[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවය මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් වෙහෙරබිමේ දී

මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ආගමික ශාස්තෘවරයාණන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම යන උතුම් කරුණු තුන සිහිකිරීම තෙමඟුල ලෙස ලෝකවාසී බෞද්ධ ජනතාව ඉමහත් ගෞරවයෙන් යුතුව සලකනු ලබති. ක්‍රි.පූ. 236 වැන්නෙහි දී දෙවන පෑතිස් රජ දවස සම්බුදු දහම මෙරටට ලැබුණු දින සිට අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරීම රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකළ බව මහාවංශය, දීපවංශය ආදී වංශ කතා සාක්ෂි දරයි. තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන්, ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාවේත්, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ ද සහාය ඇතිව ලෝකවාසී බෞද්ධ ජනතාව සමඟ එක්ව ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, මාදම්පේ කැබැල්ලෑව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් සැමරීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත්, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත්, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයත් කටයුතු සංවිධානය කර ඇත. මෙවර වෙසක් තේමාව බවට පත්කර ඇත්තේ ලොකු කුඩා කවරකුට හෝ වුව ද වැදගත් ඔවදනක් වන, “නිවැරැදි දෙය වැරැදි ලෙසත්, වැරැදි දෙය නිවැරැදි ලෙසත් දැකීම දුගතියට හේතු වේ". යන්නයි. එසේ ම වෙසක් සතිය මැයි මස 02 වැනි දින සිට 08 වැනි දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති අතර එම එක් එක් දිනයන්හි තේමාවන් ද ප්‍රකාශයට පත් කර ඇත.

ඉපැරැණි සිරිලක වෙසක් අසිරිය

ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ සංස්කෘතික හර පද්ධතීන් ප්‍රමාණවත් පසුබිමක් යටතේ ස්ථාපිත වූයේ ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී නොහොත් බුද්ධ වර්ෂ 236 දී සිදු වූ මහින්දාගමනයෙන් පසුව ය. ධාර්මික විනෝදයෙන් ප්‍රතිපදාවට - එබැවින් බුදු සමයේ ආභාසය මත එතෙක් මෙරට පැවති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය විය. තත්කාලීනව සමාජගතව පැවති අභිචාරවිධි සියල්ලක් ද අනුක්‍රමයෙන් වෙනස් මඟකට අවතීර්ණ විය. බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගත වූ ජනතාව ආගමික උත්සව පැවැත්වීම කෙරෙහි ද වැඩි රුචිකත්වයක් දැක්වූහ. අවිහිංසාව, ශ්‍රද්ධාව, භක්තිය හා බුද්ධිය පදනම් කරගත් ආගමික උත්සව රැසක් ද ඒ හා සමඟම ආරම්භ විය. මෙම පූජෝත්සව පැවැත්වීම තුළින් අපේක්ෂිත පරමාර්ථය වූයේ හුදෙක් ධාර්මික විනෝදය ලබා ගනිමින් කෙමෙන් කෙමෙන් බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට ජනතාව අනුගත කරවීමයි. අනුක්‍රමයෙන් සංඛ්‍යාත්මකව වැඩි දියුණු වී ගිය මෙබඳු උත්සව වසර පුරාම මහත් හරසරින් පවත්වන තත්ත්වයක් පෙන්නුම් කෙරිණි. අනුරාධපුර යුගයේ පටන්ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින්ම මුල්බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස් ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම් නිසා ය.


ආර්ය විමුක්ති මාර්ගයේ පරමාදර්ශී නායකත්වය

ලොව අනෙකුත් ශාස්තෘවරයන් අතර බුදුරජාණන් වහන්සේ සුවිශේෂී ශාස්තෘවරයාණ කෙනෙකි. ඒ, උන් වහන්සේ මනුෂ්‍යයාගේ මෙලොව දියුණුව සහ පරලොව දියුණුව මනාව පෙන්වා දීම හැරුණු කොට, සාංසාරික දුකින් සදහටම නිදහස් වීමේ මාර්ගය තමන් වහන්සේ ද අවබෝධ කරගෙන, එය ස්වාක්ඛාත ලෙසින් දේශනා කළ නිසාවෙනි. බුදුරදුන් පෙන්වා වදාළ විමුක්ති මාර්ගය අනුගමනය කොට මාර්ග-ඵල සාක්ෂාත් කරන පුද්ගලයා ‘ආර්ය’ තත්ත්වයට පත්වෙයි. උත්තරීතර මාර්ගය වන බැවින් එම මාර්ගය ම ‘ආර්ය’ නම් වෙයි. එය මුලින් ම අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ ද ‘ආර්ය’ නම් වන සේක. මේ හේතූන් නිසා යථොක්ත විමුක්ති මාර්ගය ‘ආර්ය විමුක්ති මාර්ගයකි’. බුදුරජාණන් වහන්සේ එහි පරමාදර්ශී ශාස්තෘවරයාණන් වන්නේ, එම මාර්ගය හුදෙක් දේශනා කිරීමට වඩා, තමන් වහන්සේ ද එය අනුගමනය කොට, එහි උත්තරීතර ඵලය වන නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමෙන් පසුව ම එය ලෝකයාට දේශනා කළ නිසා ය. “ඉදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා-අරියසච්චන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි...” - “මහණෙනි, මේ දුකින් මිදීමේ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යැ යි මා හට පෙර නො ඇසූ දහම් පිළිබඳ ඇස පහළ විය, නුවණ පහළ විය...” (ධම්මචක්කප්පවත්තන සුත්ත).

 

ප්‍රතිපත්ති පූජාවෙන් වෙසක් සමරමු

බුදු දහමට අනුව ආමිෂ පූජාව හා ප්‍රතිපත්ති පූජාව ලෙස පූජා වර්ග දෙකකි. ආහාර-පාන, ඇඳුම්-පැළඳුම්, ඉඩකඩම්, යාන වාහන, ගේදොර, වතුපිටි, දානමානාදී මෙකී නොකී බොහෝ දේ අපට දන් දිය හැකි ය. ඒ සියල්ල ආමිෂ පූජාවට අයත් වේ. සිල්වත් ව ගුණවත් ව බුදුරජාණන් වහන්සේගේ දහම අනුව ප්‍රතිපත්ති ගරුක ව, ධාර්මිකව ජීවත් වීම ද පූජාවකි. එය ප්‍රතිපත්ති පූජාව ලෙසින් හැඳීන්වේ. අද වන විට ලංකාවාසී බොහෝ දෙනා වෙසක් පොහෝ දිනය උත්සවයක් ලෙස සැමරීමට පුරුදු ව සිටිති. රාජ්‍ය වෙසක් උත්සවයක් පවා පවත්වති. ලොකු කුඩා සියලු විහාරස්ථාන ඇසුරු කරගෙන වෙසක් සැමරීම සිරිතකි. සීල සමාදාන පින්කම්, භාවනා වැඩසටහන්, භක්ති ගීත, පහන් පූජා, බෝධිපූජා, මල් දන්සල් ආදී බොහෝ පින්කම් විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන සිදුකරන අතර බොහෝ ගම්වල මෙන් ම නගරවල ද වෙසක් උත්සවය සමරති. දහම්පාසල්, පාසල්, සමිති සමාගම්, මෙන් ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන පවා වෙසක් සැමරීමට අමතක නොකරති. ආමිෂ හෝ ප්‍රතිපත්ති පූජාවල යෙදෙති.

 

සදහම් සැනසිල්ල විඳිමින් සම්බුදුගුණ මෙනෙහි කරමු

තථාගතයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟුණ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති රළපතරින් සෝබමාන සද්ධර්මයේ සුනීල ගංගාව නිර්වාණ අමා සාගරය බලා ගැලුම් ඇරඹිණ. අපමණ සත්වගක් ඒ අමා දහරින් අස්වැසිලි ලැබී ය. සාරාසැකි කප් සුවහස් පුරාවට නේකවිධ දුක් දරා මහා වෙරබල විකුම් පා පස්මරුන් දිනූ සිරිමත් ගොයුම් ගොත් මහා මුනිවර සම්බුදු සිහරජුන්ගේ රාජ සමය එළැඹුණේ ය. එය වනාහි අදින් සහශ්‍ර දෙකහමාරකට පෙර යුගයකි. උත්තර භාරතයේ හිමාලය වනදායට යාබද ව පිහිටි කපිලවස්තු රජදහනෙහි අධිපති සුදොවුන් මහා රජුගේ අගබිසව වන මහාමායා දේවියගේ කුසෙහි මහා පිනැති පුත්කුමරෙක් පිළිසිඳ ගත්තේ ය. ඒ අප මහා බෝසතාණෝ ය. හරියටම දසමස් පිරෙන වෙසක් පුන් පොහෝ දිනෙක උදෑසන මායා දේවියට තම මවුපියන් බැලීම සඳහා කිඹුල්වත් නුවරට යාමේ අදහසක් පහළ වී ඒ බව සුදොවුන් රජුට දැන් වූ පසු ඇය රන් දෝලාවක හිඳුවා රාජකීය පෙරහරකින් පිටත් කළා ය. එදින ඒ දෙරට අතර මාර්ගයට යාබදව පිහිටි ලුම්බිණි සල්වනය මලින් පිරී අලංකාර විය. එය දුටු මායා දේවියට උයන් සිරි බැලීමේ අදහසක් පහළ වී දෝලාවෙන් බැස ශාක්‍ය කුමාරිකාවන් පිරිවරා හඳුන් උයනට වන් දෙවඟනක් සේ ලුම්බිණියට පිවිසියා ය. මුල පටන් අග දක්වා මලින් පිපුණ සල්ගස් අතරින් හමන සුවඳ මඳ පවන් පහස විඳිමින් වඩින දේවිය එක් භද්‍රසාල වෘක්ෂ මූලයක නතර වූවා ය.

 

ප්‍රායෝගික දහම් මඟක් දේශනා කළ උත්තරීතර ශාන්ති නායකයාණන් වහන්සේ

භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යයෙකි. එනමුත් උත්තරීතර මනුෂ්‍යයෙකි. රාග, දෝෂ, මෝහ නම් වූ කෙලෙසුන්ගෙන් පිරි සාමාන්‍ය මනුෂ්‍යයන් අතර, එම රාගාදී කෙලෙසුන් මුළුමනින් ම නසා නිකෙලෙස්ව වැඩ සිටි ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නයයි. ද්‍රෝණ නම් බමුණා භාග්‍යවතුන් වහන්සේ කවරෙක් දැයි ප්‍රශ්න කළේ ය. එනම් දෙවියෙක් ද? යක්ෂයෙක් ද? යනුවෙනි. මේ සියල්ලටම “නැත” යනුවෙන් පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මනුෂ්‍යයෙක් බවත්, එනමුත් අච්ඡරිය පුග්ගල හෙවත් ආශ්චර්යවත් මනුෂ්‍යයෙක් බවත් වදාළහ. යම් හෙළ පියුමක්, නෙළුම්, මානෙල් මලක් මඩින් පිරී ජලාශයේ හටගෙන මඩත් නොතැවැරී, ජලයෙහිත් නොතැවැරී මතුපිටට පැමිණ බබළන්නා සේ අශ්‍රැතවත් පෘථග්ජන ලෝකයේ සාමාන්‍ය මනුෂ්‍යයන් ගන්නා ආහාරම වළඳා, සාමාන්‍ය මනුෂ්‍යයන් සේ ම ශීත, උෂ්ණ, මැසි මදුරුවන්ගෙන් වැළකීම පිණිසත්, ශරීරය ආවරණය කර ගැනීම පිණිසත්, වස්ත්‍රයෙන් පොරෝනාවක් කර ගැනීමත් සිදු කරන ඔබ වැනිම මනුෂ්‍යයෙකි. ලෝකයේ යථාර්ථය අවබෝධ කර ගත් බැවින් ‘බුද්ධ’ නම් වේ ම ය. ‘අජ්ජේව කිච්චං ආතප්පං - අක්ඛාතාරො තථාගතා” තථාගතයාණන් වහන්සේ මඟ පෙන්වා දෙන්නෙක් පමණෙකි. තමා විසින් ම අදම කෙලෙස් සංසිඳවීම පිණිස මග අනුගමනය කළ යුතු වන්නේ ය. කෙලෙස්වලින් පිරිසුදුවීම හෝ අපිරිසුදුවීම නම් වූ දෙකම රඳා පවතින්නේ තමා කෙරේ ම ය.

 වෙසක් පුර පසළොස්වක
පෝය දින

Budusarana e-paper

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]