[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සදහම් සැනසිල්ල විඳිමින් සම්බුදුගුණ මෙනෙහි කරමු

සදහම් සැනසිල්ල විඳිමින් සම්බුදුගුණ මෙනෙහි කරමු

තථාගතයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟුණ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති රළපතරින් සෝබමාන සද්ධර්මයේ සුනීල ගංගාව නිර්වාණ අමා සාගරය බලා ගැලුම් ඇරඹිණ. අපමණ සත්වගක් ඒ අමා දහරින් අස්වැසිලි ලැබී ය.

සාරාසැකි කප් සුවහස් පුරාවට නේකවිධ දුක් දරා මහා වෙරබල විකුම් පා පස්මරුන් දිනූ සිරිමත් ගොයුම් ගොත් මහා මුනිවර සම්බුදු සිහරජුන්ගේ රාජ සමය එළැඹුණේ ය. එය වනාහි අදින් සහශ්‍ර දෙකහමාරකට පෙර යුගයකි.

උත්තර භාරතයේ හිමාලය වනදායට යාබද ව පිහිටි කපිලවස්තු රජදහනෙහි අධිපති සුදොවුන් මහා රජුගේ අගබිසව වන මහාමායා දේවියගේ කුසෙහි මහා පිනැති පුත්කුමරෙක් පිළිසිඳ ගත්තේ ය. ඒ අප මහා බෝසතාණෝ ය. හරියටම දසමස් පිරෙන වෙසක් පුන් පොහෝ දිනෙක උදෑසන මායා දේවියට තම මවුපියන් බැලීම සඳහා කිඹුල්වත් නුවරට යාමේ අදහසක් පහළ වී ඒ බව සුදොවුන් රජුට දැන් වූ පසු ඇය රන් දෝලාවක හිඳුවා රාජකීය පෙරහරකින් පිටත් කළා ය.

එදින ඒ දෙරට අතර මාර්ගයට යාබදව පිහිටි ලුම්බිණි සල්වනය මලින් පිරී අලංකාර විය. එය දුටු මායා දේවියට උයන් සිරි බැලීමේ අදහසක් පහළ වී දෝලාවෙන් බැස ශාක්‍ය කුමාරිකාවන් පිරිවරා හඳුන් උයනට වන් දෙවඟනක් සේ ලුම්බිණියට පිවිසියා ය. මුල පටන් අග දක්වා මලින් පිපුණ සල්ගස් අතරින් හමන සුවඳ මඳ පවන් පහස විඳිමින් වඩින දේවිය එක් භද්‍රසාල වෘක්ෂ මූලයක නතර වූවා ය. ඒ මොහොතේ කුසහොත් මහසත් කුමරු මිහිමත වඩින්නට ආසන්න බව හැඟී ගියෙන් වටතිරවලින් මායා ව ආවරණය කළා ය.

ඇය සල් අත්තක් අල්ලා ගැනීම පිණිස අත එසවූ ඇසිල්ලේ ඉහළින් පිහිටි අත්තක් නැමී ඇගේ අත ගනිද්දී දෙව් බඹුන්ගෙන් අහස් කුස වැසී ගියේ ය. අහසින් පොළොවට දිවකුසුම් මදාරා මල්වැසි පතිත විය. දිව්‍යමය පසඟතුරු ඉබේම නාද විය. රත්පියුමින් පොළෝ කුස වැසී යද්දී සියොත් - බිඟුරාවයෙන් දිගන්තය ගීතවත් විය. මෙසේ දෙතිසක් මංගල පෙරනිමිති සිරියෙන් දස දහසක් සක්වාතල විසිතුරු කරමින් මහසත් බෝසත් කුමරු රන්වන් සිරිපා පොඩි මිහිලිය දෙසට දිගු කළහ.

පළමුව විසිතුරු රන් දැලක් සතර කොනින් අල්ලා ඒ සිරිපා පිළිගනු ලැබුවේ අරහත්තක බ්‍රහ්මරාජවරුන් සිව් දෙනෙකු විසිනි. දෙවනුව සතරවරම් දෙව්රජවරුන් මංගල සම්මත අඳුන් දිවි සමකින් ද, තෙවනුව ශාක්‍යවංශික රාජකීයයන් කසී සළුවකින් ද, මහසත් සිරිමත් සිරිපා පිළිගත් පසු මිහිලිය සලිත වී රත් පියුමින් ඒ මොළකැටි සිරිපා ආදරයෙන් සිපගත්තා ය. බෝසත් කුමරු දස දිසා විලෝකනය කොට කිසිදු අයුරකින් තමාට වැඩි හෝ සම වූ හෝ කිසිවෙකුත් නොදැක උතුරු දිශාව බලා සත් පියවරක් වැඩම කළහ. අනතුරුව “මම ලොවට අග්‍ර වෙමි, ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ඉපදීම යි. නැවත ඉපදීමක් නැත.” යනුවෙන් අභීත සිංහ නාදයක් කළ සේක්. අදවන් වෙසක් පුන් පොහෝ දිනක උදෑසන කාලය අනන්ත සක්වළ මංගල සිරියෙන් අසිරිමත් කළහ.

ලොවට සෙත සලසන්නා යන අර්ථයෙන් “සිද්ධාර්ථ” යැයි නම් ලද බෝසත් කුමරු පුරා විසිනව වසරක් රාජ සුකුමාල ගිහි ජීවිතයක් ගත කළහ. නමුත් කාමයෙහි ආදීනවයත්, නෙක්ඛම්මයෙහි ආනිශංසයත් නිතර මෙනෙහි කරමින් නිෂ්කාමභාවී පිවිතුරු ආකල්ප සම්පත්තියකින් යුක්ත වූහ.

සතර පෙරනිමිති දැක ගිහි ජීවිතය කෙරෙහි කලකිරී සිටි සිදුහත් කුමරු තමා හා එකට ම පැමිණි ආදරවන්තිය වන සොඳුරු යශෝධරා දේවිය රාහුල කුමරුන් බිහිකළ ඇසළ පුන් පෝ දා ඇයටත් නොකියා ම රාත්‍රියෙහි රජ මැදුරින් සමුගත්හ. කන්ථක අසු මත නැඟී අනෝමා නදී තිරය බලා තිස් යොදුන් දුර මාවතක් ගෙවා වැඩම කළහ. එහි දී තම මංගල අසිපතින් කේශච්ඡේදනය කොට ඝටීකාර බ්‍රහ්මයන් පිදූ අෂ්ට පරිෂ්කාරධාරීව උතුම් පැවිදි බව ලැබූහ. ඒ මහා අභිනිෂ්ක්‍රමණය කළ සේක් ඔබ මා කෙරෙහි අසීමිත කරුණාවෙන්ම සිදු කළ බව සිහි කළ මනා ය.

අනතුරුව එළැඹි සය වසරක වෙහෙසකර යුගය තුළ ප්‍රධන් වීර්යය වැඩූ බෝසතාණන් වහන්සේ විසින් නොවිඳි කිසිදු දුකක් නොමැත. සියලු ආකාරයේ ආත්ම ක්ලමථනයේ යෙදුණු සේක්. ඔබ මා වෙනුවෙන් ම ඒ දුක් රැස අකම්පිත සිතකින් ඉවසා වදාළහ. දුෂ්කර ක්‍රියාව හුදු වෙහෙසක් පමණක් බවත් ජීවිතාවබෝධයට මාවත නොවන බවත් දැන අතහැර දැමූහ.

ඉනික්බිතිව බුද්ධ වංශය වූ ආර්යවංශ ප්‍රතිපදාවෙන් යුක්තව මැදුම් පිළිවෙතට පිවිසි සිද්ධාර්ථ මහසත් බෝසතාණන් වහන්සේ සත්‍යාවබෝධයේ මාවතට වැඩි සේක්. සසරක් පුරාවට ඇස් හිස් මස් රුහිර ධාරා දන් දී පිරූ අපරිමිත පාරමිතාවේ බලය අවදි කරනු වස් නේරන්ජනා ගඟබඩ රමණීය බිම් තීරයෙන් ගයා පින්බිමට වැඩම කළහ.

උත්පත්ති මංගල්‍යයෙන් තිස්පස් අවුරුද්දකට පසු එළැඹි වෙසක් පුන්පොහෝ දිනක සඳ උදා වූ නිශායම ඇසතු බෝ සෙවණේ පස්මරුන් පැරදවූ, දසමරුන් වැනසූ සිරි සිදුහත් බෝසතුන් සිරි ගෝතම බුදුරදුන් බවට පත්විය. අනන්ත ඤාණ ගුණ බල පිරිවැරූ බුදු ඇස පහළ විය. අවිදු අඳුර පහ විය. පුරා විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සෙවූ සම්බුදු පදවිය උරුම විය.

එය සමස්ත සත්ත්ව වංශයට ම විමුක්ති උදානයක් විය. සමුදුරු දිය පරයන්නට හෙළූ කඳුළු හැලූ රුහිරු වියළවා දන මන නිවාලන සම්පත්තිකර මේඝය උදා විය. විමුක්ති සුව විඳිමින් සත්සති ගෙවූ ගෞතම දම්රජාණෝ දහම් සිසිලෙන් සිත් විමන් පුරවාලන්නට ඉසිපතන මුව වනයට වැඩම කළහ.

ඇසළ සඳ උදාවන නිශායම මුවදොර එහි විසූ පස්වග තපස්විවරුන්ට සහ අහස්කුස පුරවා සිටි අපමණ දෙවි බඹුන් හට අමා දොර විවර විය. දහම් බෙරය නාද විය. අෂ්ටාංග සමන්වාගත ස්වර මාධූර්යයෙන් යුතු සිරි මුව ගැබ විවර කොට සනාතන සිව්සස් දහම්සක් ප්‍රවර්ථනය කළහ. අහසින් මල්වැසි වැටෙද්දී අනන්ත ආලෝකයකින් දිගන්තය එකලු විය. දෙව් බඹුන්ගේ අනුහස යටකොට සම්බුදු අනුහස් පැතිර යද්දී කොණ්ඩඤ්ඤ තවුසා සමඟ දහඅට කෝටියක් දෙව් බඹ පිරිස් ජීවිතාවබෝධය හෙවත් ධර්මාවබෝධය ලැබූහ.

තථාගතයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟුණ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති රළපතරින් සෝබමාන සද්ධර්මයේ සුනීල ගංගාව නිර්වාණ අමා සාගරය බලා ගැලුම් ඇරඹිණ. අපමණ සත්වගක් ඒ අමා දහරින් අස්වැසිලි ලැබී ය.

ජාති, කුල, මල, භේද නොතැකූ ගෝතම දම්රජාණෝ භව රෝගයට දම් ඔසු බෙදමින් ගම් නියම්ගම් සිසාරා වැඩම කළහ. රජ මැඳුරට හා දුගී පැලට සමසිතින් වැඩම කළහ. බිම්සර, කාසි, කෝසල රජවරුන් පිදූ ප්‍රණීත භෝජනය සේම පුණ්ණා දාසිය පිදූ කුඩුකැවුමත් සමසිතින් වැළඳූහ. සුදොවුන් රජුට සේ ම සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාටත්, යශෝධරාවට සේ ම පටාචාරාවනටත්, රාහුලයන්ට සේ ම දෙවිදතුන්ටත්, කාශ්‍යප කුමරුට සේ ම සුනීත සෝපාකයන්ටත් සම කුලුණින් සෙත සැදූහ.

පුරා පන්සාළිස් වසක් පැතිර නැඟුණ ශාක්‍යසිංහ රජුන්ගේ සද්ධර්ම ගර්ජනා අණසක කෝටි ලක්ෂයක් සක්වළ වසා ගනිද්දී ගණනපථයෙන් කිව නොහැකි අපමණ පිරිස් බුදුසරණ ලැබූහ. දම් - සඟ සරණ ලැබූහ. බඹසර සුවඳ රැඳි කසාවත් ගත දරා පැවිදි සුවය ලැබූහ. සුදුවත් හැඳ දන් දෙමින් සිල් පුරා, පව් තවා දුක් නිවා ගත්හ. ගිහි පැවිදි සිව්පිරිස් බලයෙන් විපුල ගෞතම සසුනඹර අසිරිමත් අරිසව් තරු රැසින් බබළමින් සෝබමාන විය.

උදා ළහිරු සවසට බැස යන්නේ ම ය. පිපෙන තරම් මල් පරවන්නේ ම ය. හටගත් සියල්න නැසී යන්නේ ම ය. අනන්ත කාය - චිත්ත බල දරන දෙතිස් මහ ලකුණු අසූ අනූ ලකුණු එළියෙන් මනෝහර අසමසම රූ දරන සම්බුදු මුනිවරයෝ ද පිරිනිවෙත් ම ය.

ලෝක ඉතිහාසයේ වැඩිම දෙව් මිනිස් පිරිසක් හඬා වැලපුණු දුක්බරම දවස උදා විය. ඒ වෙසක් පුන් පොහෝ දින මළහිරු බැස යන මළානික සඳ උදාවන සැඳෑවේ සිරි ගෞතම දම්රජුන් උපවත්තන සල් වෙනෙහි පිරිනිවන් මංචකයට වැඩම කළහ.

අවසාන වතාවට දෙව් මිනිසුන් අමතා “හටගත් සියල්ල නැසෙන බැවින් නොපමාව කුසල් දම් වඩන්නැ”යි වදාරා අභිනීල නෙතු සඟල සදහට ම වසා ගත්හ. කරුණා ගඟ ගැලූ විරාගී හදමඬල නතර විය. අපට අමා සැනසිලි දුන් බුදුරජාණන් වහන්සේ පිරිනිවී වැඩි සේක.

කළගුණ දන්නන් ලොව සුලභ නැත. ඔබත් කළගුණ ඇත්තෙක් වන්නට නම් ඒ මහා දම්රජුන් අප වෙනුවෙන් අනන්ත සසරක පටන් අනේක දුක් විඳ ලබා දුන් දහම් සැනසිල්ල විඳිමින් බුදුගුණ හඳුනා නිති මෙනෙහි කරන්න. ධර්මයේ හැසිරෙන්න. ආමිස හා ප්‍රතිපත්ති පූජාවේ නොමසුරුව යෙදෙමින් සව්සතුනට මෙත් වඩමින් තිලකුණු මෙනෙහි කරමින් මෙලොව පරලොව දිනා මගඵල නිවනින් සැනසෙන්න.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]