[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

තැවෙන දැවෙන සිත් නිවා සැනසවූ ගම්භීර සමාජ ශෝධකයාණෝ

තැවෙන දැවෙන සිත් නිවා සැනසවූ ගම්භීර සමාජ ශෝධකයාණෝ

ඉපැරැණි භාරතීය සමාජය බ්‍රාහ්මණ චින්තනයට අනුව හැඩ ගැසී තිබිණි. එකල සමාජය තුළ පැවැති සිරිත් විරිත්, සිතුම් පැතුම්, වැඳුම් පිදුම්, ඇදහීම්, කුල ගෝත්‍ර ආදිය බ්‍රාහ්මණයන්ගේ පිළිගැනීම් අනුව ක්‍රියාත්මක විණි. මුළු ඉන්දියානු සමාජයම ගොඩනැඟී තිබුණේ බ්‍රාහ්මණයන්ගේ පිළිගැනීම් අනුව ය.

සමාජය සංවිධානය කිරීමේ පූර්ණ බලතල බ්‍රාහ්මණයන් සතු වී තිබිණි. එනම් බ්‍රාහ්මණ ආධිපත්‍යයක් තුළ සමාජය ක්‍රියාත්මක විණි. ආගමික, සාමාජික, ආර්ථික, දේශපාලනික යන සෑම විෂයයක ම ක්‍රියාකාරිත්වයේ දී බමුණු මතය අනුව ක්‍රියාත්මක වූ බව භාරතීය ඉතිහාසය අපට පෙන්නුම් කරයි.

මේ බමුණු මතවල වැරැද්ද, අඩුපාඩුකම් පෙන්වා දීමට හෝ ඒවා විවේචනය කිරීමට හෝ සමත් ප්‍රබල බුද්ධිමතෙක් බුදුරදුන් පහළවන තෙක් නොසිටි බව ඉතා පැහැදිලි ය. රජුත්, රටවැසියාත් උපදෙස් ගත්තේ බමුණන්ගෙනි. බමුණන් කියන දේ කළා මිස ඒවායේ වැරැදි පෙන්වීමට ඔවුහු ඉදිරිපත් නොවූහ. මේ මිථ්‍යා විශ්වාසවල, වැරැදි චින්තනය තුළ පවතින භයානක බව පෙන්වාදීමට සමත් බුද්ධිමත් නායකයකුගේ පහළවීම යුග අවශ්‍යතාවක්ව පැවැතිණි. මේ ආකාරයෙන් බමුණන්ගේ මරණීය තර්ජන ගර්ජන ඇති පසුබිමක් තුළ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූහ.

උසස් රාජ වංශයක ඉපිද තමාට හිමි සියලු රාජකීය සම්පත් අතහැර පෞද්ගලිකත්වය සහමුලින්ම නැති කළ උතුම් අමා මෑණි බුදුපියාණන් වහන්සේ බමුණු මතයන්ගෙන් සැකසී තිබුණු මිථ්‍යා මතයන්ගෙන් පෝෂණය වූ ඉන්දීය සමාජය වෙනස් කිරීමට ආඥාදායකයකු ලෙස නොව අවිහිංසාවාදියකු ලෙස කටයුතු කළහ.

මේ උදාර සමාජමය වෙනස නොඉවසූ සමහර අය බුදුරදුන්ට මරණීය තර්ජන පවා එල්ල කළහ. ස්ත්‍රී දූෂණ හා මිනීමැරීම් චෝදනා ද එල්ල කළහ. නමුත් මේ කිසිවකින් නොසැලුණු බුදුරදුහු අකම්පිතව සමාජය නිවැරැදි මඟට යොමු කරන පිළිවෙත ක්‍රියාත්මක කර පෙන්වූහ.

‘බ්‍රාහ්මණ’ යනු මෙදා සමාජය පිළිගෙන තිබුණේ උසස් පිරිසුදු කොටසක් ලෙසයි. බමුණන් උපත ලබා ඇත්තේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් යැයි පිළිගෙන තිබිණි. ඒ අනුව බමුණන් හැර අන් සියලුම අය පහත් ය. අපිරිසුදු ය යන මතය සමාජය තුළට කාවද්දා තිබිණි. මවුකුසින් උපදින බමුණන් මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපදිනවා යැයි කීම මහබඹුට කරන ලොකු අපහාසයක් නින්දාවක් බව බුදුරදුහු පෙන්වා දුන්හ. මොනතරම් පහත් වැඩ, හීන වැඩ කළත් එය බමුණන්ට ප්‍රශ්නයක් නොවන බවත්, එයින් තම වංශයට හානියක් නොවන බවත් එදා සමාජයට දී තිබුණු වැරැදි අවබෝධය බුදුරදුහු වෙනස් කළ අයුරු විවිධ සූත්‍ර දේශනා ඇසුරෙන් දැක ගන්නට පුළුවන.

න ජටාහි න ගොත්තේන - න ජච්චා හොති බ්‍රාහ්මණෝ

යම්හි සච්චංච ධම්මෝච - සො සුඛී සෝච බ්‍රාහ්මණෝ

හිසේ බැඳ තිබෙන ජටාවෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ජාතියෙන් හෝ බමුණෙක් නොවේ. යමකු තුළ සත්‍යයත්, ධර්මයත් පවතී නම් ඔහු පවිත්‍ර අයෙකි. ඔහු බ්‍රාහ්මණයෙකි.

යස්ස කායෙන වාචාය - මනසා නත්ථි දුක්කතං

සංවුතං තීහි ඨානෙහි - තමහං බ්‍රෑමි බ්‍රාහ්මණ

යමෙක් කයින්, වචනයෙන්, මනසින් වැරැදි නොකරත් ද තුන්දොරින් සංවර වූ ඔහු බ්‍රාහ්මණයෙකැයි කියමි. බ්‍රාහ්මණයා යන්නට මෙතෙක් පැවැති අර්ථකථනයන් වැරැදි බව පෙන්වා නව අර්ථකථනයන් ලබා දුන්හ. බමුණු මතවලට විරුද්ධව මුලින්ම කරුණු ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේ ය. මේ දේශනා ඇසූ බුද්ධිමත් බමුණෝ බුදුරදුන්ට ගරු කළහ. උන්වහන්සේ වෙත පැමිණ මහණ වූහ. බුදුරදුන්ගේ දෑගසව්වන් බවට පත්වූ සැරියුත් මුගලන් දෙනම බමුණු මත අත්හැර පැමිණි උතුමන් දෙපළකි.

බමුණු සමාජය තුළ පැවැති කුලභේදය බුදුරදුහු එක හෙළාම ප්‍රතික්ෂේප කළහ.

ආධ්‍යාත්මික දියුණුව දෙස බලා මිනිසා වර්ග කරනු මිස බාහිර අංග ලක්ෂණ හා උපත අනුව වර්ග කිරීම බුදුදහම ප්‍රතික්ෂේප කරයි.

ජීව විද්‍යානුකූලව කරුණු ගෙන හැර දක්වන බුදුදහම වෘක්ෂ හා සත්ව ජීවිත සම්බන්ධයෙන් විවිධ වර්ග හා ප්‍රභේද දැක්විය හැකි වුවත් මිනිස් ප්‍රජාව එකම වර්ගයක් බව ප්‍රකාශ කරයි.

බෞද්ධ මතය නූතන ජීව විද්‍යාත්මක සොයා ගැනීම් හා එක්ව ගමන් කරනු ඇත. මනුෂ්‍යයා යනු එකම ජාතියකි. එකම වර්ගයකි යන නූතන විද්‍යාඥයින්ගේ නිගමනය බුදුරදුහු එදා අපට පෙන්වා දුන්හ. ඇතැම් බමුණෝ බුදුරදුන්ට විරුද්ධව නැඟී සිටියහ. බුදුරදුනට ‘වසලයා’ ‘මුඩුමහණ’ යැයි බැණ වැදුනහ. මේ සියලු අපහාස අවස්ථාවල බුදුරදහු පෙන්වා දුන්නේ මිනිසාගේ වැදගත්කම, වටිනාකම මනින මිනුම් දණ්ඩ වන්නේ ජාතිය, කුලය හෝ ගෝත්‍රය නොව ඔහුගේ චරිතය හා ක්‍රියා කලාපය බවයි. උන්වහන්සේ ඕනෑම කුලයක අයට බුදුසසුනේ දොර විවෘත කළහ.

යමෙක් කිපෙන ගති ඇත්තේ ද, බැඳගත් වෛර ඇත්තේ ද, පවිටු ගුණමකු වේ ද, වැරැදි දෘෂ්ටි ඇත්තෙක් වේ ද, තමාගේ දොස් වසන මායාවෙන් යුක්ත වේ ද, මෙබඳු පුද්ගලයා වසලයෙකි. මේ අයුරින්ම වසල සූත්‍රයේ ණය ගෙන, ණය හිමියා ඉල්ලූවිට නොදී මඟ හරින්නේ ද, යමෙක් හැකියාව තිබියදී දුර්වල වූ මහලු වූ මවට හෝ පියාට නොසලකා ද ඔහු වසලයකු ලෙස දක්වා ඇත.

පුරාණ කාලයේ ඉතා යහපත් බමුණන් සිටි බවත්, ඔවුන් තුළ උතුම් ගුණධර්ම තිබුණු බවත්, ඒ බමුණු ගුණධර්ම මෙකල බොහෝ බමුණන් තුළ නැති බවත්, දැන් ඒ බමුණු ධර්ම ඇත්තේ සුනඛයන් තුළ බවත්, බුදුරදහු නිර්භයව ප්‍රකාශ කළහ.

අවශ්‍ය තැනට, සුදුසු තැනට නිර්භීතව තම අදහස් ප්‍රකාශ කර කිසිම කෙනකුට නොබියව, සත්‍ය තත්ත්වය පෙන්වා දුන් උතුමා බුදුරජාණන් වහන්සේ ය.

වෛදික යුගයේ මුල් අවධියේ කාන්තාවට හිමිවිය යුතු ස්වාධීනත්වය ලැබී තිබිණි. නිදහස් සමාජ ජීවිතයක් ගත කිරීමේ පූර්ණ අයිතිය ස්ත්‍රිය සතු වුවද පසුකාලීන තොරතුරු දෙස බලන විට කාන්තාවට හිමි විය යුතු සහනශීලී සමාජ රටාව මුළුමනින් ම සිඳ බිඳ දමා ඇය නිවසේ වහලියක බඳු තත්ත්වයට පත්කර ඇත. කාන්තාවට අතීතයේ තිබුණු නිදහස නැති කළේ බමුණන් විසිනි. ස්ත්‍රියගේ නිදහස සිය නිවසේ බිත්ති හතරට පමණක් සීමා කළහ.

කොසොල් රජු බුදුරදුන් හමුවන්නට ගිය අවස්ථාවක රාජ දූතයෝ පැමිණ මල්ලිකා දේවියට දුවක් ලැබුණු බව රජුගේ කනට කොඳුරා කීහ. මෙය අසනවාත් සමඟම රජුගේ මුහුණ නරක් විය. රජුගේ වේදනාත්මක මුහුණ දුටු බුදුරදහු ‘මහරජ ඇතැම් ස්ත්‍රීහු ද ශ්‍රේෂ්ඨ ය. දක්ෂ ය, බුද්ධිමත් ය. ඒ නිසා මල්ලිකා දේවියට ලැබුණු දරුවා හොඳින් හදා වඩා ගන්න. නුවණැති, සිල්වත්, නැදිමයිලන් දෙවියන් ලෙස සලකා කටයුතු කරන, පතිවත රකින ස්ත්‍රිය උතුම් ය. එවැනි තැනැත්තියගේ පුතෙක් රටක් වුවත් පාලනය කරනු ඇතැයි දේශනා කළහ. මේ ප්‍රකාශනයත් සමඟම රජුගේ අසතුට නැති විය.

කාන්තාවන්ට නිදහසක් නොතිබුණු සමයෙක මහා ප්‍රජාපතී ගෝතමියගේ පැවිද්දත් සමඟ ඕනෑම කුලයක කාන්තාවන්ට පැවිද්දට ඉඩ ලබාදී දක්ෂ මෙහෙණින් වහන්සේට විවිධ තනතුරු ප්‍රදානය කරමින් කාන්තාවන්ගේ චින්තනයට, නිදහසට, බුද්ධියට ඉඩකඩ සලසමින් විමුක්තියට මඟ පෙන්වා දුන්හ. විවිධ තාඩන පීඩන මධ්‍යයේ නිදහසක් ලබා නොසිටි කාන්තාවන් විමුක්තියට පිවිසි පසු ලබන ලද සතුට ථේරි ගාථාවෙහි සමහර භික්ෂුණී චරිත තුළින් ඉතා පැහැදිලිව දැක ගත හැකි ය.

වී කෙටීමෙන්, දර පැළීමෙන්, දිය ඇදීමෙන්, කෑම පිසීමෙන්, මෙහෙකාරකම් කිරීමෙන්, ස්වාමියාගෙන්, නැන්දම්මාගෙන්, මාමාගෙන්, එකගෙයි විසූ සැමියාගෙන්, අනෙකුත් භාර්යාවන්ගෙන් ලැබූ දුක් පීඩා වේදනාවලින් මිදී ගැලවී මහණවීමෙන් ලැබූ නිදහස ගැන උදම් ඇනූ පී‍්‍රති වාක්‍ය ථේරීගාථා තුළින් පෙන්නුම් කර ඇත.

රටට, රජුට, පුද්ගලයන්ට, ප්‍රශ්න ගැටලු ආවිට බ්‍රාහ්මණයන්ගේ මතය වූයේ යාග හෝම බිලි පූජා, පැවැත්වීම තුළින් ඒ ප්‍රශ්න විසඳාගත හැකි බවයි. බමුණන් ප්‍රකාශ කළේ යාග කිරීම බොහෝ දෙනාට හිත සුව පිණිස පවතින බවත් පැවිදිවීම තමන්ගේ හිත සුව පිණිස පමණක් පවතින බවත් ය.

සිවුපා සතුන් බිලිදීමේ ප්‍රමාණය අනුව යාගය නම් කර තිබුණි. සිවුපා සතුන් පන්සීයක් බිලිදුන් යාගය ‘පඤ්චසතක’ යාගය නමින් හඳුන්වා ඇත. බුදුදහම හිංසාකාරි ක්‍රියාදාමයක් වූ මේ යාගහෝම ප්‍රතික්ෂේප කරමින් අවිහිංසා සමාජයක් ගොඩනැඟීමට කටයුතු කර ඇත. ඒ තුළින් සිදුවන බරපතළ දුක් විපාක ද පෙන්වා දී ඇත. පඤ්චශීල ප්‍රතිපත්තියෙහි ඇති වැදගත්කම පෙන්වා දෙමින් බුදුදහම තුළින් ඉන්දීය සමාජය තුළ ඇති කළ මේ වෙනස මුළු ලෝකයට ම මහඟු මඟ පෙන්වීමක් විය.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]