[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සාමණේර භික්ෂූන් වහන්සේ රැක ගන්නට ජාතික වැඩපිළිවෙළක් ඕනෑ

සාමණේර භික්ෂූන් වහන්සේ රැක ගන්නට ජාතික වැඩපිළිවෙළක් ඕනෑ

සිද්ධාර්ථ කුමරුවාණන්ගේ උප්පත්තිය, බෝධි සත්වයන් වහන්සේ බුද්ධ රාජ්‍යත්වයට පත්වීම හා බුදුපියාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සමරන මෙ සමය තුළ ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ම අවධානය වැදගත් අංශයක් වෙත යොමු කිරීමට කැමැත්තෙමි. ඒ සාමණේර භික්ෂුව පිළිබඳවයි.

ශ්‍රමණයාගේ පුතා යන අර්ථය ඇති, ශ්‍රමණ+ණේර යන්නෙන් එය අර්ථ ගැන්වේ.

සිද්ධාර්ථ රජු තමන්ට ලැබුණු ජීවිතය රාහුල කුමරු තුළින් සමාජයට දෙනු ලැබුණි. එය ආදර්ශයකි. ඉන් ගිහි සමාජයට දෙනු ලැබූ පණිවුඩය නම් අනිවාර්යයෙන් ම ගිහි නම් ආවාහ විවාහ වී දරුවන් සමාජගත කළ යුතු බවයි. එය තමන්ට ලැබුණු ජීවිතය තමා තුළින් සමාජයට දීමක් ලෙස උන්වහන්සේ අර්ථ ගැන්වූහ.

අනතුරුව තමන්ට නොදුන් නිධානයක් වෙත් නම්, එය ලැබ දෙන ලෙස කියමින් පසු පස පැමිණි රාහුල හාමුදුරුවන්ට උන්වහන්සේ ලබා දුන්නේ පැවිදිකමයි. නැතහොත් පැවිදි බව නමැති ධනයයි. මෙය භික්ෂූන් වහන්සේට දුන් ආදර්ශයයි.

උන්වහන්සේ දෙවනුව ලබා ගත් පැවිදි ජීවිතය තම පුතු පැවිදි කරමින් ඒ ජීවිතය ද සමාජයට දායාද කළ අතර, භික්ෂුවට සඳහන් කළේ ශිෂ්‍යයන් හැදිය යුතු බවයි. දරුවන් හදන මව්පියන්ගෙන් දරුවන් ලැබ ඒ අය පැවිදි කළ යුතු බවයි.

වර්තමානයේ බොහෝ ස්වාමීන් වහන්සේ ශිෂ්‍යයන් ගොඩනැඟීමට අකැමැත්තක් පළකරනු පෙනේ. දිනක් පැවිදි කිරීමේ උත්සවයකට සහභාගි වී සිටින අතරේ අසන්නට ලැබුණ ලොකු හාමුදුරු නමකගේ ප්‍රකාශයක් මෙසේ ය.

“අනේ, මම නම් ගෝලයෝ හදන්නේ නෑ. පන්සලේ තියෙන වී ටික තම්බ තම්බ උන්ට දුන්නා කියලා පලක් නෑ. සිවුරු හැරලා යන්න යනවා. අනික ඔවුන් මහණ කර ගත්තාම, හදන්න ගිහින් දත්කූරු කන්න, තරහ ගන්න තමයි වෙන්නේ. ඊට වැඩිය හොඳයි නිකං ඉන්න එක.”

මෙය ඇසුණු කල්හි උන්වහන්සේට අප ප්‍රකාශ කළේ

“ඔය කියන ස්වාමීන් වහන්සේගේ ලොකු හාමුදුරුවෝ, ඔය විදිහට හිතුවා නම් ඔය ස්වාමීන් වහන්සේ ඔය තත්ත්වයේ නෑ නේද?” යනුවෙනු යි. මෙවැනි සිතැඟි බුද්ධ නියමයට විරුද්ධ ය. එබැවින් අවම වශයෙන් උපසම්පදාවෙන් දසවස් පිරුණු භික්ෂුව ශිෂ්‍ය සාමණේරයන් වහන්සේ පැවිදි කිරීමට උත්සුක විය යුතු ය.

මෑත ඉතිහාසයෙහි සසුනෙහි සසුන් ගත වන ප්‍රමාණයට වඩා උපැවිදි වන ප්‍රමාණය වැඩි බව පෙනේ. 2020 වර්ෂය තුළ පිරිවෙන්වලට ඇතුල් වූ නවක ශිෂ්‍ය ප්‍රමාණය සියයකටත් අඩු ය. පිරිවෙන් 825කි. මේවා පවත්වාගෙන යන්නේ කෙසේද? එම වර්ෂයේ ම මූලික පිරිවෙන් අවසාන පන්තියේ එකදු ශිෂ්‍යයකුවත් නොසිටි පිරිවෙන් සංඛ්‍යාව හාරසියයකට අධික ය. මින් පෙනී යන්නේ සාමණේරයන් වහන්සේ සසුන්ගත කිරීමට මෙන්ම සසුන්ගත වූ සාමණේරයන් වහන්සේ රැක ගැනීමට ජාතික මට්ටමින් හෝ පුද්ගලිකව හෝ වැඩ පිළිවෙළක් නොමැති බවයි.

2020 වසරේ උපැවිදි වී ඇති සාමණේරයන් වහන්සේගේ සංඛ්‍යාව 600 ඉක්මවයි. මහානායක ස්වාමීන් වහන්සේගෙන්, නිකායික ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේගෙන් උපැවිදි සහතිකයක් ලබා ගැනීමට පැමිණි කල්හි එය සිනහමුසු මුහුණින් ලබා දීමට වඩා ඒ භික්ෂුව සසුනෙන් යෑමට හේතු සොයා බලා පිළියම් කිරීම යෙහෙකැයි සිතමු.

උපැවිදි වන සාමණේරයන් වහන්සේට හෝ උපසපන් භික්ෂුවට හෝ උපැවිදි වීමට පෙර එය දැනුම් දිය යුතු කාලයක් සඳහන් කොට එසේ ඉල්ලීම් කළ කල ඔවුන් ගෙන්වා සාකච්ඡා කොට හේතු කාරණා විමසා බැලුවහොත් උපැවිදි වීම් 90%ක් ම වළකාගත හැකි බව අප ලබා ඇති අත්දැකීම්වලින් පැහැදිලි කළ හැක.

අලුතින් පැවිදි කිරීමට ගිහි දරුවන් ලබා ගැනීම අපහසු ය. පවුලක දරුවන් දෙදෙනකුට සීමා වීම හෝ එක පිරිමි ළමයකු සිටීම බරපතළ ගැටලුවකි. එම පවුල් සඳහා තවත් දරුවකු, දුවක වුව ද, පුතකු වුව ද හැදීමට පොළඹවන ආධාර උපකාරයක් සලසා එම දරුවා සසුනට ගැනීමට ද කටයුතු කළහොත් ලංකාව තුළ සක්‍රියව පවතින පන්සල් දස දහසෙන් එක් වෙහෙරකට දහනමක් වන සේ ලක්ෂයක් භික්ෂූන් වහන්සේ හැදිය හැකි ය. දෙකෝටියකට ආසන්න ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේත්, ලොව තුන්වැනි තැන පවතින බෞද්ධ ජනතාවගේත්, දෙව් මිනිස් සැප පිණිස වෙහෙසෙන සඟ පරපුරක් ලෝකයේ ථෙරවාදී මූලස්ථානය වන ශ්‍රී ලංකා ශාසනයේ සේවයක් සේ කළ හැක.

මෙහිදී තවත් කරුණකට උගත් භික්ෂූන් වහන්සේගේ සිත යොමු කරමි.

මූලික පිරිවෙන් අවසාන විභාග ප්‍රතිඵලයට සාමාන්‍ය පෙළ තත්ත්වය ලබා දී තිබේ. මින් සිදු කරන්නේ යන්තම් පිරිවෙන් අවසානය සමත් කර ගන්නා සාමණේර නම ඉන් උසස් පෙළ කොට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමයි. ඉන් සසුනට ප්‍රයෝජනවත් භික්ෂුවක නොසෑදේ. එම නිසා ප්‍රාචීන අධ්‍යාපනයට ද යොමු නොවේ. ප්‍රාචීන, ප්‍රාරම්භ විභාගයට සාමාන්‍ය පෙළ තත්ත්වය ලබා දෙන්නේ නම් එම භික්ෂූන් උසස් පෙළ සේ ම ප්‍රාචීන අධ්‍යාපනයට ද පෙළඹේ. මේ ගැන ද සිතා බැලිය යුතු ය.

මේ අයුරින් නිකාය සහ පාර්ශ්ව යම් සාධනීය තීරණ රැසක් සාමණේර භික්ෂුවගේ උන්නතිය පිණිස ජාතික මට්ටමින් ගැනීමට සාකච්ඡා කිරීම වටී යැයි මේ උතුම් වෙසක් පෝ දා සිහි කැඳවමු.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]