[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

උදාර සංකල්පයන්ට දොර විවිර වූ වගයි

උදාර සංකල්පයන්ට දොර විවිර වූ වගයි

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ ක්‍රිස්තුපූර්ව හයවැනි සියවස වන විට භාරතීයයන් අතර වඩාත් ප්‍රචළිතව පැවතුණේ බ්‍රාහ්මණ ධර්මයයි.

නිර්මාණවාදී ඉගැන්වීම් වූ එම දහම ප්‍රචළිත කළ බ්‍රාහ්මණ පූජකවරු ලෝකය හා සත්වයා වෙත මවන ලද සර්වබලධාරී එකම දෙවිකෙනකු පිළිබඳ ඉගැන්වීම් කළහ. මෙම ඊශ්වර නිර්මාණවාදී ඉගැන්වීම් සඳහා තරයේම එරෙහිව විවේචනය කර, එම ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ පිරිසක් ද ක්‍රියාත්මක වූ අතර, ඔවුන් අයත් වූයේ ශ්‍රමණ සම්ප්‍රදායටයි.

තථාගත බුදුරජාණන් වහන්සේ ද එම ශ්‍රමණ සම්ප්‍රදායට අයත් ශාස්තෘන් වහන්සේ නමක් වූයේ මතු නොව මුළුමනින් ම බ්‍රාහ්මණ ඉගැන්වීම් විවේචනය කොට ප්‍රතික්ෂේප කරන ලදී. එපමණක් නොව ශ්‍රමණ සම්ප්‍රදායට අයත් ෂට් ශාස්තෘවරුන්ගේ මතවාදයන් ද දැඩි ලෙස විවේචනයට ලක් කෙරුණි. තත්කාලීනව ආගමික මතවාද කරපින්නා ගනිමින් මහත් පීඩාවකට ලක්ව තිබූ භාරතීය සමාජයට බුදු දහමේ උදාව මහත් අස්වැසිල්ලක් වූ අතර එය ආකස්මිකව සිදු වූවක් නොවේ.

මෙවන් සාමයික හා සාමාජික පසුබිමක් තිබූ භාරතීය සමාජයේ මූලික ඉගැන්වීම වූයේ කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගයයි. රාජ කුමාරයකු ලෙස උපත ලබා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ අප්‍රමාණ ආකාරයෙන් කාමසුඛල්ලිකානුයෝගය අත්විඳීන ලදහ. එහෙත් එහි ඇති නිස්සාරත්වය තුරුණු වියේ දී ම අවබෝධ කර ගැනීම නිසා අභිනිෂ්ක්‍රමණය සිදු කළ අයුරු ප්‍රකට කරුණකි. සියලු සම්පත් හැරලූ බෝසතුන් වහන්සේ අනතුරුව උන්වහන්සේ තවුස් පැවිද්දෙන් පැවිදිව සත්‍ය ගවේෂණයට එක් වූහ . එම සම්ප්‍රදායට අයත් තත්කාලීන නියමයන්ට අනුව කටයුතු කළ සිදුහත් තවුසාණන් තමන් වහන්සේගේ අපේක්ෂාව සපුරා ගැනීම සඳහා එවකට සුප්‍රසිද්ධව සිටි ආලාරකාලාමාදී විවිධ ආචාර්යවරුන් සමීපයෙහි රැඳෙමින් ක්‍රියා කළහ. විමුක්ති සාධනය සඳහා ශරීරයට දැඩි දුක් දිය යුතු ය යන ඉගැන්වීම ද අනුගමනය කරමින් අත්තකිලමථානුයෝගයෙහි යෙදුණු වසර කීපය මනුෂ්‍යයකුට කෙතරම් වේදනාකාරී තපස්කම්වල යෙදිය හැකි දැයි සිතෙන තරමට අනුගමනය කර තිබීම උට්ඨාන වීර්යය පිළිබඳ පරමාදර්ශී අවස්ථාවකි.

එහෙත් ඉන් ලබන ලද කිසිදු ප්‍රයෝජනයක් නොවූයෙන් එබඳු උග්‍ර තපස් ක්‍රම අත් හැර දැමීමෙන් පෙනී යන්නේ සංසාර විමුක්තිය සඳහා එම ක්‍රමය අනුචිත ක්‍රමයක් බව වටහා ගැනීම පමණක් නොව අත්තකිලමථානුයෝගය අන්තගාමී ක්‍රියා පිළිවෙතක් ලෙස ප්‍රතික්ෂේප කිරීමයි.

කිං සච්ච ගවේසීව මෙන්ම කිං කුසල ගවේසීව තමන් වහන්සේ අපේක්ෂා කරන ලොව්තුරා බුද්ධත්වය සඳහා මෙසේ අප්‍රමාණ වෙර දරන ලද බෝසතුන් වහන්සේ එසේ ඉවතලු ක්‍රමවලට විකල්පයක් වශයෙන් නව ක්‍රමෝපායයන් පිළිබඳ සිත් යොමු කරන ලද අතර, තම අධිෂ්ඨානශීලී අරමුණ කිසිදු අයුරකින් ශික්ෂණය කරන ලද බවක් දක්නට නොලැබේ. මෙසේ මැනවින් අත්දැකීම් ලබන ලද සාම්ප්‍රදායික පිළිගැනීම්වල පැවති අසාර්ථකත්වයට හා ආකාරතිකත්වයට පිළිතුරක් වශයෙන් උන්වහන්සේ ඉන් අනතුරුව එළඹියේ මධ්‍යම ප්‍රතිපදාව නම් වූ නවතම සංකල්පයකට බව බොහෝ දෙනා දන්නා කරුණකි.

මහාවග්ගපාලියට අයත් ධම්මචක්කප්පවත්තන සූත්‍රයට ඇතුළත් කරුණු විමසා බැලීමේ දී තථාගතයන් වහන්සේ විසින් ගතානුගතිකත්වයෙන් ඔබ්බට ගිය නව හඳුන්වාදීම් රාශියක් පිළිබඳ දේශනා කොට ඇති බව දැක ගත හැකිව ඇත.

තමන් වහන්සේ මැදුම් පිළිවෙත හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කොට කෙලෙස් නසා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් නිර්වාණාවබෝධය කළ හැකි බව දේශනා කොට ඇත්තේ මතු නොව මධ්‍යම ප්‍රතිපදාව අනුව වෙසක් පුන් පොහෝ දිනයෙහි උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්ව උදාන වාක්‍ය ප්‍රකාශ කරමින් සබ්බාභිභූ සබ්බවිදූ හමස්මි යනාදී වශයෙන් සියල්ල මැඩලු අයුරුත් සියල්ල දන්නා අයුරුත්, ප්‍රකාශ කරන ලදහ.

අනතුරුව ඇසළ පුන් පොහෝ දිනයෙහි ඉසිපතන මිගදායේ දී පස්වග තවුසන් සඳහා දම්සක්පැවතුම් සූත්‍රය දේශනා කිරිමේ දී තමන් වහන්සේගේ නව සංකල්පයන් ඉදිරිපත් කොට ඇති අයුරු දක්නට ලැබේ.

මෙම ඉගැන්වීම් භාග්‍යවතුන් වහන්සේ එබඳු සමාජයට ඉදිරිපත් කරන ලද නව මතයක් වන්නේ මතු නොව තත්කාලීන සමාජ පීඩා සඳහා යහපත් විසඳුමක් වූ බව නොරහසකි. එමෙන්ම තමන් වහන්සේ විවිධ ආචාර්යවරුන් වෙතින් ලබන ලද අවබෝධයන්ගෙන් නොසෑහීමට පත්වීම පමණක් නොව ගවේෂණ ක්‍රියාවලියේ දී ස්වාධීන තීරණයන්ට එළඹීම පිළිබඳ අදහසක් ද ප්‍රකාශ වන්නේ තමන් වහන්සේ ලබන ලද සත්‍යාවබෝධය තමන් වහන්සේ විසින් ම ප්‍රගුණ කරන ලද්දේ මිස කිසියම් ආචාර්යවරයකුගේ ඉගැන්වීම් නොවන බවයි.

මෙසේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කර ගත යුතු බව දේශනා කළහ. තථාගත ධර්මය සාම්ප්‍රදායික ඉගැන්වීමක් නොව නව අදහස් හා නව ආකල්පයන්ගෙන් යුත් කිසිවකුටත් එය එසේ නොවේ යැයි කිව හැකි සාන්දෘෂ්ඨික වූ, පැමිණ විමසා බැලිය හැකි දහමක් බව මැනවින් ප්‍රකාශිත ය.

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඉතා තරුණ වියේ පසු වූ ශාස්තෘන් වහන්සේ නමකි. මෙම නව දහම පිළිබඳ මුල් අවස්ථාවේ සිට ම අවධානය යොමු කරන ලද්දේ ද තරුණ පිරිස්ය. කවදත් තරුණ ආකල්පයන්ට අවස්ථාව ලබා දී ඇති තථාගත ධර්මය ශාසනයෙහි විවිධ වගකීම් පවරා අගතනතුරු පිරිනමමින් එම ශ්‍රාවක පිරිසගේ කැපවීම් අගය කිරීම ද භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාළහ. එය ආකල්පමය වෙනසක් බව සඳහන් කළ හැකිව තිබේ.

තථාගතයන් වහන්සේ විසින් තම අත්දැකීම් සමුදාය මතින් අත්දකින ලද කුල පීඩනයට එරෙහිව තත්කාලීනව සිව් කුලයට ම අයත් වූවන් සඳහා ශාසනයට ඇතුළත්වීමට අවස්ථාව ලබාදී පීඩිත කුලවලින් පැවිදිවූවන් රාජ රාජ මහාමාත්‍යවරුන් පමණක් නොව දෙව් බඹුන්ගේ ද වන්දනා ලබන්නන් බවට පත් කළ සේක. එහිදී උන්වහන්සේගේ දේශනය වූයේ සිව් මහා ගංගාවන් මුහුදට එක් වූ විට එකම ලවණ රසයකින් යුක්ත වන්නා සේ සසුන තුළ කිසිදු බෙදීමක් නොපවතින බවයි.

කුලපීඩනය මෙන්ම කාන්තා හිංසනය හා පීඩනය ද තත්කාලීන සමාජයේ දක්නට ලැබුණ දුක්බර තත්වයක් වන අතර, භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහා ද මෙහෙණි සස්න ඇති කිරීමෙන් බුද්ධො විය මාතා, මව තමන් වහන්සේට සමාන කිරීමෙන් සිදු කරන ලද ක්‍රියා පිළිවෙත නිසා පීඩිත වනිතා සමාජය ද වැඳුම් පිදුම් ලබන සමාජ කොට්ඨාසයක් බවට පත් කිරීමට භාග්‍යවතුන් වහන්සේ සිදු කරන ලද තවත් සුවිශේෂී සංකප්ලමය වෙනසකි. එමෙන්ම තමන් වහන්සේට විවිධාකාරයෙන් සතුරුකම් කරන ලද දේවදත්තාදී සතුරු ආකල්ප ඇත්තන් සඳහා දක්වා ඇති කාරුණික ආකල්ප වන්නේ තම ලේ ඤාතීත්වයක් ඇති රාහුල තෙරුන් විෂයයෙහි දක්වන ලද කරුණාව ම ය.

තම ශ්‍රාවක පිරිස සංසාර විමුක්තිය සඳහා යොමු කිරීමේ දී ඒ සඳහා වූ වගකීම ඔවුන්ට ම පවරමින් ඔවුන් වඩාත් සක්‍රීය කරන ලද්දේ තුම්හේහි කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා දී වශයෙන් තමන්ගේ කාර්ය තමන් කළ යුතු අතර, තථාගතයන් වහන්සේ මඟ පෙන්වන්නකු පමණක් බව දක්වමිනි.

පොදුජන මතයට සවන්දීම භාග්‍යවතුන් වහන්සේගේ තවත් ලක්ෂණයකි. ආගමික සහනශීලී පිළිවෙතක පිහිටා පරමාදර්ශීව ක්‍රියා කිරීම තවත් නිදර්ශනයකි. තත්කාලීන පාලකයන් සඳහා ද දැහැමි උපදෙස් ලබා දෙමින් රාජ්‍ය අතර ගැටුම් නිරාකරණය කිරීමේ ක්‍රියාවලියක්

ක්‍රියාත්මක කළ අයුරු දක්නට ලැබේ. අන්ධානුකරණයෙන් ආගමික සංකල්ප පිළිගැනීම නොව චින්තන නිදහස දිරි ගන්වා බුද්ධිමත් විචාරශීලී ශ්‍රාවක පිරිසක් බිහි කිරීම ද විශේෂ ලක්ෂණයකි.

මෙසේ සලකා බැලීමේ දී සමස්ත බෞද්ධ ඉගැන්වීම් පද්ධතිය තුළ දක්නට ලැබෙන භාග්‍යවතුන් වහන්සේගේ නව ආකල්පමය දේශනා සමූහය තුළින් පුද්ගලයා නවමු මඟකට රැගෙන ගිය බව පැහැදිලි ය.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]