[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 රෝග පීඩා දුරුවෙන්නට විශ්වාසයෙන් ගෞරවයෙන් පිරිත් අසන්න

 රෝග පීඩා දුරුවෙන්නට විශ්වාසයෙන් ගෞරවයෙන් පිරිත් අසන්න

“පරිසමන්තතො තායති රක්‍ඛතීති පරිත්තං”

හාත්පසින්ම ආරක්‍ෂා සම්පත්තිය සලසා දෙන දේශනාව “පිරිත” ලෙස සඳහන් වේ. එය සැබැවින්ම සත්‍යක්‍රියාවකි. සත්‍ය වූ බුදු ගුණ සමුදායක් දැඩි අධිෂ්ඨානයකින් මෙනෙහි කිරීම තුළින් කරනු ලබන ආශීර්වාද පූජාව පිරිතයි. එම නිසා පිරිත තුළ අසීමිත බලයක් හා ශක්තියක් ඇතිබව ප්‍රකාශ වේ.

“සබ්බ දුක්‍ඛ විනාසාය, සබ්බ භය විනාසාය, සබබ රෝග විනාසාය ”

ආදී වශයෙන් සඳහන් වන ආකාරයට පිරිත් දේශනාවක් තුළින් විශේෂයෙන් ම අපේක්‍ෂා කරනු ලබන කාර්යය වන්නේ ද සියලුම දුක්, භය හා රෝග නිවාරණයයි. පිරිත් දේශනාවක් අවසානයේ දී එවැනි ප්‍රාර්ථනාවක් සිදුකරනු ලබයි.

“පරිත්තස්සානුභාවෙන දුක්‍ඛා චූප සමෙන්තු තෙ”

“පරිත්තස්සානුභාවෙන භයා චූපසමෙන්තු තෙ”

“පරිත්තස්සානුභාවෙන රෝගා චූපසමෙන්තු තෙ”

පිරිත් දේශනාවක් අවසානයේ දී එලෙස කරනු ලබන ප්‍රාර්ථනාව තුළ ඇත්තේ අසීමිත ආශීර්වාද බලයකි. රෝග සමනය අරමුණු කර ගනිමින් දේශනා කරන ලද සූත්‍ර ගණනාවක් ද දක්නට ලැබේ. රතන සූත්‍රය, බොජ්ඣංග සූත්‍ර, ගිරිමානන්ද සූත්‍රය, අංගුලිමාල සූත්‍රය වැනි සූත්‍ර ඒ අතර ප්‍රධාන වේ.

මෙම සූත්‍ර දේශනාවන් රෝග සමනය කිරීම විෂයයෙහි භාවිත කරනු ලබයි. මෙම සූත්‍ර දේශනාවන් බුදුරජාණන් වහන්සේ විසින් රෝග නිවාරණය කිරීම සඳහා දේශනා කිරීමට නිර්දේශ කිරීමත්, ඒවායෙන් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ප්‍රතිලාභ සිදුවීම තුළත් මෙහි සත්‍යතාවන් පිළිගැනීමට සිදුවේ.

කෙසේ වෙතත් රෝහලකින් ප්‍රතිකාර ලබා දීම මඟින් රෝගීන් සුවපත් කරන ආකාරයට මෙය කළ හැකි නොවේ. පිරිත් දේශනාවකින් නිසි පරිදි ගුණ ලබා ගෙන රෝග නිවාරණය සඳහා කළ යුතු මූලික ක්‍රියාදාම රැසක් පවතී.

නිසි පරිදි සූත්‍ර දේශනාවන් උච්ඡාරණය කිරීම, පිරිත් මණ්ඩප ඉදිකිරීම, මල් පහන් දැල්වීම, දේවතාරාධනාවන් සිදු කිරීම වැනි පූර්ව කටයුතු නිසි පරිදි සිදුවිය යුතු ය.

සර්‍වඥයන් වහන්සේ විසින් අනඳ මා හිමියන් අමතා වදාළ, “ගිරිමානන්ද තෙරුන් වහන්සේගේ රෝග” සමනය පිණිස උපනිශ්‍රය සඳහා දේශනා කරන ලද භාවනා කර්මස්ථාන දහයක් (10) ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය මෙහි දී ඉතා වැදගත් වේ.

ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ දැක්වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ විසින් අනඳ තෙරුන් අමතා,

“ආනන්දය, ඉඳීන් ඔබ ගිරිමානන්ද භික්‍ෂුව කරා පැමිණ, දස සංඥාව කියන්නෙහි ය. යම් හෙයකින් ගිරිමානන්ද භික්‍ෂුව දස සංඥාව අසා ඒ ලෙඩය ක්‍රමයෙන් සංසිඳෙන්නේ ය”

යන මේ කාරණය විද්‍යමාන වේ.

අනතුරුව ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ දස සංඥාවන් උගෙන ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක් හි ද, එහි පැමිණ මේ දස සංඥාවන් දේශනා කළ අතර, එම දස සංඥාවන් අසා ඒ ආබාධය ක්‍රමයෙන් සංසිඳුන බවත්, ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ ඒ ආබාධයෙන් නැඟී සිටි අතර, උන් වහන්සේගේ ඒ රෝගය එසේම ප්‍රහීන වූ බවත් ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ සඳහන් වේ.

වංචනිකයන්ගේ අදහස් නිසා නොමඟ ගිය ගුරුවරයාගේ ඉල්ලීමකට අනුව දහසකට වඩා මිනිසුන් මරමින් ඇඟිලි කපමින් මාලයක් සාදා තම ගුරුවරයාට පිදීමට සැරසුණු අහිංසක නම් කුමාරයකු අප ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ මඟ පෙන්වීම හේතුවෙන් එම දාමරික ක්‍රියාවන් අතහැර ආර්ය ජාතියෙහි නැවතත් ඉපදීමට යොමු කළ අතර, විළි රුදාවෙන් දුකට පත් වූ මවක අරභයා කරන ලද සත්‍යක්‍රියාව අංගුලිමාල පිරිත ලෙසින් ව්‍යවහාරයේ පවතී.

එම පිරිතේ අදහස වන්නේ ආර්ය ජාතියේ උපන් දා පටන් (රහත් වූ දා සිට) කිසිදු සතකුගේ දිවි තොර නොකළ බව සත්‍ය බවත්, එම සත්‍යයේ බලයෙන් මේ ගර්භයට ආශිර්වාද වේවා! යන්නයි. දහසකට අධික මිනිසුන් නැසූ අඟුල්මල් පැවිදිව රහත් වීමෙන් පසුව ඔහු කෙරෙහි සමාජය තුළ පැවති භීතිය දුරු කරන්නට බුදු රජාණන් වහන්සේ විසින් සිදුකළ උපක්‍රමයක් ලෙස ද මෙය දැකිය හැකි ය.

වර්තමාන සමාජය තුළ ද දරුවන් මෙලොවට බිහි කරන්නට සිටින දසදහස් සංඛ්‍යාත මවුවරුන් තම දරුවා ප්‍රසූත කරන්නට පෙර අංගුලිමාල පිරිත් දේශනාව දේශනා කරවා ගෙන තමන්ටත්, තම කුසටත්, කුසතුළ සිටින සිඟිති දරුවාටත් ආශිර්වාදය සලස්වා ගන්නා ආකාරය බොහෝ සෙයින් දැක ගත හැකි වන්නේ ය.

විශාලා මහනුවර ඇති වූ තුන්භිය දුරු කිරීම සඳහා දේශිත සූත්‍රය රුවන් සූත්‍රය හෙවත් රතන සූත්‍රයයි. එම තුන්බිය අතරට රෝග බිය ද ඇතුළත් වේ. රතන සූත්‍ර දේශනාවෙන් පසුව එම විශාලා මහනුවර පැවති තුන්බිය සමනය වූ බව ද සඳහන් වේ.

ජය පිරිත් දේශනාව ද එබඳුම ආශීර්වාදාත්මක සූත්‍ර දේශනාවකි. මෙම සූත්‍ර දේශනාව තරම් අපේ සිංහල බෞද්ධ ජන හදවත්වලට මුල්බැස ගත් වෙනත් පිරිතක් නැති තරම් ය.

තෙරුවන්ගේ අසීමිත ගුණස්ඛන්ධය, බුදු රජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණ, අසූවක් අනුව්‍යංජන ලක්‍ෂණ, ෂඩ් වර්ණ, දස පාරමිතා, උප පාරමිතා, දස පරමත්ත පාරමිතා, සීල, සමාධි, පඤ්ඤා පිළිබඳ මෙහි සඳහන් වේ.

මෙම පිරිත් දේශනාවේ ආනුභාවයෙන් ද, සත්‍යක්‍රියාවක් හැටියට සිදු කරනු ලබන්නේ ඇති වී තිබෙන සියලුම රෝග, අන්තරා, උපද්‍රව යනාදී සියල්ලක්ම දුරුවේවා කියා ප්‍රාර්ථනා කිරීමයි.

ඒ වගේම මෙම පිරිත් දේශනාවන් මඟින් මේ ආකාරයට මහානුභාව ආශීර්වාදයක් ලබා ගැනීමට නම් පිරිත් දේශනාව සිදුකරන අයත් ඉතාමත්ම මානව දයාවෙන් හා මෛත්‍රී සහගත සිතින් පිරිපුන් උත්තමයන් විය යුතු ය.

පිරිත් ශ්‍රවණය කරන උදවියත් තුනුරුවන් කෙරෙහි ඉමහත් වූ ගෞරවයෙන් හා විශ්වාසයෙන් යුතු ව ශ්‍රවණය කරන්නේ නම් මහත් ආනිශංසයක් ලැබේ.

බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේ විසින්ම අවබෝධ කර ගත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව සිදු කොට වදාළ ප්‍රථම අවස්ථාවේ දී දස දහසක් සක්වල මහත් ලෙස කම්පනයට පත්විය. එයට හේතුව එම සූත්‍ර දේශනාවේ ආනුභාවය දස දහසක් සක්වලට බල පැවැත්වීමයි.

එමෙන්ම විශේෂයෙන් ම රතන සූත්‍රය, ධජග්ග සූත්‍රය, චන්ද පිරිත, මෝර පිරිත, ආටානාටිය පිරිත යනාදී සූත්‍ර ධර්මයන් පහ කෝටි ලක්‍ෂයක් සක්වලට ආනුභාවය පතුරුවාලන බව අප භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින්ම දේශනා කර ඇත. එම නිසා මෙම පිරිත් සූත්‍රවලින් මෙන්ම සෙසු සූත්‍ර ධර්මයන්ගෙන් ද කරනු ලබන ආශීර්වාදයෙන් අපට නිරතුරුව ම ආරක්‍ෂාව ලබා ගත හැකි බව ප්‍රකට ප්‍රත්‍යක්‍ෂ කරුණකි.

සියලු දුක්, භය, රෝග නිවාරණයට හේතු වන උතුම් පිරිත් දේශනාවන් විශ්වාසය හා ගෞරවය පෙරදැරි කරගෙන ම දේශනා කිරීමත්, ශ්‍රවණය කිරීමත් කායික හා මානසික සුව සහනය උදෙසා ම හේතු වනු ඇත.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]