[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මානසික ආතතිය දුරු කර ගන්නට බුදුගුණ භාවනාව වඩමු

මානසික ආතතිය දුරු කර ගන්නට බුදුගුණ භාවනාව වඩමු

අප ජීවත්වන සමාජයේ දී විවිධ තරාතිරම්වල පුද්ගලයන් මුණ ගැසෙනවා.

රැකියා ස්ථානයේ දී, අසල්වාසීන්, ඥාති, හිතමිත්‍රාදීන් ඇසුරේ දී තමන්ට යහපතක් ම සිදු වන්නේ නෑ. ඇතැම් විට විවිධ හේතු නිසා උසාවියට, පොලීසියට පවා යන්නට සිදුවෙනවා. මේ සෑම තැනකදී ම අපට සාධාරණයක් ඉෂ්ට වෙයි කියා සිතන්නට පුළුවන්කමක් නැහැ. එවැනි අවස්ථාවන් හි සිදු වන්නේ සිතින් දුක් විඳිමින් මානසික ආතතියකින් ජීවත්වීමටයි.

සමහර මව්පියන් මා සමඟම පවසා තිබෙනවා. ස්වාමීන් වහන්ස, අපේ පොඩි දරුවට පාසලේ ගුරුතුමියගෙන් හරියට අසාධාරණකම් සිදුවෙනවා. අපේ දරුවා ඉගෙනීමට දක්ෂයි. ඒත් දරුවට වෙනස්කම් සිදු වෙනවා. හේතුව සොයා බැලීමේ දී ඒ ගුරුතුමිය මෙහෙයවන පෞද්ගලික පන්තියට දරුවා යවන්නේ නැති නිසා කියා තේරුණා. මේ වගේ කරුණුවල දී මවුපියන් හරියට අසරණ වෙනවා, දැඩි මානසික ආතතියකට ලක් වෙනවා.

සාමාන්‍යයෙන් පොදුවේ ගත් විට නීතිය ඉදිරියේ යුක්තිය ඉටු කර ගන්න යන්න බලන්න. සාමාන්‍ය ජන සමාජයේ තියෙන මතය, බොහෝ අවස්ථාවක සාධාරණ තීන්දුවක් යමකුට ලැබෙයි කියා කිසිම විශ්වාසයක් නැහැ. බොහෝ විට සත්‍යයත් එයයි.

මේ ප්‍රශ්න හමුවේ සැනසීම තිබෙන්නේ කොතැනද? නිවැරැදි ම තැන ධර්මයයි. ධර්මයෙන් ලබන සැනසීම සදාකාලිකයි. සමාජය තුළින් ම, සමාජයේ ජීවත්වන පුද්ගලයන්ගෙන් ම ඇයි අපට මෙ පමණ මානසික පීඩාවට, හිංසනයට පත්වෙන කරුණු යෙදෙන්නේ. අපි ජීවත්වන සමාජයේ මිනිසුන් කෙලෙස් සහිතයි. රාග, ද්වේෂ, මෝහයන්ගෙන් යුක්තයි. විවිධ තනතුරුවල, විවිධ තරාතිරම්වල පුද්ගලයන් කෙලෙස් සහිත නිසා, ඒ ඒ පුද්ගලයන් සමාජයේ දී කටයුතු කරන්නේ, ඒ ඒ කෙලෙස්වලට අනුරූප වන ආකාරයටයි.

සමාජයේ ජීවත්වන අපත්, රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙසුන්ගෙන් හෙබි මනුෂ්‍යයෝ. යම් විටෙක අසාධාරණයක්, අයුක්තියක් දුටුවොත් ඒවාට ප්‍රතිචාර දක්වන්න යනවා. ඒ ගැන කතා කරන්න යනවා, විරුද්ධව ප්‍රතික්‍රියා කරනවා. හරි ද වැරැදි ද කියා සොයා බලන්නේ නැහැ, ඇතැම්විට ධර්මයට අනුකූල නොවන ක්‍රියාවන් නිසා සිදුවන්නේ තිබෙන ආතතියෙන්, තවත් ආතතියට, පීඩාවට පත්වීම පමණයි.

අඩුම වශයෙන් අසවල් පුද්ගලයා අපට වරදක් කළා, ඒ වරද හමුවේ අපි එයාට වරදක් කළේ නැහැ, අපි ඉවසීමෙන් සිටියා, වෛර කළේ නැහැ, තරහ ගත්තේ නැහැ, කියන කරුණෙන්වත් අපට හිත හදාගන්න ලැබෙන්නේ නැහැ. මේ නිසයි, ඔබට ධර්මානුකූල මඟක් පෙන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ.

මේ ලෝකයේ අපි, හැම කෙනෙක් ම “බුද්ධං සරණං ගච්ඡාමි” කියා සරණ ගිය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ලෝකයේ පළමුවැනි නිකලෙස් උත්තමයා බවට පත්වුණේ උන්වහන්සේ බුද්ධගයා බෝධි මණ්ඩලයේ දී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ හෙයිනි. රාග, ද්වේෂ, මෝහාදී කෙලෙසුන්ගෙන් නිදහස්භාවයට පත් භාග්‍යවතුන් වහන්සේගෙන් කිසිම දිනක ලෝකයාට, සමාජයට අකටයුත්තක්, අසාධාරණයක්, හිංසාවක් සිදුවූයේ නැත. උන්වහන්සේ ජන සමාජයට වැරැදි උපදේශයක් දුන්නේ ද නැත.

අප භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ, මොහොතේ සිට උපවර්තන සල් උයනේ පිරිනිවන් මංචකය දක්වා ලෝක සත්වයාට හිතානුකම්පීව මහා කරුණාවෙන් අනුශාසනා කළ සේක. බුදුරජාණන් වහන්සේ ම ලෝක සත්වයාට තමන් වහන්සේ උත්තම වූ ගුණ නමයකින් සමන්නාගත බව පෙන්වා දුන් සේක.

ඒ ගුණ අතර පළමුවැන්න “අරහං” නම් ගුණයයි. තථාගතයන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් දුරු කර නිකෙලෙස් භාවයට පත්ව දෙව් මිනිස් ලෝකයාගේ ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ නිසා, සසර ගමන නවතාලූ නිසා, බුදුරජාණන් වහන්සේ “අරහං” නම් වූ ගුණයෙන් යුතු ය.

තවද බුදුරජාණන් වහන්සේ දුක, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ගුරු උපදේශයක් නොමැතිව අවබෝධ කරගත් හෙයින් “සම්මා සම්බුද්ධ” වන සේක.

තුන්වැනි බුදු ගුණය වශයෙන් අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්නාගත බැවින් “විජ්ජාචරණ සම්පන්න” වන සේක.

තවද බුදුරජාණන් වහන්සේ ඉතා සුන්දර වූ ගති පැවතුම්වලින් සමන්නාගත හෙයින්, සුන්දර වූ නිවන් මඟ වැඩම කර අමා නිවන සාක්ෂාත් කරගත් හෙයින් “සුගත” වන සේක.

කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක පිළිබඳව ද, ඇස, කන, නාසය, දිව, කය, මනස යන සලායතනයන්ගෙන් සමන්විත ලෝකය පිළිබඳව ද, ගුරු උපදේශයක් නොමැතිව අවබෝධ කළ හෙයින් “ලෝකවිදූ” වන සේක.

හයවැනි බුදු ගුණය ලෙස “අනුත්තරෝ පුරිස ධම්ම සාරථී” ගුණය පෙන්වා දුන්නේ, දමනය කළ නොහැකි දෙවියන්, මනුෂ්‍යයන්, යක්ෂයන් ආදී ඕනෑ ම කෙනකු දමනය කිරීමේ සුවිශේෂී හැකියාව උන්වහන්සේ තුළ පිහිටා තිබූ බැවිනි.

උන්වහන්සේ “සත්ථා දේවමනුස්සානං” යන නාමයෙන් හැඳින්වූයේ සියලු දෙවියන්ටත්, මනුෂ්‍යයන්ටත් එකම ශාස්තෘන් වහන්සේ වන බැවිනි.

තවද “බුද්ධ” යන නාමයෙන් උන්වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ තමන් වහන්සේ විසින් අවබෝධ කළ චතුරාර්ය සත්‍ය ධර්මය අන් ලෝකයාට ද අවබෝධ කළ හෙයිනි.

ඉහත කී සියලු බුදු ගුණ දරා වැඩ සිටින්නට උන්වහන්සේ ම භාග්‍යවන්ත වන හෙයින් "භගවා" නම් වන සේක.

මෙසේ නිකෙලෙස් භාවයට පත් වූ අපගේ ශාස්තෘන් වහන්සේගේ මේ උතුම් බුදු ගුණ නවය පිළිබඳ අවබෝධයකින් යුතුව භාවනාවක් ලෙසින් වැඩිය හැකි ය.

මෙසේ අවබෝධයෙන් යුක්තව, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ මෙනෙහි කිරීමෙන් අපගේ මානසික ආතතිය දුරුවී යනු ඇත.

ඔබ බොහෝ විටක උදෑසන හෝ හවස නිවසේ දී තෙරුවන් සරණ ගොස් පන්සිල් සමාදන් වීමෙන් පසු නව අරහාදී බුදු ගුණය සිහි කරමින්, බුදු ගුණ සිහි කළ යුතු ය. ඒ නිකෙලෙස් ශාස්තෘන් වහන්සේගේ ගුණ සිහි කරන විට අපේ සිතේ පවතින මානසික ආතතිය, පීඩනය ක්‍රමානුකූලව පහව යනු ඇත.

මෙසේ බුදුගුණ භාවනාව ආරම්භයේ දී ම සිතිවිල්ලකින් පමණක් බුදු ගුණ නොකියා එය වචනයෙන් ම පුරුදු පුහුණු කළ යුතු ය. (වචසා පරිචිතා) බුදු ගුණ නවයම හෝ තමන් කැමැති එක් බුදු ගුණයක් වෙන් වෙන් වශයෙන් ද ගෙන භාවනාව වැඩිය හැකි ය. නැතිනම් නව අරහාදී බුදුගුණය ම සජ්ඣායනා කළ හැකියි. (ඉතිපිසෝ ගාථාවම ඉතාම ශ්‍රද්ධාවෙන් සජ්ඣායනය කළ හැකියි.)

මෙසේ බුදුගුණ භාවනාවේ නිවැරැදිම ක්‍රමය වන්නේ බුදුගුණය වඩන විට එහි අර්ථය සිතට ඇතුළුවන ආකාරයෙන් වචනයෙන් (ආරම්භය) පුරුදු පුහුණු කිරීමයි.

මෙම භාවනාවේ දී වැදගත් වන්නේ බුදුගුණය වචනයෙන් කියැවෙන විට එය හුදු වචනයක් පමණක් නොවී එහි අර්ථය ද සිතට තදින් වැටහිය යුතු වීමයි. උදාහරණයක් ලෙස “සම්මා සම්බුද්ධෝ” බුදු ගුණ කියන විට එහි අර්ථය ද සිතට තදින් කා වැදිය යුතු යි.

මෙම බුදුගුණ භාවනාව දවසේ ඕනෑම මොහොතක තවත් කෙනෙකුට කරදරයක් නොවෙන සේ පුහුණු කළ හැකියි. නව අරහාදී බුදුගුණය සජ්ඣායනය කිරීමේ දී (ඉතිපිසෝ ගාථාව) නවගුණ වැලක් භාවිත කළ හැකියි. දවසේ කුමන වේලාවක හෝ හැකි සෑම විටක ම බොහෝම ශ්‍රද්ධාවෙන් නවගුණ වැල ගෙන එකසිය අට දක්වා බුදුගුණ සජ්ඣායනා කළ හැකි ය.

මෙම අභ්‍යාසය පුහුණු කිරීමේ දී ඔබේ මානසික ආතතිය ක්‍රමානුකූලව ඉවත් වී බලවත් මානසික සහනයක් ඇති වන ආකාරය ඔබට ම ප්‍රත්‍යක්ෂ වනු ඇත.

එපමණක් නොව මෙසේ බුදුගුණ මෙනෙහි කිරීම නිසා ඔබගේ ජීවිතයට බලවත් පුණ්‍ය ශක්තියක් එකතු වේ. නව අරහාදී බුදුගුණ වැඩීම හේතුවෙන් සිතට පුදුමාකාර සහනයක් ඇති වේ. ඒ වගේ ම බොහෝ ම නිහඬ, පුද්ගලයෙක් බවට පත් වේ.

වෙනදා ඔබට යම් පුද්ගලයෙක් සැර වචනයක් කියූ විට එයට ප්‍රතිචාර දැක්වූ නමුත් බුදුගුණ වැඩූ ඔබ දැන් නිහඬ, සංසුන්, පුද්ගලයෙක් වී ඇති බව ඔබට ඔබ තුළින් ම දැක ගන්නට හැකි වනු ඇත.

ඔබේ ජීවිතයත්, බුදුගුණ භාවනාව වැඩීම තුළින් සාර්ථක කර ගැනීමට, යහපත් මානසික තත්ත්වයකින් පසුවන පුද්ගලයෙක් බවට පත්වීමට අනන්ත බුදුගුණ බලයෙන් හැකියාව ලැබේවා යැයි ආශිර්වාද කරමි.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]