[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර පසළොස්වක 2023-05-05

සැබෑ බෞද්ධයා

රාග, ද්වේෂ, මෝහා දී කෙලෙස් ගින්නෙන් දැවි දැවී අවිදු අඳුරේ අතරමං වූ සකල ලෝ සත වෙත පතළ මහා බුදු කරුණාවෙන් දුකඳුරෙන් මිදෙන්නට අමා දොර විවර කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුන් පෝ දිනය සෑම බෞද්ධයකුට ම තම ජීවිතය දෙස ආපසු හැරී බලමින් වැරැදි නිවැරැදි කර ගන්නට, සරු නිසරු දෙය තෝරා බේරා ගන්නට, උභය ලෝකාර්ථය සාධනය කර ගන්නට සුවිශේෂයෙන් සිහිපත් කෙරෙන මහා පුණ්‍යවන්ත දිනයෙකි.

ඒ පින්බර දිනයේ වෙහෙරක් වෙහෙරක් පාසා සුගන්ධ පුෂ්පයෙන්, සුගන්ධ ධූපයෙන්, පහන් ආලෝකයෙන් ආදි ආමිෂ පූජාවන්ගෙන් පුද පූජා පැවැත්වීමෙන් පමණක් ඒ උතුම් ශාස්තෘන් වහන්සේ සැබෑ ලෙස පිදීම නොවන බව සෑම බෞද්ධයෙක් ම අවබෝධ කර ගත යුතු ය.

කොපමණ ආමිෂ පූජා පැවැත්වුව ද තමන් තමන්ට අවංක වෙමින් තථාගතයන් වහන්සේ දෙසා වදහළ සදහම් මඟ අනුව යමින් ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගොඩනඟා ගන්නා තාක් අපි සැබෑ බෞද්ධයෝ නොවෙමු. ආමිෂයෙන් සැදැහැති බව දියුණුූ කොට, දහම් අසා, නුවණින් විමසා ඒ දහමෙහි හැසිරිය යුතු ය. වෙනත් වචනයකින් කියනවා නම් ධම්මචාරී විය යුතු ය. ජීවිතයට ධර්මයේ රැකවරණය ලැබෙන්නේ එවිට ය.

ධර්මචාරී පුද්ගලයා අර්ථචර්යාවෙන් යුතු ය. එනම්, සිත, කය, වචනය වැඩදායක අයුරින් හුසරුවා ගන්නේ ය. ඒ යහපත ලෞකික ජීවිතයට පමණක් නොවේ. ආධ්‍යාත්මික පිරිසුදු බව ද ඊට ඇතුළත් ය.

යම් කෙනෙක් මේ සැප යැයි සිතමින් පාපයෙහි ඇලුන ද ඒ පසුපස හඹා එන්නේ දුක ය. කඳුළ ය. අර්ථචර්යාවෙන් යුතු පුද්ගලයා, යම් දෙයක් කොට පසුව පසුතැවිලි වීමට සිදුවේ ද, කඳුළු පිරි දෙනෙතින් වේදනා විඳින්නට සිදු වේ ද එවැනි කිසිදු ක්‍රියාවක නිරත නොවන්නේ ය.

තමන්ටත් කඳුළ උරුම නැති, අනුන්ටත් කඳුළ වේදනාව උරුම නොකරන එවැනි ජීවිතයක් මොන තරම් නම් සුව දායක ද? එහෙත් බෞද්ධයෝ ලෙස අප අතරින් කීයෙන් කී දෙනෙක් අර්ථවත් ලෙස ජීවත්වනවා ද යන්න අවප්‍රමාණය වන්නේ සමාජය තුළ සිදුවන අනර්ථයන් අප්‍රමාණ බැවිනි.

කෙනෙක් ක්‍රෝධයේ, වෛරයේ ගින්නෙන් දැවෙමින් අළු වෙමින් සිටිති. තණ්හා ආශා පොදි බැඳගෙන තවත් කෙනෙක් සැපත සොයා යති. ඒ ගමනේ හොඳින් හෝ නරකින් තමන්ගේ ගොඩ වැඩි කර ගන්නට කවර හෝ අනර්ථයක යෙදෙති. බොහෝ ජීවිත සරල නැත. පැටලුණ නූල් බෝලයක් සේ සංකීර්ණ ය. ගැටලුවකින් තවත් ගැටලුවකට මැදි වන්නේ ය. බොරුව, වංචාව, කපටිකම, දූෂිත බව ඔවුනොවුන් පරයා නැඟී සිටින විසල් වෘක්ෂයන් සේ සමාජය වසා සිටී.

බෞද්ධයන් අතර, මෙ වැනි අය සිටිනවා නම් ඔවුහු ජන්මයෙන් උරුම කර ගත් බෞද්ධකමට ද නිගා දෙන්නෝ ය. සරු නිසරු දෙය හඳුනාගෙන සරු දෙය පමණක් ජීවිතයට ගළපා ගන්නට වහ වහා උත්සුක විය යුත්තේ මේ මඩගොහොරුවේ තව තවත් නොගිලෙන්නට ය.

මෙත් කරුණා දායාදියෙන් හදවත් සනසාගෙන ඒ සිසිලස අනුන්ට ද දානය කිරීමට සමතෙකි බෞද්ධයා.

හොඳින් සෙවිලි නොකළ ගෙය වැස්සෙන් තෙමී යයි. මේ සිත ද එපරිදි වේ. භාවනාවෙන් සිත එකඟ කර නොගන්නා තැන රාගාදී සිතිවිලිවලින් සිත පිරී යන බව දහමේ සඳහන් වේ. කායික ශික්ෂණය සේ ම මානසික ශික්ෂණය සඳහා සීලය මෙන් ම සමාධිය ද වැඩිය යුතු ම ය. අපේ බොහෝ බෞද්ධයින් භාවනාවේ වටිනාකම නොහඳුනතත් අමෙරිකාව වැනි බටහිර රටවල පවා භාවනාවට ප්‍රමුඛත්වයක් ලැබේ. බුදු රදුන් දෙසූ සදහම් මඟ යන පුද්ගලයා සිත එකඟ කරගත්, වඩන ලද සිත් ඇත්තෙක් විය යුතු ම ය.

සීල, සමාධි, ප්‍රඥා වඩමින් දෙලොව දියුණුව සලසා ගන්නටත්, මේ සසර මඟ කෙටිකර ගන්නටත් මේ උතුම් වෙසඟේ තිර අධිටනක් ඇති කර ගනිමු.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]