ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස විශේෂාංගසම්බුද්ධ ශ්‍රාවකයා…

සම්බුද්ධ ශ්‍රාවකයා…

by Thanushika
September 26, 2026 12:29 am 0 comment

“කුසලයෙහි අප්‍රමාදි වීම” යනු සියලු බුදුරජාණන් වහන්සේ විසින් අවධාරණය කරනු ලබන උතුම් චර්යාවකි. ලෝක සත්ත්වයා සුගති දුගති ආත්මභාවයන් අතර දෝලනය වෙමින් සසර සැරිසරන්නේත්, සිත් තැවුල් පීඩා විඳිමින් අකුසල කර්මයන්හි විපාක ගෙවා දමන්නේත්, ජාති, ජරා, මරණ ආදී ආවේණික දුක් සමූහය හේතුවෙන් මනසින් පීඩා විඳින්නේත් ‘අප්‍රමාදීභාවය’ යන වදනෙහි ධර්මාර්ථය සහ එම පිළිවෙතෙහි අගය නො දන්නා නිසාවෙනි.

සසර සැරිසරන්නා වූ සියලු ආකාර සත්ත්වයන්ගේ පෙර කර්මයන් සහ එමඟින් ජනිතවන විපාක පිළිබඳ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක තරම්, ප්‍රත්‍යක්ෂ ව දැන අවබෝධ කර සිටින වෙනත් උත්තමයකු නොමැත. එබැවින් ලොව සියල්ලන් අතරින් ‘කුසලයෙහි අප්‍රමාදිභාවය” හි වටිනාකම මැනවින් වටහා ගත්තෝ තථාගතයන් වහන්සේ ය.

මනුෂ්‍ය ආත්මභාවයකට වඩා දිව්‍ය, බ්‍රහ්ම තලයන්හි දුක් සහිත ස්වභාවය අවම වන නමුදු එම භවයන් ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයෙහි බලපෑමට යටත් වූ තවත් එක් භවයක් ම වේ. එබැවින් බලවත් කුසල් උපදවාගෙන දිව්‍ය හෝ බ්‍රහ්ම හෝ තලයක තවත් උපතක් ප්‍රාර්ථනා කිරීම පවා ‘ප්‍රමාදීභාවය’ ම බව බුදුරජාණන් වහන්සේ නමක් කරුණු සහිත ව හෙළිකර වදාරන සේක.

ආමිසයෙන් පමණක් බුදුරදුන් පුදමින් ගරු බුහුමන් දක්වන්නාට වඩා එක් ශික්ෂා පදයක් හෝ අවබෝධයෙන් පිළිපදිමින් නිවන් මඟෙහි ඉදිරියට ගමන් කිරීමට උත්සාහවත් වන තැනැත්තා උන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්වූයේ එහෙයිනි.

බෝසතාණන් වහන්සේ නමක තම ජීවිතයත්, අංග ප්‍රත්‍යයත් සිය කැමැත්තෙන් ම පරිත්‍යාග කරමින් සිදු කළ දුෂ්කර කැප කිරීම්වලින් බුද්ධ ශ්‍රාවකයකු නෙළා ගත යුතු උසස් ම ඵලය නම්, කාමාවචර කුසල් පමණක් වඩමින් සසර තවදුරටත් සැරිසැරීමෙහි පි‍්‍රයවීම නොව, පුනරුත්පත්තියෙහි අර්ථ විරහිත බව වටහා ගනිමින් භව ගමන නිමා කිරීමට හේතු වන ආර්ය ප්‍රතිපදාවෙහි උත්සාහවත්වීම යි. සිය භව ගමනේ දී නිත්‍ය, සුඛ, ආත්ම යන ලක්ෂණයන්ගෙන් ප්‍රමුදිත වූ උපතක් ලද කිසිවකුත් තුන්කල්හි ම නො සිටින බව තථාගතයන් වහන්සේ තම ඥානයෙන් වටහා ගනිති.

එබැවින්, අපගේ මානසික සුවය පිණිසත්, පුනරුත්පත්තිය නවත්වාලීම පිණිසත් හේතු වන නිර්වාණගාමි පිළිවෙත් පුහුණු කිරීම කෙරෙහි ද තථාගත ශ්‍රාවක වූ අපගේ අවධානය යොමු විය යුතු ය.

 

ටී. සේනානායක

You may also like

Leave a Comment