[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

වලේබොඩ ගුණසිරි නාහිමිපාණන් වහන්සේ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලබති

වලේබොඩ ගුණසිරි නාහිමිපාණන් වහන්සේ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලබති

1954 වර්ෂයේ පෙබරවාරි මස 28 වැනි දින උපන් පින්බර පුතණුවන් අපේ හාමුදුරුවන් ය.

1964 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සියවෙනි සංවත්සරය නිමිත්තෙන් පන්සියයක් කුල දරුවන් පැවිදි කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ඇති වූයේ මේ දරුවාගේ පිනට මෙනි. බළන්ගොඩ නළුවෙල ශ්‍රී පි‍්‍රයදර්ශනාරාම විහාරාධිපති ව වැඩ විසූ බළන්ගොඩ ධම්මරුචි නා හිමියන්ගේ සම්බන්ධතාව හා අනුශාසනාව පරිදි තම සුළු පියාණන් වූ බී.ජී. සුමිත්‍ර බානගල මහතාගේ මඟ පෙන්වීම පරිදි මේ දරුවා කොළඹ මරදාන ශ්‍රී ලංකා මහ පිරිවෙනට පැමිණියේ ය.

එහි විහාරාධිපති ව වැඩ විසූ අතිපූජ්‍ය බද්දේගම ශ්‍රී විමලවංශාභිධාන, පසුකලෙක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ස්වාමීන් වහන්සේ ව වැඩසිටි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත භාර කරනු ලැබීය.

දකුණු තලංගම පැලවත්තේ මයුරපාද පිරිවෙන මීට දසක පහකට පමණ පෙර දී එදාට ගැළපෙන ආයතනයක් ව පැවැතිණි. එහෙත් එය අදට ගැළපෙන ආයතනයක් ව තිබේ. එසේ නොවී නම් මයුරපාද පිරිවෙන හුදෙකලා වන්නට ඉඩ තිබිණි. එහෙත් අද ද එහි අභිමානය රැකගෙන ඇත්තේ සමාන්තර ප්‍රගතියකට ලක් ව ඇති හෙයිනි.

මයුරපාද පිරිවෙන 1950 වර්ෂයේ රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය බද්දේගම ශ්‍රී විමලවංස මාහිමියන් විසින් ආරම්භ කරන ලද්දකි. පූජ්‍යතර කදුරුගස්දමනේ පුඤ්ඤසාර හිමිපාණන් ඇතුළු කීපනමක් මුලින් ම මෙහි වැඩ සිටියහ. බද්දේගම නාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා දුර බැහැර පළාත්වලින් වැඩම කරන ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට සෙවණ දුන්නේ මෙම විහාරස්ථානයයි.

1980 වර්ෂයේ දී තම ගුරුදේවෝත්තම අතිපූජ්‍ය බද්දේගම විමලවංස මාහිමි තම ශිෂ්‍ය වලේබොඩ ගුණසිරි ස්ථවිරයන් වහන්සේට මයුරපාද පිරිවෙනේ අධිපති ධුරය භාරගෙන කටයුතු කරන ලෙස කීහ. එම නියමයෙන් මෙම ස්ථානයට වැඩම කරන විට, ඇත්තෙන් ම මයුරපාද පිරිවෙන පාළු පිට්ටනියක් මෙන් දිස්වුණි. විහාරස්ථානය භාරව පැමිණි දා සිට ම දිවා රාත්‍රී නොබලා අපමණ වෙහෙස දරමින් ස්ථානය දියුණු කිරීමට කටයුතු කළ නා හිමිපාණන් වහන්සේ ගේ පූර්ණ ආශිර්වාදයෙන් මේ වන විට විහාරස්ථානය සකලාංග සම්පූර්ණ තත්ත්වයට පත්කර තිබේ.

මයුරපාද අධ්‍යාපන කේන්ද්‍රය විශේෂයෙන් බෞද්ධ දරුවන්ට ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලබා දීමට ආරම්භ කරන ලද්දකි. 1988 ආරම්භ කර දැනටත් ක්‍රියාත්මක මෙහි මේ වන විට සිසුන් දහසකට අධික පිරිසක් අධ්‍යාපනය ලබා ඇත.

අප අනුනායක මහා ස්වාමීන් වහන්සේ දේශීය මෙන්ම විදේශීය ධර්මදූත කටයුතුවලට ද නියුක්ත වූහ.

1991 වර්ෂයේ මුලින් ම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිල පුවත්පත වන “සසුන” පත්‍රයේ සංස්කාරක ලෙස පත් වූ අපේ හාමුදුරුවෝ පසුව ආචාර්ය ජයන්ත සුමනසේකර මහතා ද සමඟ එකතු වී අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බළංගොඩ පඤ්ඤාවංස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යටතේ දිගටම මෙහි සංස්කාරක ධුරයේ කටයුතු කළහ. වසර දොළහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභා සංඝ සභාවේ සාමාජිකයකු ලෙස ද විශේෂාධිකාරි මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කර 2006 වර්ෂයේ රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයට පත් ව එමඟින් දිවයින පුරා සමාජ සුබසාධන කටයුතු කිරීමට නායකත්වය දුන්හ. 1997 වර්ෂයේ පන්සියයක් සාමණේරයන් උතුම් වූ උපසම්පදා ශීලයෙහි පිහිට වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහා පුණ්‍ය කර්මය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව ඉදිරිපිට දියවන්නා ඔයේ දී සිදු කිරීමට මූලිකව කටයුතු කළේ ද අප අනුනාහිමියන් ය.

ගුරු දේවෝත්තම බද්දේගම මාහිමිපාණන් වහන්සේ පරමාදර්ශී ගුරුවරයෙකි. උන්වහන්සේ තම ශිෂ්‍යයන් හැමවිට ම සමාජයට හඳුන්වා දුන්හ. වගකීම් පැවරූහ. දක්ෂතා සොයා බලා ඒ ඒ අංශවලට යොමු කළහ. අලස ව සිටීම උන්වහන්සේට රිසි දෙයක් නොවේ. තවද නාහිමිපාණන් වහන්සේ පරිත්‍යාගශීලියෙකි. තැනට ගැළපෙන කථාව ආස්වාදජනක විය. සැබැවින්ම උන්වහන්සේගේ පා සෙවණේ හැදුණු වැඩුණු වලේබොඩ හිමියන්ට මේ අපූරු චරිත ලක්ෂණයන් ආකර්ෂණය විය. උන්වහන්සේ සිය ජීවන ගමන් මඟ එළිපෙහෙළි කළ මහා පහන්ටැඹක් විය.

වලේබොඩ හාමුදුරුවන් වයසින් අවුරුදු 26 සිට මේ වන විට හැට නව වසරකට ආසන්න කාලයක් සිය නායකත්ව ලක්ෂණයන් ප්‍රදර්ශනය කරමින් දේශයට ද ප්‍රදේශයට ද මෙහෙවර කරති. මයුරපාද පිරිවෙන හා තදනුබද්ධ සංවිධාන මඟින් ප්‍රදේශයට ද ධර්ම ප්‍රචාරක කටයුතු මඟින් දේශයට ද මෙහෙවර කරන අතර වාරයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය හරහා එහි අනුනායක ස්වාමීන් වහන්සේ වශයෙන් ශාසනයට ද ප්‍රගතිය එක් කරති.

වලේබොඩ අනුනායක ස්වාමීන් වහන්සේ සතු භාෂා නිපුණතාව හා පරිකල්පන ශක්තිය සැලකිය යුතු ලක්ෂණ වෙති. කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනේ සිය ගණනක් වූ භික්ෂු ප්‍රජාවට මාර්ගෝපදේශකත්වය ලබා දීමටත්, ඊට සපුරා වෙනස් දකුණු තලංගම පැලවත්ත ප්‍රදේශයේ නූතන පදිංචිකරුවනට නායකත්වය දීමටත් උන්වහන්සේට හැකිව ඇත්තේ ඉහත කී පරිකල්පනා ශක්තිය ඇති හෙයිනි.

වලේබොඩ අනුනාහිමියන්ගේ ජීවිතයත් ගලා යන ගඟක් වැනි ය. මේ ආ ගමන සුව පහසුකම් මැදින් ම ආ ගමනක් නොවේ. දුක්,වේදනා, කරදර, බාධක, නින්දා, අපහාස, තර්ජන, ගර්ජන ආදි අටලෝ දහමට මැදි වී ආ ගමනකි. ඒ හැම විට ම එඩිතර ව ඒවාට මුහුණ දෙමින් ජීවිතය ජය ගන්නට ගත් උත්සාහයේ ප්‍රතිඵල අප කාටත් ආදර්ශයක් වී තිබේ.

***********

වලේබොඩ ගුණසිරි අනු නාහිමි නැණ ගුණ වරුණ

සංඝ ශෝභන ගුණයෙන් පිරිපුන් ස්ථවිරපාදයන් වහන්සේ නමකි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ඨානාන්තරය සඳහා අභිනවයෙන් පත්වන්නට යෙදුණූ ආචාර්ය වලේබොඩ ගුණසිරි නායක ස්ථවිරපාදයන් වහන්සේට අප මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශුභාශිංසනය පිරිනමන්නේ ඉමහත් සන්තෝෂයෙනි.

තිස් වසරකට අධික කාලයක් මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය මහා පිරිවනෙහි පරිවේණාචාර්යවරයකු ලෙස මෙන් ම පරිවේණාධිපතීන් වහන්සේ ලෙස හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරමින් ධර්ම ශාස්ත්‍රීය උන්නතිය උදෙසා සුවිසල් සේවයක් සිදු කරමින් ප්‍රතිබල සම්පන්න භික්ෂු පිරිසක් සසුනට දායාද කරන්නට මේ ස්ථවිර පාදයන් වහන්සේ කටයුතු කර ඇත.

ස්වකීය ආචාර්යපාදයන් වහන්සේගේ සුසමාදර්ශී ශාසන ගමන් මාර්ගය අනුගමනය කරමින් රාමඤ්ඤ මහා නිකායේ නොයෙක් ඨානාන්තරයන් උසුලමින් සංඝශෝභන ගුණයන්ගෙන් ස්වකීය ශාසන බ්‍රහ්ම චර්යාව උපශෝභිත කරගත් වලේබොඩ ගුණසිරි ස්ථවිරපාදයන් වහන්සේ සුවිසල් ජාතික, ආගමික හා ශාසනික සේවයක නියුක්තව සිටිති.

ගුණසිරි අභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අභිනව අනුනායක ස්ථවිරපාදයන් වහන්සේට ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉදිරියටත් උදාර ලෝක ශාසනික චර්යාවෙහි නිරත වන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය උදාවේවා’යි ආශිංසනය කරම්හ.

****

සුපේශල ශික්ෂාකාමී ගුණ සුපෝෂිත සංඝ පීතෘවරයෙකි

ශ්‍රී ලංකාවේ සඟ සසුන සෝභාවත් වූයේ ශීල වෘද්ධ, තපෝවෘද්ධ ගුණයන්ගෙන් සමන්විත සුපේශල ශික්ෂාකාමී යතිවරයන් වහන්සේගේ ශාසනික සේවාව නිසා ම බව ප්‍රකට කාරණයකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ද එබඳු යතිවරයන් වහන්සේ බොහෝමයක් වැඩ සිටි බව සිහිපත් කළ යුතු ය. දැනටත් එය එසේ ම ය.

සබරගමු පළාතේ උපත ලබා දස වසරක් ගතවූ පසු පැවිදි දිවියට පත් ආචාර්ය වලේබොඩ ගුªණසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මූලික අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් බව ප්‍රකට කාරණයකි. ශ්‍රී ලංකා විද්‍යාල මහා පිරිවෙනෙහි ආචාර්යවරයකු ලෙස තම ගුරු ජීවිතය ආරම්භ කොට පරිවෙණාධිපති ධුරය ද හෙබවූ උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය සඳහා මහඟු මෙහෙවරක් ඉටුකර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර මයුරපාද පිරිවෙන් මහා විහාරාධිපති වශයෙන් ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මෙතෙක් දැරූ උසස් නිලතල තුළින් ද ලබා ගත් අත්දැකීම් සහ උසස් අධ්‍යාපනික පසුබිම නිසා උන්වහන්සේ මෙතෙක් ඉටුකළ සාසනික සේවාවන් තවදුරටත් ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් නව අනුනායක පදවිය තුළින් උන්වහන්සේට ප්‍රාර්ථනා ලෙස සාසනික සේවාවන් ඉටුකිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා'යි ආශිංසනය කරම්හ.

****

ධර්ම විනයධර ශාසනමාමක ගුණ ප්‍රශංසනීයයි

බත්තරමුල්ල දකුණු තලංගම මයුරපාද පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී සුගතශාසනවංශාලංකාර කවිධජ විමලවංශවංශාවතංස ධර්මකීර්ති ශ්‍රී සද්ධර්මසූරී ආචාර්ය පූජ්‍ය වලේබොඩ ගුණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරයකින් පිදුම් ලැබීම පිළිබඳ අපගේ ශුභාශිර්වාදය පළ කරමි.

සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා උන්වහන්සේ විසින් ඉටුකරනු ලබන සේවය මෙහිදී වෙසෙසින් ම අගය කළ යුතු ය. මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සම්ප්‍රදායයන් මැනවින් සුරක්ෂා කර ගනිමින්, ධර්ම විනයධරත්වයෙන් යුතුව ක්‍රියාකරනු ලබන මුන්වහන්සේගේ ශාසනික සේවය තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ප්‍රශංසාවට භාජනය වී ඇත. රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය බද්දේගම විමලවංශාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක ලෙස ශාසනමාමක ආකල්පයන්ගෙන් යුතුව ගුණගරුක සිසු පරපුරක් තැනීම උදෙසා ද උන්වහන්සේ ඉටු කරනු ලබන සේවය මෙහිදී බෙහෙවින් අගය කළ යුතු ය.

ගිහි පැවිදි සියල්ලන්ගේ අර්ථ සිද්ධිය උදෙසා නායකත්වය සපයමින් සදූපදේශ දානයෙන් ස්වකීය වගකීම මනාව ඉටුකරනු ලබන අභිනව අනුනායක ධුරප්‍රාප්ත පූජ්‍ය වලේබොඩ ගුණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් ලෝ සසුන් වැඩවඩන්නට තුණුරුවනේ අනන්ත ආශීර්වාදය සැලසේවා'යි ප්‍රාර්ථනා කරම්හ.

****

ආගමික සාමාජික වශයෙන් තව තවත් සේවය කිරීමට ශක්තිය ලැබේවා

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ කොට ශතවර්ෂයක් සම්පූර්ණ වීම නිමිති කරගෙන පන්සියයක් කුල දරුවන් පැවිදි කළ 1964 දෙසැම්බර් විසි වෙනි දින නිදහස් මන්දිරයේ දී එම උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වීමේ භාග්‍යය උන්වහන්සේට ලැබුණි.

උන්වහන්සේගේ ආචාර්ය පාදයන් වහන්සේ විශ්ව කීර්තියට පත් අතිපූජ්‍ය බද්දේගම විමලවංස අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. තලංගම මයුරපාද කනිෂ්ඨ පිරිවෙනෙන් හා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා , පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලය යන ආයතනවලින් ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති, ආචාර්ය උපාධි හිමිකර ගැනීමට වාසනාව ද ලබා ගත් උන්වහන්සේ පිරිවෙන් ක්ෂේත්‍රයට කරන ලද සේවය සදා අනුස්මරණීයව පවතිනු ඇත.

1978 ජූලි 07 දින උපසම්පදා භූමියට පත් වූ ගුණසිරි අනුනායක ස්ථවිරයන් වහන්සේ ස්වකීය නිකාය වෙනුවෙන් ද වැදගත් සේවයක් සිදු කර ඇත.

මෙසේ අධ්‍යාපන, ආගමික, සාමාජික වශයෙන් විවිධ සේවාවන් රැසක නියුතු අපේ ගුණසිරි අනුනායක මහා ස්ථවිරයන් වහන්සේට තවදුරටත් එම සේවාවන් මැනවින් ඉටු කිරීමට තෙරුවන් සරණින් නිදුක් නීරෝගි චිර ජීවනය සැලසේවා’යි ආශිර්වාද කරම්හ.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]