[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මිනිසෙක් ව ඉපදී දෙවියෙක් ව මිය යන්න

මිනිසෙක් ව ඉපදී දෙවියෙක් ව මිය යන්න

සමාජයෙහි සිදුවන බොහෝ වැරැදි, පාපකාරී ක්‍රියාවන්ගෙන් මිදී යහපත් ජීවන පැවැත්මක් අනුව කටයුතු කිරීමට බුදුරදුන් දක්වා වදාළ අත්තූපනායික ධර්ම පාර්යාය ක්‍රමය බෙහෙවින් උපකාරවත් වෙයි. එයින් අදහස් කරනුයේ සෑම විටකම තමා හා සසඳා බලා වරදින් ඉවත්වීම යි.

දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ පිරිවරා වඩිමින් ලිච්ඡවී රාජධානියට ඇතුළු වූහ. එහි දර්ශනීය අඹ උයනක් දුටු බුදු පියාණෝ මඟ අසල තිබූ එක් අඹගසක් මුල විවේක ගැනීමට වැඩ සිටියහ. එය දුටු භික්ෂූන් වහන්සේ ද තැන් තැන්වලට ගොස් විවේක ගන්නට පටන් ගත්හ. මද වේලාවකට පසු භික්ෂූන් ඇමතූ බුදුහු දෙව්ලොව දෙවියන් දැක ඇත්දැයි විමසුහ. සියලු දෙනා වහන්සේ නිශ්ශබ්ද වූයේ දෙවියන් දැක නැති බැවිනි.

එවිට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා “අර ඈත මාර්ගයේ එන පිරිස දෙස බලන්න, හරියට දෙව්ලොව දෙවියන් සමානය”යි පැවසූහ. එසේ දකින්නට ලැබුණේ දෙවියන් නොව බුදුරදුන් තම රාජ්‍යයට වඩින ලදැයි දැනගත් ලිච්ඡවි රජවරුන්, කුමාර කුමාරියන් විවිධ ඇඳුම් පැළඳුම්වලින් සැරසී ලස්සන රථවලින් බුදුරදුන් වැඩ සිටින ප්‍රදේශයට පැමිණීම යි.

එසේ නම් ඒ පිරිස දෙවියන් හා සමාන වූයේ කෙසේ ද ? වටිනා ඇඳුම් පැළඳුම්වලින් සැරසී අගනා රථවලින් පැමිණි නිසා ද ? නැත. ඔවුන් සප්ත අපරිහානිය ධර්ම අකුරට පිළිපදිමින් ඉතා උසස් සත්පුරුෂ ගුණ ධර්ම තමන්ගේ ජීවිත තුළින් ක්‍රියාත්මක කළ බැවිනි.

සත්වයන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ මනුෂ්‍යයා ය. ඒ මනුෂ්‍යත්වය 'මහන්තෙන හි කුසලෙන' යනුවෙන් දහමෙහි දැක්වෙන අන්දමට පෙර ආත්මවල මහත් වූ කුසල් රැස් කිරීමෙන් ලද එකකි. එසේ මනුෂ්‍යත්වය ලබා ගත් අයට තිරිසන් සතුන් මෙන් වැඩ කිරීමෙන් මනුෂ්‍ය තිරශ්චීන ලෙසත්, ප්‍රේත ලෝකයේ ජීවත් වන අය මෙන් කටයුතු කිරීමෙන් මනුෂ්‍ය ප්‍රේතයන් ලෙසත්, මහා නරකයෙහි වසන්නවුන් මෙන් කටයුතු කිරීමෙන් මනුෂ්‍ය නේරයිකයන් ලෙසත් කල් ගත කළ හැකි ය. අප ජීවත්වන සමාජය තුළ මේ දැක් වූ යම් ආකාරයකට කල් ගෙවන අපමණ මනුෂ්‍යයන් දැකිය හැකි ය. ඒ මනුෂ්‍යයන් අතරින් සෑහෙන පිරිසක් බුද්ධිමත්ව කල්පනා කොට යහපත් ගුණ ධර්ම ක්‍රියාත්මක කරමින් උසස් වූ මනසක් ඇතිව ක්‍රියා කරති.

සත්පුරුෂ මනුෂ්‍යයෙක් ව ජීවත් වීමට සිතන ඕනෑම කෙනකුගේ ප්‍රධාන, මූලික වගකීම නම් "න මං නිස්සාය අඤ්ඤෙසං කිලමන කිච්ඡං නත්ථි" යනුවෙන් දැක්වෙන අන්දමට තමන්ගෙන් අන් කිසිවකුට කවර ආකාරයක හෝ කරදරයක්, හිරිහැරයක්, විපතක්, අපහසුවක් නොවන අන්දමට ජීවත් වීමයි.

මේ පිළිබඳ සිතන විට පැහැදිලි වන්නේ සමහරු තම නිවසේ කටයුතු කරද්දී විවිධ ආකාරයෙන් අහල පහළ සිටින අයට හිරිහැර කරදර සිදුවන බවයි. සමහරු අඩු තරමින් තමන්ගේ ගුවන් විදුලි යන්ත්‍රය හෝ රූපවාහිනී යන්ත්‍රය වුවත් අනුන්ට කරදරයක් නොවන ලෙස පාවිච්චි කිරීමට නොසිතති. මහ මඟක හෝ වාහනයක හෝ කාර්යාලයක නොවේ නම් වැඩපලක හෝ සමහරුන් කටයුතු කිරීමේ දී තවත් කී දෙනෙකුට හිරිහැර සිදුවෙනවා දැයි සිතා බලන්න. බෞද්ධයන් පමණක් නොව හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආදී කවර ආගමකට අයත් වුවත් ඔවුන්ගේ පැවැත්ම තුළින් අන් අයට හිංසාවක් හෝ විපතක් සිදු කෙරේ නම් එය තමන් අදහන ආගමට පමණක් නොව ආගමික ශාස්තෘවරයාට ද කරන බලගතු නින්දාවකි.

අධික ආසාව, අත්‍රිච්ඡතා හා මහිච්ඡතා යන දුර්ගුණයන්ගෙන් යුක්ත වූ විට මිනිසා මහත් සේ කිලුටට පත්වන බව ධර්මය මඟින් පෙන්වා දී ඇත. එහි අත්‍රිච්ඡතා යනුවෙන් දැක්වෙන්නේ තමාට කොපමණ ධන ධාන්‍ය භව භෝග සම්පත් තිබුණත් එයට වඩා අන්සතු දේ උසස් කොට සලකා ඒවා තමා වෙත අයත් කර ගැනීමට ආසාවෙන් ක්‍රියා කිරීම යි. ගංගාවන්හි මහා ජල කඳ කොපමණ අවුත් මහ මුහුදට වැටුණත් එක් අඟලක් හෝ උස් නොවන්නාක් මෙන් කොපමණ වස්තුව තිබුණත් මහිච්ඡතාවෙන් යුත් තැනැත්තා සෑහීමට පත්වන්නේ නැත. මේ කවර දුර්ගුණයක් වුවත් සම්පූර්ණයෙන් ම මිනිසා උතුම් මිනිස් ගුණයන්ගෙන් පිරිහී තිරිසන් හෝ ප්‍රේත තත්ත්වයන්ට පත් කරයි.

මනුෂ්‍යයා සතු උතුම් ගුණයන් සම්පූර්ණයෙන් මකා දමා අසාධාරණ අන්දමට ජීවත්වීමට පෙළඹෙන ප්‍රධාන කරුණු හතරක් ඇති බව ධර්මය මඟින් පෙන්නුම් කර ඇත. ඒ සතර නම් ඡන්ද, දෝස, භය, මෝහ යන ඒවා ය. තම නෑයා ය, හිතවතා ය, පාක්ෂිකයා ය, තමාට සහාය දැක්වූ තැනැත්තාය ආදී වශයෙන් සලකා ඔවුන්ට අනිසි අන්දමට ලාභ ප්‍රයෝජන තනතුරු ආදිය ලබා දීමට සමහරු ක්‍රියා කරති. කුඩා සමාජයේ සිට රටක් පාලනය කරන ඉහළ සමාජය තුළ ද මේ අසාධාරණ කැමැත්ත ( ඡන්දය)පැවතීම නිසා මොනතරම් අසාධාරණ හා අකටයුතු දේ සිදුවනවා දැයි සිතට ගන්න.

දෙවනුව දැක් වූ ද්වේශය හෙවත් තරහ නිසා තමන්ට නොවේ නම් තමන්ගේ හිතවත් වෙනත් කෙනෙකුට වෙනස් කමක් කළේ යැයි සිතා තරහෙන් මොනතරම් පළිගැනීම් සිදුකරත්දැයි සිතා බලන්න. එපමණක් නොව තමන්ට හෝ තම පවුලේ කෙනකුට හෝ හිතවතකුට කවරෙකු විසින් අනාගතයේ කරදරයක් හෝ හිරිහැරයක් කෙරෙනු ඇතැයි සිතා ඇතිවන භය තුළින් ඒවායෙන් මිදීම පිණිස බියට පත්ව මොනතරම් පවු වැඩ කරත් ද ? තවත් පැත්තකින් සිතන විට සමහර අය නොදැනුවත්කම හෝ වැරැදි වටහා ගැනීම් නිසා මුලාවට ( මෝහ) පත්ව අන් අයට හිරිහැර කරදර කිරීම පමණක් නොව ජීවිත හානි සිදුකිරීමේ අවස්ථා ද දක්නට ලැබෙයි. මේ දුර්ගුණයන් නිසා සෑම ක්ෂේත්‍රයක ම මිනිස්ගති අතුරුදන් වී ඇති බවත්, බිය ජනක පිළිකුල් සහගත සමාජයක් ගොඩනැඟී ඇති බවත් පෙනී යයි.

කිසිම පදනම් නැති අන්දමට සමාජය තුළ මිනිසා ජාති ආගම් කුල ආදියෙන් බෙදී සිටීම සහජීවනයට බලවත් බාධාවකි. අග්ගඤ්ඤ සූත්‍රය වැනි දේශනා හෝ ජීව විද්‍යා, සමාජ විද්‍යා, ආචාර විද්‍යා ආදී කිසිම ඉගැන්වීම් ක්‍රමයකින් මිනිසා බෙදා දැක්වීමට සාධාරණ වූ කරුණු ඉදිරිපත් කළ නොහැකි ය. සමාජයේ ජීවත්වන බොහෝ අයගෙන් සිදුවන වැරැදි ක්‍රියාවන්ගෙන් මිදීමට අවශ්‍ය ගුණධර්ම දෙකක් බුදු දහම මගින් පෙන්වා දී ඇත. එනම් හිරි ( ලජ්ජා )ඔත්තප්ප ( භය ) යන්නයි. මේ ගුණ ධර්ම දෙක දෙවියන් අතර පවා ක්‍රියාත්මක කෙරෙන හෙයින් ඒවා දේව ධර්ම නමින් ද හඳුන්වයි.

චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි මේ ගුණ ධර්ම දෙක පිළිබඳ විස්තර ඉදිරිපත් කරමින් මේ උතුම් ගුණයන්ගෙන් තුරන් වූ විට තිරිසන් සමාජයක් බිහිවන බව පෙන්වා දෙයි.

සමාජයෙහි සිදුවන බොහෝ වැරැදි, පාපකාරී ක්‍රියාවන්ගෙන් මිදී යහපත් ජීවන පැවැත්මක් අනුව කටයුතු කිරීමට බුදුරදුන් දක්වා වදාළ අත්තූපනායික ධර්ම පාර්යාය ක්‍රමය බෙහෙවින් උපකාරවත් වෙයි. එයින් අදහස් කරනුයේ සෑම විටකම තමා හා සසඳා බලා වරදින් ඉවත්වීම යි.

උදාහරණ ලෙස සතකු මෑරීමට සිතක් පහළ වූ විට තමන්ගේ ශරීරය කවුරු හෝ නැති කරනවාට කැමති ද? යනුවෙන් තමා ම විමසා බලන විට කිසිදු කෙනෙක් තමන්ගේ ශරීරය විනාශ කිරීමට හෝ තලා පෙළා පහර එල්ල කිරීමකට අකැමැති වෙයි. එමෙන් ම අනුන් ද එවැනි ක්‍රියාවට අකමැති බව සලකා මරණයට පත්කිරීම වැනි වරදින් මිදීම වැදගත් ය. මේ අන්දමට සොරකම් කිරීම ආදී අනිකුත් දුර්ගුණයන්ගෙන් ඉවත් වීමට තමා සමඟ සසඳා කල්පනා කිරීමේ උතුම් ක්‍රමයෙන් බොහෝ වැරැදිවලින් මිදිය හැකි ය. කෙසේ වුවත් මිනිසා ත්‍රිවිධ ද්වාරය මෙහෙය විය යුත්තේ මනසින් උසස් වූ, යහපත් ක්‍රියාවන් සිදු කිරීම සඳහා යි. එයයි බුද්ධ දේශනාව.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]