, තරහව වෙතින් නිදහස් වෙන්න ඔබේ ඕනෑකම වැඩිවෙන්න, වෙන්න ඔබට එයින් නිදහස් වෙන්න බැරි වෙනවා.

සිත වටහා ගන්න නම් නිරවුල්, නිහඬ සිතකින් බලාගෙන, අවධානයෙන් ඉන්න ඕනෑ. ඔබේ සිත ඇතුළත් කතාවෙන් පිරිලා නම්, හැම තිස්සේ ම ප්‍රශ්න අහමින් ඉන්නවා නම්, බැලීමේ හැකියාව සිතට නැති වෙනවා. සිත ප්‍රශ්න අහනවා, උත්තර දෙනවා. ආයේ ප්‍රශ්න අහනවා. වැඩ ගොඩයි.

ඔබ දිහාව ම නිහඬ ව බලාගෙන ඉන්න උත්සාහ කරන්න. ඒ නිහඬ බව තමා වටිනාකම් දීමෙන්, රුචි අරුචිකම්වලින්, ඇලීම්වලින් නිදහස් වූ සිතක නිහඬ බව.

ඔබට තරහව, තරහව හැටියටත්, ආශාව ආශාව හැටියටත්, දකින්න පුළුවන් වෙන්නේ, ඔබේ සිත ඇලීම්වලින් සහ ප්‍රතික්ෂේප කිරීම්වලින් නිදහස් වුණා ම විතරයි. ඔබ ‘දකින්න’ පටන්ගත්ත හැටියේ ම ඔබේ මානසික ක්‍රියාවලිය මුළුමනින් ම “දැකීම” කෙරෙහි නිමග්න වෙනවා. ඒ

ක්ෂණයේ ම තරහව ඉබේට ම නැසී යනවා. ප්‍රඥාව කියා හැඳින්වෙන මේ දැකීම හෙවත් අන්තර්ඥානය නිරායාස දැනුවත් බවක්. ඒක පුහුණු කරන්නවත්, උගන්වන්නවත් බැහැ. මේ දැනුවත් බව ජීවිතයට අලුත් අන්තර්දෘෂ්ටියක්, අලුත් පැහැදිලි බවක්, ක්‍රියා කිරීමේ දී අලුත් නිරායාස බවක් ලබා දෙනවා.

ඉතින්, දැන් පේනවා නේ, ජීවිතය සහ එහි හැලහැප්පිලි වෙතින් භාවනාව වෙන් කරලා තියන්න ඕනෑකමක් නෑ. ඔබට දෛනික ජීවිතයේ දී සැනසීම අත්දකින්න ඕනෑනම් තරහව, ආශාව සහ මෝහය උපදිනකොට ම දැක ගැනීමත් වටහා ගැනීමත් ඒ ගැන යමක් කිරීමත් අවශ්‍යයි. ඔබ ආවේගවල ගැලී සිටීම නතර වුණොත් විතරයි ඔබේ සිතේ ශාන්ත ස්වභාවය උපදින්නේ. මේ ශාන්ත ස්වභාවය ඔබට ජීවිතයේ සෑම මොහොතක් ම සම්පූර්ණයෙන් ම ජීවත් වෙන්න උපකාර වෙනවා. මේ අලුතින් ලබා ගත්ත අවබෝධයයි, දැනුවත් බවයි නිසා ඔබට බොහොම ලොකු සංවේදී බවකින් යුතු ව සම්පූර්ණ පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. ඔබ ජීවිතය දෙස අලුත්, නැවුම් අවබෝධයකින් යුතු ව බලන්න පටන් ගන්නවා. පුදුමයකට වගේ, මීට කලින් ඔබ ප්‍රශ්න හැටියට දුටු දේ මීට පස්සේ ප්‍රශ්න වෙන්නේ නෑ.

පරිවර්තනය – රාණි සේනාරත්න රාජපක්ෂ

You may also like

Leave a Comment