වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය, වාද්දුව ශ්‍රී සමුද්‍රාරාමය සහ රැද්දේගොඩ ශ්‍රී සුධර්මාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති, කළුතර මහ දිශාවේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමික විදුහල්පති, බෝපිටියේ ධම්මිස්සර නා හිමියෝ සැප්තැම්බර් 07 වැනි දින සිය 80 වැනි ජන්ම දිනය සැමරූහ.
කුරුවිට විදානලාගේ සුදේරිස් අප්පුහාමි පියාණන් සහ කේ.ඩී. රොසලින් නෝනා මාතාවගේ 14 දෙනකුගෙන් යුත් පවුලේ 13 වැනි දරුවා ලෙස ජනිත වූ මේ පින්බර කුමරුවා, පාරමිතා බලයෙන් කුඩා කල සිට ම ශාසනික වටපිටාවට ඇදී ගියේ ය. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන අතරතුර දී පවා උන් වහන්සේ තුළ වූයේ සුවිශේෂී ශාසනාලයකි.
එහි ප්‍රතිඵලයක් ලෙස 1961 වසරේ දී සම්බුද්ධ ශාසනයට ඇතුළත් වූ උන්වහන්සේ, වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද විහාරයට සම්බන්ධ වී එවක වැඩ විසූ තෙරපතිවරුන් වෙතින් ධර්ම ශාස්ත්‍රීය හා සංඝ විනය මනාව ප්‍රගුණ කළහ. පසුව නාරවිල අභයරාජ පිරිවෙනෙන් සහ පානදුර පින්වත්තේ ශ්‍රී සද්ධම්මාලංකාර පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලබා, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද සාර්ථක ව නිමා කරමින් සසුන් කෙත බැබළවීමට අවශ්‍ය ශාස්ත්‍රීය පදනම සකසා ගත්හ.
තමන් වහන්සේ ලද අත්දැකීම් හා අධ්‍යාපනය පෙරදැරි කර ගනිමින්, කළුතර දිස්ත්‍රික්කයේ පංච මහා විහාරස්ථානයන්හි විහාරාධිපති ධුරය හොබවමින් උන් වහන්සේ ඉටුකළ මෙහෙවර අසදෘශ ය. අසරණයන්ට පිහිට වීම, තරුණ හා වැඩිහිටි පරපුරට සරණ වීම මෙන් ම දේශීය හා විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් උන් වහන්සේ සිදු කළ සේවය උදෙසා කළුතර දිශාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලැබූහ.
උන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින් පෝෂණය වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ රැසක් අද වන විට දිවයින පුරා මෙන් ම විදේශයන්හි ද ශාසනික සේවයේ නිරත ව සිටිති.
ශාසනික මෙහෙවරට පමණක් සීමා නො වූ අප ගුරුදේවයන් වහන්සේ, අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ද අතිමහත් සේවයක් ඉටු කළහ. තමන් වහන්සේගේ 25 වසරක නායකත්ව සේවය තුළ දී, එකල පහසුකම් අවම මට්ටමක පැවති වාද්දුවේ පාසලක විදුහල්පති ධුරය භාරගෙන, විශිෂ්ට කළමනාකාරිත්වය තුළින් එය සියලු පහසුකම්වලින් සපිරි ප්‍රමුඛ පෙළේ මහා විද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු කළහ.
එමෙන් ම, වසර 40කට ආසන්න කාලයක් පුරා වාර්ෂික ව සංවිධානය කරනු ලබන පොසොන් මහා පෙරහර සහ වාද්දුව සමුද්‍රාරාම විහාරස්ථාන භූමියේ ඉදිවන අතිවිශිෂ්ට වෙසක් මහා තොරණ මඟින් ප්‍රදේශයේ ආගමික හා සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමට උන් වහන්සේ පුරෝගාමී වූහ.
“යථාවාදී තථාකාරී” ගුණයෙන් යුතු ව කියන දේ කරමින්, කරන දේ කියමින් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන අපගේ බෝපිටියේ ධම්මිස්සර නායක හාමුදුරුවන් වහන්සේ, ඉටු කරන්නා වූ ජාතික, ශාසනික හා සමය සමුද්ධරණය උදෙසා තවදුරටත් ශක්තිය ලැබෙනු පිණිස නිදුක් නීරෝගි සුවයත්, ත්‍රිවිධ රත්නයේ හා සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයේ ආශීර්වාදයෙන් දීර්ඝායුෂත් ලැබේවා’යි සාධ සිතින් ප්‍රාර්ථනා කරමු.
මැදකැටියේ නාගිත හිමි