[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවය මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් වෙහෙරබිමේ දී

රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවය මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් වෙහෙරබිමේ දී

මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ආගමික ශාස්තෘවරයාණන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම යන උතුම් කරුණු තුන සිහිකිරීම තෙමඟුල ලෙස ලෝකවාසී බෞද්ධ ජනතාව ඉමහත් ගෞරවයෙන් යුතුව සලකනු ලබති.

ක්‍රි.පූ. 236 වැන්නෙහි දී දෙවන පෑතිස් රජ දවස සම්බුදු දහම මෙරටට ලැබුණු දින සිට අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරීම රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකළ බව මහාවංශය, දීපවංශය ආදී වංශ කතා සාක්ෂි දරයි.

තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන්, ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාවේත්, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ ද සහාය ඇතිව ලෝකවාසී බෞද්ධ ජනතාව සමඟ එක්ව ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, මාදම්පේ කැබැල්ලෑව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් සැමරීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත්, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත්, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයත් කටයුතු සංවිධානය කර ඇත.


විහාරාධිපති ශාස්ත්‍රවේදී හාල්පන්විල පාලිත නාහිමි

මෙවර වෙසක් තේමාව බවට පත්කර ඇත්තේ ලොකු කුඩා කවරකුට හෝ වුව ද වැදගත් ඔවදනක් වන,

“නිවැරැදි දෙය වැරැදි ලෙසත්, වැරැදි දෙය නිවැරැදි ලෙසත් දැකීම දුගතියට හේතු වේ". යන්නයි. එසේ ම වෙසක් සතිය මැයි මස 02 වැනි දින සිට 08 වැනි දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති අතර එම එක් එක් දිනයන්හි තේමාවන් ද ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව පිළිවෙලින් පරිසර සංරක්ෂණ වැඩසටහන්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පිළිබඳ වැඩසටහන්, සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, සීල සමාදාන වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන්, භික්ෂු සිල් මාතා පුහුණු වැඩසටහන්, ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් පැවැත්වේ.

රාජ්‍ය වෙසක් මහෝත්සවය හා සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්නා විහාරස්ථාන හා දහම් පාසල්වල අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ හා වැඩ නිම කිරීම සඳහා ද, අන්‍යාගමික පූජනීය ස්ථාන කිහිපයක අලුත්වැඩියා කටයුතු සඳහා ද, පවතින බලශක්ති අර්බුදය වෙනුවෙන් පිළියම් යෙදීම සඳහා ද, දැනටමත් වෙන් වී ඇති ප්‍රතිපාදන සීමාවන් තුළ ආධාර ලබා දීම ද, පුත්තලම දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කිහිපයක් පූජා භුමි ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර සන්නස් පත්‍ර ප්‍රදානය කිරීම රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව සිදු කිරීම හා අනෙකුත් දිස්ත්‍රික්කවල ද පූජා භූමි ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු කඩිනම් කිරීම අනෙකුත් ආගමික ස්ථානවල ඉඩම් ගැටලු නිරාකරණය කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු හා අනෙකුත් ආයතන සමඟ එක්ව කටයුතු කිරීම මෙහිදී සිදු කෙරේ.

සියලු ආගමික නායකයන්ගේ මඟ පෙන්වීම අනුව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ තරුණ පරපුර පුනරුත්ථාපනයට වැඩ පිළිවෙලක් සකස් කෙරෙන අතර, දහම් පාසල් හා පිරිවෙන් අධ්‍යාපන ආයතන කිහිපයක් සඳහා පොත් කට්ටල පරිත්‍යාග කිරීම, මේ වන විට ජාතික උරුමයක් බවට පත් කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ලෝකවාසී ජනතාවට පරිශීලනය පහසු කිරීම සඳහා රජයේ අරමුදලෙන් ඩිජිටල්කරණය කර රාජ්‍ය වෙසක් උත්සවයේ දී ප්‍රකාශයට පත්කිරීම ද ආදී වැඩසටහන් රැසක් සිදුකෙරෙනු ඇත.

පුත්තලම දිස්ත්‍රික්කය, බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික ජනතාව සම්මිශ්‍රණය වූ දිස්ත්‍රික්කයක් බැවින් බෞද්ධ දර්ශනය, සමානාත්මතාව, කරුණාව, මෛත්‍රිය, ඉවසීම යන ගුණාංග ප්‍රවර්ධනය කරමින් එක් එක් ආගම් පිළිබඳවත්, පූජනීය ස්ථාන පිළිබඳවත් දැනුම හුවමාරුකර ගැනීම සඳහා ඒකාබද්ධ ආගමික වැඩසටහන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

වෙසක් සතියේ සෑම නිවසක ම බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කිරීමටත්, බුද්ධාලම්භන පී‍්‍රතිය වැඩිවන පරිදි සැරසිලි සිදුකිරීමටත් ඒ සඳහා පරිසර හිතකාමී ක්‍රමවේදයන් අනුගමනය කිරීමටත්, සුරාව, සූදුව වැනි වැරැදි ක්‍රියාවන්ගෙන් ඉවත්වීමටත්, ආගම දහමට නිගා නොවන ලෙස වෙසක් සැමරීමටත් ක්‍රියා කිරීම අප සැමගේ වගකීමක් වනු ඇත.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]