“ අවසර අපේ හාමුදුරුවනේ…”
ඒ ගැඹුරු කටහඬ ඇසුණේ දායකයන් දානය ගෙනෙන දොර පැත්තෙනි.
දෙවියනේ, පැමිණ ඇත්තේ දානියෙල් මහතා ය. ධම්මාලංකාර හිමියන්ගේ ක්ෂණික වෙනසට හේතුව කුමක්දැයි ලොකු ස්වාමීන් වහන්සේට වැටහුණේ දැන් ය.
කොළඹ හතේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන දානියෙල් මහතා පන්සල ආසන්නයේ පොල්වත්තක් මිල දී ගත්තේ මෑත දී ය. වරක් පන්සලට ඇවිත් ගියේ පොල්වත්තේ මැද සෑදූ විලා එක විවෘතයට සෙත්පිරිත් කියා ගන්නට ආරාධනාවට ය.
ලොකු ස්වාමීන් වහන්සේ සමඟ සෙත්පිරිත් කීමට එහි වැඩි දා දානියෙල් මහතාගේ තරම ධම්මාලංකාර හිමියන්ට හොඳටෝම වැටහී තිබිණි.
විලා එක සිටු මැඳුරක් හෝ රජ මැඳුරක් හෝ වාගේ ය. මේ තරම් ධනවතෙක් අවට හතර දිග්බාගයේ ම නැත. ධනපතියා පන්සලට දායක කොට ගෙන දානපතියකු කර ගත්තා නම් ගමේ දායකයෝ උන්නා නොවුන්නා ගානක් නැතැයි ධම්මාලංකාරට සිතුණේ එදා ම ය.
තව පොඩ්ඩෙන් ඒ වෑයම සාමණේරයන් නිසා නැති වෙනවා ය. දානියෙල් මහතාගේ පැහැදීම රැක ගැනීම මේ කාරණයේ දී බොහෝම වැදගත් ය.
“ ආනේ අපේ දානියෙල් මහත්තයනේ…”
ලොකූ හාමුදුරුවන්ටත් පෙර කතා කර ගෙන ඉදිරියට ආවේ ධම්මාලංකාර හිමියන් ය.
“ අපේ හාමුදුරුවනේ, ආවාසෙ ඉස්සරහ පැත්තේ කවුරුත්ම නෑ. බලන් ඉඳලා සද්දෙ ඇහුණ නිසා මේ පැත්තට ආවෙ…”
දානියෙල් මහතා කතා කරමින් ම හැඩි වූ දානශාලාව අවට ද බලයි.
“ බලන්නකෝ මහත්තයා මේ පූසෝ පැනලා. පොඩි හාමුදුරුවන්ට දොර වහන්න බැරි වෙලානේ.
පව්.. පොඩි අයනේ…
අනික මහත්තයා මේ අහිංසක සත්තුත් දන්නවයැ හොඳ නරක. ඒ අයටත් ඉතින් බඩගින්නනෙ. සාංඝික පන්සලක් ය, දානයක් ය, පව් පින් ය කියලා අවබෝධයක් ඒ අයට නෑනේ…
අපි යමු මහත්තයා ඉස්සරට.
සුදු පුතා…, ඔයා මහන්සි වෙන්න එපා. ඉන්නකො මං එන්නම් ඉක්මනට. හා කමක්නෑ පුළුවන් නම් විතරක් ඔය ටික අතුගාලා දාන්නකො..”
සම්මාන දෙනවා නම් ධම්මාලංකාර හිමියෝ තරම් එයට සුදුසු වෙනත් අයෙක් පන්සලේ තියා දායක සභාවේවත් නොමැති බව ලොකු ස්වාමීන් වහන්සේට සිතුණි.
කොහොමත් බහුතරයක් මිනිස්සු පැහැදෙන්නේත් පොළොවේ පයගසා සිටින අව්‍යාජ භික්ෂූන් වහන්සේට නො වන බව ලොකු ස්වාමීන් වහන්සේත් මනාව දනී. ඒ නිසා ධම්මාලංකාර වැනි හිමිවරුන්ට දායකයන්ගෙන් අඩුවක් කවදාවත් ම නැත්තේ ය.
කොතෙක් එපා කීවත් චාටු වදනට සහ වර්ණනාවන්ට ද දායකයන් බොහෝම ප්‍රියමනාප ය.
හොඳ නරක, හරි වැරැදි පෙන්වා ඍජුව කතා කරනවා නම් එවන් භික්ෂුවක් වැනි නරක පුද්ගලයෙක් මේ සම්බුද්ධ ශාසනයේ ම ඔවුන්ට වෙනත් නැත.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට පැහැදෙන ක්‍රමය හා හේතුව මත දායකයන් කොට්ඨාස සතරකට බෙදා දක්වා තිබේ.
අයෙක් රූපගරුක ය. එවැනි දායකයෝ භික්ෂුවකගේ ශරීරයේ සුන්දරත්වය බලා ලස්සන නම්, ප්‍රියමනාප නම් පැහැදෙති. හරි පින්පාට ය, ලස්සන ය කියති. බුදුන්, රහතුන් දැක්කා සේ ය කියති. බණක් දහමක් නො සිතති.
සමහරු ඝෝෂගරුක ය. කටහඬ, ප්‍රසිද්ධිය, කීර්තිය හේතු කොට ගෙන පැහැදෙති. අනේ ටීවී එකේ බණ කියන හාමුදුරුවෝ ය කියති. කටහඬ ලස්සන ය කියති. ප්‍රසිද්ධ ය කියති. කියන්නේ ධර්මය ම ද කියාවත් නො සිතති.
සමහරු ගුණගරුක ය. ගුණ යනු දුෂ්කර ප්‍රතිපදා ය. භික්ෂුවකගේ ශීලාදී ගුණයන් නො සොයා අනේ ඒ හාමුදුරුවෝ සෙරෙප්පු දෙකක්වත් දාන්නේ නැත. පොරවන්නේ ඉරුණු සිවුරු ය. ඉන්නේ කැලේ ය. ආදී දේ පමණක් සලකා පැහැදෙන්නෝ මේ කොටසට අයිති ය.
සිව් වැනි කොටස නම් ධර්මගරුකයෝ ය. ශීල, සමාධි ආදී භික්ෂු ප්‍රතිපත්තිය දැක හොඳීන් වටහාගෙන ම පහදිති. සිරුරේ පෙනුම, බාහිර පෙනුම හෝ ප්‍රසිද්ධ අප්‍රසිද්ධ බව නො සලකති. ශීලාදී ගුණ ම සලකති.
බුදුරජාණන් වහන්සේ ගිහියන් තුළින් අපේක්ෂා කළේ ධර්මගරුක පැහැදීමකි. නමුත් එසේ වීමට නම් බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය ගැන දැනීමක්, වැටහීමක් දායකයාට තිබිය යුතු ම ය. එසේ වීමට නම් මිනිසුන්ට හොඳ වටහා ගැනීමේ නුවණක් ද තිබිය යුතු ය.
අවාසනාවට කරුණ නම් කවදත් ලෝකයේ නුවණැත්තන් හෙවත් බුද්ධිමතුන් අල්ප වීමයි.
බහුතරයක් නුවණින් හා බුද්ධියෙන් බොහෝ ම අල්ප ය. ඒ හේතුවෙන් ම තමන් සියල්ල ම දන්නා අය යැයි ද ඔවුහු ම සිතා සිටිති.
මේවා කෙසේ වෙතත් දානියෙල් මහතා පැහැදුනෝතින් නම් එය මහා භාග්‍යයකි. පේන විදියට ධම්මාලංකාරට නම් එය බැරිවෙන එකක් නැත.