[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සම්බුදු උපත සැපතකි

සම්බුදු උපත සැපතකි

උපතින්ම පරම සුකුමාර දිවිය අතහැර ගුරු කුලයෙන් ගුරුකුලයට, වන අරණින් වන අරණට, දනව්වෙන් දනව්වට, තපෝ භූමියෙන්, තපෝ භූමියට ගමන් කරමින් සය මසක් කාය ජීවිතය නිරපේක්‍ෂව සංග්‍රාමයෙන් පැරද ජීවත්වීමට වඩා මිය යාම මැනවි” යි පිළිගනිමින් සම්, මස්, ඇට, නහර, පමණක් ශේෂව සිදුකළ දුෂ්කර ක්‍රියාව දෙව් මිනිස් සමාජයට මිනිසකු පෙන්වූ මහා වෑයම බෝසත් සිරිතේ මනාව පැවසේ.

කාමසුඛල්ලිකානු යෝගය, අත්තකිලමතානු යෝගය ප්‍රතික්‍ෂේප කර මධ්‍යම ප්‍රතිපදානුගතව උරුවේලාවේ නේරංජනා නදී තීරයේ ඇසතු බෝරුක මුල දී අජර වූ අමර වූ අනන්ත වූ නිර්වාණය සාක්‍ෂාත් කළහ. එතැන් පටන් උන්වහනසේ “බුද්ධ” නමින් ලෝ පතළ වූහ.

මේ මනුලොව බුදුරජාණන් වහන්සේගේ උපත සුවයකි. බුදුවරු ලොව ඉපදීම දෙව් මිනිසුන් ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් මුදවා නිවන් පසක් කර දීම සිදුවෙයි. එහෙයින් උන්වහන්සේගේ ඉපදීම ලෞකික, ලෝකෝත්තර සැපයට කාරණා වන හෙයින් බුදු උපත සැපයකි. එසේම බුද්ධ යනුවෙන් බුදු, පසේබුදු, මහරහතුන්, සුතබුද්ධ යන සිව් කොටසම අයත් වූව ද “බුද්ධානං” යනුවෙන් හඳුන්වන්නේ, සම්මා සම්බුදු උතුමන් වහන්සේ ම ය. තමන් වහන්සේ අවබෝධ කර ගත් “චතු සත්‍යාර්ය” ධර්මය පරහට අවබෝධ කළ හැක්කේ “සම්මා සම්බුදු” වරයාණන් වහන්සේ නමකට පමණි.

බුද්ධ චරිතයට අනුව ලුම්බිණි සල් උයනේ සල් ගසක් යට දී මායා දේවියගේ කුසින් උපන් මේ මහා වීරයාණෝ “අග්ගෝ හමස්මි ලෝකස්ස” යනුවෙන් සිංහ නාදය කරන ලදහ. උපතින් එකුන්තිස් වසක්, ගෙවුණු තැන මහා අභිනිෂ්ක්‍රමණය කොට, සය වසක් සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් දුෂ්කර ක්‍රියා කොට, උරුවෙලාවේ නේරංජනා නදී තීරයේ අසබඩ ඇසතු බෝරුක මුල දී සකල ක්ලේශයන් ප්‍රහීන කර දසමරුන් පරදා උතුම් බුද්ධත්‍වයට පත්ව “අනේක ජාතී සංසාරං” යනුවෙන් ප්‍රථම බුද්ධ වචනය දේශනා කොට සිංහනාද පැවැත්විණි.

අප බුදුපියාණන් වහන්සේ පන්සාළිස් වසක් තමන් වහන්සේ අවබෝධ කර ගත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස දේශනා කර ගම් නියම්ගම් පාසා පාද චාරිකාවේ හැසිරෙමින් ලෝකයා ධර්මාලෝකයෙන් ආලෝකවත් කළහ.

ඒ උත්තමයින් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජුන්ගේ උපවර්තන නම් සල් උයනේ දී “වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” අවසන් බුද්ධ වචනය දේශනා කර දෙව් මනු ලෝ වැසියන්ගේ ධර්ම සංවේගය මැද මහා පරිනිර්වාණයට පත්වූහ. ලංකා ලෝකවාසී ජනී ජනයා අදත් ඒ උත්තමයන් වහන්සේගේ ශ්‍රී වෛශාක්‍ය තෙමඟුල බුද්ධාලම්බන ප්‍රීතියෙන් සමරති.

පුරා පන්සාළිස් වසක් බුද්ධ සේවාවේ පරමාර්ථය පරාර්ථය යි. ඒ සඳහා උන්වහන්සේට, සර්වාත්මතාවෙන් භාවිත, බහුලීකෘත කරුණා, මෛත්‍රීය, පිරී පැවතිණි. ඉන්ද්‍රඛීලයක් සේ අටලෝ දහමින් කම්පා නොවුණි. උන්වහන්සේගේ අකම්පස, මහාත්ම ශක්තිය එවකට සිටි අන්‍ය ශාස්තෘවරුන් අතර නොතිබිණි. එබැවින් ඒ විශේෂ වූ ශක්තිය විද්‍යාමාන විය.

එදා උන්වහන්සේ දේශනා කළ පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය, අන්‍ය මතවාද, අන්‍ය ආගමික දර්ශනයක නොවුණි. කිසිදු දේශනාවක නොවුණි. අනුත්තර වූ ධර්ම චක්‍රයක් උන්වහන්සේ දේශනා කළහ. ආර්ය මාර්ග සත්‍ය හැර දෙව්, බඹුන්, මිනිසුන්ට සසර ගමන නිමා කළ නොහැකි බව පෙන්වා දුන් සේක.

එසේම බුදු, පසේබුදු, මහරහත්, දෙව්, බඹුන්ට දිය නොහැකි රැගෙන යා නොහැකි, තමා විසින් ම අවබෝධ කර ගත යුතු පිළිවෙතින් පිළිවෙතට ගොස් ආර්ය භාවයට පත්විය හැකි දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග වශයෙන් කොටස් හතරකින් යුත් මාර්ගයක් පෙන්වා දෙන ලදී. සියලු බුදුවරු මාර්ගෝපදේකයෝ පමණි.

පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය පවතින හෝ සංඥා සහිත සිත පවතින මේ බඹයක පමණ ශරීර කූඩුව තුළයි. එය උපාදානස්කන්ධය නමින් බුදුවරු පෙන්වා දී තිබේ. සංසාර ගමන දිගින් දිගටම යාම හෝ ඉන් බැහැරව ස්ත්‍රී පුරුෂ දෙව් මිනිස් ඕනෑම අයෙකුට සසර ගමනට තිත තබන්නට හැකි ය. ඒ සියල්ල රඳා පවතින්නේ තමා සතුව ය.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]