[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ඉපැරැණි සිරිලක වෙසක් අසිරිය

ඉපැරැණි සිරිලක වෙසක් අසිරිය

ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ සංස්කෘතික හර පද්ධතීන් ප්‍රමාණවත් පසුබිමක් යටතේ ස්ථාපිත වූයේ ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී නොහොත් බුද්ධ වර්ෂ 236 දී සිදු වූ මහින්දාගමනයෙන් පසුව ය.

ධාර්මික විනෝදයෙන් ප්‍රතිපදාවට

එබැවින් බුදු සමයේ ආභාසය මත එතෙක් මෙරට පැවති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය විය. තත්කාලීනව සමාජගතව පැවති අභිචාරවිධි සියල්ලක් ද අනුක්‍රමයෙන් වෙනස් මඟකට අවතීර්ණ විය.

බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගත වූ ජනතාව ආගමික උත්සව පැවැත්වීම කෙරෙහි ද වැඩි රුචිකත්වයක් දැක්වූහ. අවිහිංසාව, ශ්‍රද්ධාව, භක්තිය හා බුද්ධිය පදනම් කරගත් ආගමික උත්සව රැසක් ද ඒ හා සමඟම ආරම්භ විය.

මෙම පූජෝත්සව පැවැත්වීම තුළින් අපේක්ෂිත පරමාර්ථය වූයේ හුදෙක් ධාර්මික විනෝදය ලබා ගනිමින් කෙමෙන් කෙමෙන් බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට ජනතාව අනුගත කරවීමයි. අනුක්‍රමයෙන් සංඛ්‍යාත්මකව වැඩි දියුණු වී ගිය මෙබඳු උත්සව වසර පුරාම මහත් හරසරින් පවත්වන තත්ත්වයක් පෙන්නුම් කෙරිණි. අනුරාධපුර යුගයේ පටන්ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින්ම මුල්බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස් ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම් නිසා ය.

මෙම උත්සව අතර, පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක් වන වෙසක් උත්සවය ශ්‍රී ලාංකේය බෞද්ධයනට අන් හැම උත්සවයකට ම වඩා වැදගත් ය.

රාජ්‍ය හරසර

පුරාතන ශ්‍රී ලංකාවේ පැවති වෙසක් උත්සවයක් පිළිබද ප්‍රථම වාර්තාව මහාවංශයෙහි හමුවන්නේ දුටුගැමුණු (ක්‍රි.පූ. 101- 77) රාජ්‍ය සමයේ දී ය. “මහා වේසාඛ පූජාච චතුවීසති කාරයිං” යනාදී වශයෙන් දුටුගැමුණු රජු වෙසක් උත්සව විසිහතරක් පැවැත්වූ බව එහි කියැවෙයි.

ඓතිහාසික ලිඛිත වාර්තා නොමැති වුව ද වෙසක් උත්සවය එයට පෙර ද පැවැත්වුණු බව විශ්වාස කළ හැකි ය.

දුටුගැමුණු රජුගෙන් පසු තවත් බොහෝ රජවරු වෙසක් උත්සවය අඛණ්ඩව පැවැත්වූහ. භාතිය රජු (ක්‍රි.ව. 38-67) වෙසක් උත්සව විසිඅටක් සිදු කළේ ය. බුද්ධ රූපය තනා රථයක තැන්පත් කොට වීදි සංචාරය කරමින් පැවැත්වූ මෙම උත්සවයේ දී දුගී මඟී යාචකාදීන්ට ආහාර පානාදිය දීමේ සිරිත ද පැවතිණ. වසභ රජු ද (ක්‍රි.ව. 127- 171) ඔටුනු පලන් වර්ෂයේ පටන් ම පිළිවෙළින් වෙසක් උත්සව විසිහතරක් සිදු කළේ ය. වෝහාරතිස්ස රජු ද (ක්‍රි.ව. 269 -291) වෙසක් උත්සවය සිදු කොට ලක්දිව සියලු භික්ෂූන් වහන්සේට තුන් සිවුරු පිදීය. එමතු නොව ගෝඨාභය රජු ද (ක්‍රි.ව. 323 -333) ජෙට්ඨතිස්ස රජු ද (ක්‍රි.ව. 611-617) දල්ල මොග්ගල්ලාන රජු ද (ක්‍රි.ව. 851 -885) 2 වැනි සේන රජු ද රටවාසීන් හා එක්ව මහත් හරසරින් වෙසක් උත්සවය පැවැත්වූ බව සඳහන්ව තිබේ.

පූජාවලියේ වර්ණනා

මේ අනුව රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් විශාල ප්‍රමාණයක් ද වෙසක් උත්සවය සඳහා වෙන් කෙරිණ. සෑම රජ කෙනකුගේ ම අනිවාර්ය රාජ්‍ය චාරිත්‍රයක් වූ මෙය පොලොන්නරු යුගය වන විට තව තවත් දියුණුවට පත් විය.

දඹදෙණි යුගයේ පැවැති ඉතා චමත්කාරජනක වෙසක් උත්සවයක් පිළිබඳ පූජාවලිය තුළ මෙවන් වාර්තාවක් හමු වෙයි.

ඒ දවස් මේඝ රාජයාණන් හස්තිරූප ව්‍යාජයෙන් බුදු මඟුලට බැස මිහිමඩලෙහි ඇවිදින්නා සේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් ඇවිදිනා හස්තිරූප පංක්තීන් හා පූජා ලෝලීන් දිවූ සමුද්‍ර රාජයාගේ මහ රළ පෙළ සේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් දිවෙන අශ්වරූප පංක්තීන් හා බුදුන්ගේ මහා මංගල්‍යයෙහි අලංකෘත වූ පූජාවෙන් වෙහෙර සරසා සහස් සුවහස් ගණන් සංඝයා හා මුළු ලක්දිව සියලු මනුෂ්‍ය සේනා රැස්කොට වෙහෙර සිසාරා ගවු ගවු මානයෙහි පූජා පෙළහරින් සිටගත් මනුෂ්‍ය සේනාම අතුරු නොදී සිටිනා සේ නියෝග කොට............

මෙම වෙසක් උත්සවය සිදු කරනුයේ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1250 -1285) මූලිකත්වයෙනි.

ඒ තුළින් වෙසක් උත්සවයක තිබිය යුතු සියලුම අංග ප්‍රකාශ වෙයි. එබැවින් මෙය පුරාතනයේ පැවැති වෙසක් උත්සවයක නියම ස්වරූපය යැයි නියත වශයෙන් ම පැවසිය හැකි ය.

මෙහි ‘බුදු මඟුලට බැස” යනුවෙන් සඳහන්ව ඇති බැවින් වෙසක් උත්සවය සඳහා “බුදු මඟුල” යන්න යොදා ඇති බැව් පැහැදිලි ය.

සම්මත නීතියක්

මහනුවර යුගයේ වෙසක් උත්සවය පැවැත්විය යුතු ආකාරය දක්වමින් සම්මත නීති මාලාවක් ද එකල පැවති බව මහාවංශයෙන් තහවුරු වෙයි.

ගෞරවය හා විචිත්‍රත්වය

කෝට්ටේ යුගයෙහි කළ වෙසක් උත්සව ගැන කරුණුූ විරලය. බුද්ධ පූජා පැවැත්වූ රජවරුන් රාශියක් ගැන සඳහන් වේ.

කොළඹ යුගයේ දී ඉතා ‘විචිත්‍ර අන්දමින් වෙසක් උත්සවය සිදු කෙරිණි. අද වන විට රාජ්‍ය වෙසක් උත්සවය ප්‍රමුඛව ලංකාවේ වෙසක් උත්සව ඉතා චිත්තාකර්ෂණීය අන්දමින් සිදු කෙරෙයි.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]