[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ලොව පහළ වූ අසහාය ධර්ම සන්නිවේදකයාණන් වහන්සේ

ලොව පහළ වූ අසහාය ධර්ම සන්නිවේදකයාණන් වහන්සේ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්ම සන්නිවේදනයෙහිලා ලෝකයේ විශිෂ්ටතම ඥාන සම්භාරයක් ලොවට දායාද කළ අසහාය ශාස්තෘන් වහන්සේ ය. ඒ අසමසම භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිපදාවෙන්, චරණ ධර්මයන්ගෙන් පරිපූර්ණත්වයට පත් මේ මිහිපිට පහළ වූ අසහාය සන්නිවේදකයන් වහන්සේ ය.

ධර්මයෙන් හික්මීම ලද උන්වහන්සේ ලෝ වැසියන් ද හික්මවීම පිණිස දහම් දෙසූ සේක. ඒ ධර්මයෙන් ශාන්ත බවට පත් උන්වහන්සේ සෙසු සත්ත්වයන් ද ශාන්ත සුවය ඇති කරවනු පිණිස දහම් දෙසූ සේක. සියලු කෙලෙසුන් සුන්කර ඒ මහා සන්නිවේදකයන් වහන්සේ ලෝ වැසියන්ගේ ද, කෙලෙස් දුරු කරවනු පිණිස දහම් දෙසූ සේක.

විටෙක භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි මාරයා දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පාන්නට සුදුසු කාලය යැයි ප්‍රකාශ කළ විට බුදුන් වහන්සේගේ ප්‍රකාශය වූයේ “මාරය සිව් පිරිසම ධර්මය මැනවින් දැන උගෙන, ධර්මය ප්‍රගුණ කර සෙස්සන්ට ද ප්‍රගුණ කරවීමට හැකි වන තුරු මම පිරිනිවන් නොපාන්නෙමි.” යනුවෙනි.

මේ අසමසම සන්නිවේදකයන් වහන්සේ තම ප්‍රථම ශ්‍රාවක පිරිසට අවවාද කළේ “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං මා එකෙන දෙව අගම්ත්ථ”

ලොව යථාර්ථය පිළිබඳ සත්‍ය දර්ශනය ලෝකයා වෙත වඩාත් වේගයෙන් සන්නිවේදනය කිරීම පිණිස තම ශ්‍රාවක පිරිස එක මඟ දෙදෙනකු නොයන ලෙසත්, එක මඟ එක නම බැගින් වැඩම කර මුල මැද අග පිරිසුදුව දෙව් බඹුන් සහිත බොහෝ දෙනාගේ යහපත පිණිස දහම් දෙසන ලෙසත් අනුදැන වදාළ බව මහා වග්ග පාලියේ මහා බන්ධකයේ සඳහන් වේ.

ලොව නූතන තාක්ෂණික ක්‍රමවේද ද අභිබවා යමින් බුදුරජාණන් වහන්සේ ලොව ප්‍රථම වරට සිත්ගන්නා සුළු ආකර්ෂණීය ධර්ම සන්නිවේදන ක්‍රම අනුගමනය කර ඇත. ඒ සඳහා තුරිත චාරිකා, අතුරිත චාරිකා යොදා ගන්නා ලදී.

පා ගමනින් වැඩම කර ගෙපිළිවෙළින් ධර්ම සන්නිවේදනය කිරීම මෙන්ම වහා වේගයෙන් පිහිට විය යුතු අය සිටින තැනට වැඩම කිරීම එසේ නොවූයේ නම් රශ්මි ධාරා මඟින් බිය සැක දුරු කොට ධර්ම සන්නිවේදනය කර ඇති බව සෝපාක ආදී කතා මඟින් ප්‍රකට වේ.

මේ ධර්ම සන්නිවේදනය මානව වර්ගයා තුළ විශාල කායික මානසික පරිවර්තනයක් සිදුකිරීමට ශක්තියක් විය. ඒ තරමට ම ඒ සන්නිවේදනය ප්‍රබල විය.

ඒ අනුව සන්නිවේදනයේ දී තමන් වහන්සේගේ අදහසට ද අනුව (අත්තජ්ඣාස) දහම් දෙසූ සේක.

ශ්‍රාවකයාගේ අදහස් විමසා එයට අනුව දහම් දෙසීම පරජඣාසයයි. අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම පූච්ඡාවාසික නම් වේ.

පිරිස අතර යම් කරුණක් පැහැදිලි කරදීම් වශයෙන් එහි අර්ථය දක්වමින් දහම් දෙසීම අට්ඨුප්පත්තික නම් වේ. මේ ධර්ම සන්නිවේදනයේ දී බුදුරජාණන් වහන්සේ චතුර්විධ ප්‍රශ්න ව්‍යාකරණ ක්‍රමය ද අනුගමනය කළේ ශ්‍රාවකයාට වඩාත් පහසුවෙන් ධර්මය සන්නිවේදනය කිරීම පිණිස ය.

ප්‍රශ්නයකට එක් ආකාරයකින් පමණක් විසඳුම් ලබාදීම ඒකංස ව්‍යාකරණය නම් වේ.

වඩාත් විධිමත්ව බෙදා විග්‍රහකර පිළිතුරු ලබාදීම විභජ්ජ ව්‍යාකරණිය නම් වේ.

ප්‍රශ්න අසන්නන්ගෙන් ප්‍රති ප්‍රශ්න විමසමින් අවශ්‍ය කරුණු වඩාත් මැනවින් සන්නිවේදනය කිරීම පටිපුච්ඡාව්‍යකරණීය ක්‍රමය වේ.

යම් පැනයකට පිළිතුරු දීම සත්‍යාවබෝධයට අදාළ නොවේ නම්, එම පැනය බැහැර කිරීමට මේ අසහාය ධර්ම සන්නිවේදකයාණන් වහන්සේ අනුගමනය කළ ක්‍රමය ඨපනීය නම් වේ.

අග්ගඤ්ඤ සූත්‍රය මිනිසාගේ ප්‍රභවය දක්වන අතර දිළිඳු බව තුළින් සමාජයේ සොරකම, ඝාතන, බොරුව, අපරාධ ආදිය පිළිබඳ දක්වනු ලබයි. චක්කවත්ති සීහනාද සූත්‍රයට අනුව සමාජ උවදුරු දුරු කොට ආර්ථික වශයෙන් රටවැසියා ශක්තිමත් කළ යුතු අයුරු පහදා ඇත.

නවාංග ශාස්තෘ ශාසනය අංග නමයකින් යුතු වන අතර ගාථා දේශනා එක් අංගයකි. ධම්මපදය එයට නිදසුන් ය. මෙම ගාථා මිනිස් සිත් තුටු පහටු කරවනු ලබයි. ජීවිතය අලුත් කරයි. නව මානයකට යොමු කරවන්නට එම දේශනා සියල්ල ම මහෝපකාරී වෙයි.

ලොව පහළ වූ අති දක්ෂ උපමා හා කතන්දර කීමෙහි අති දක්ෂ ධර්ම සන්නිවේදකයන් වහන්සේ වනුයේ ද, බුදුරජාණන් වහන්සේ ය.

බුදුරජාණන් වහන්සේ සෑම දෙනාට ම තේරෙන භාෂාවෙන් දහම් දෙසූ සේක. ගොවි, කම්කරු ජනයාට දහම් දෙසන විට කුඹුර, නියර, වි, හාල්, වීබොල්, කෙවිට, නඟුල, හරකුන්, ගොපල්ලන්, ගැල්, ධාන්‍ය ,ජලය, ඇළ දොළ, ජල බිංදු, පෙණපිඩු උපමා වශයෙන් යොදා ගනිමින් ශ්‍රාවකයාට වඩාත් පහසුවෙන් ම සන්නිවේදනය වන අයුරින් දහම් දෙසූ සේක.

කසීභාරද්වාජ සූත්‍රයට අනුව කසිභාරද්වාජ බමුණා පන්සියයක් නඟුල්වලින් සීසා ආහාර අනුභව කරන විට බුදුන් වහන්සේ ද පිඬු පිණිස එතැනට වැඩම කළහ. එවිට බමුණා ප්‍රකාශ කරනු ලැබුවේ

“ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, මම සීසා, වපුරා, ධාන්‍ය ලබා අනුභව කරමි. ඔබත් මා වාගේ සීසා වපුරා, ධාන්‍ය අනුභව කරන්න යනුවෙනි. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ බමුණාට පහසුවෙන්ම තේරෙන අයුරු උපමා මඟිනි.

බමුණ, මමත් සීසා වපුරා අනුභව කරන්නෙමි. එවිට බමුණා

“ඔබ සීසා වපුරා අනුභව කරන බව කී නමුත් ඔබේ කෙවිට ගවයන් මම කිසි දිනක දැක නැත.”

"සද්ධා බීජං තපො වුට්ඨි
පඤ්ඤා මේ යුග නංගලං
හිපි ඊසා මනො යොතතං
සති මෙ පාලපාචනං"

මගේ ශ්‍රද්ධාව බිත්තර විය. සීලය වර්ෂාවයි. මගේ විදර්ශනාව හා මාර්ග ප්‍රඥාව වියගහ නගුලයි. ලජ්ජාව නගුලිසයි. සිත විය බානයි. සිහිය වේවැල හා කෙවිටයි. යනුවෙන් පිළිතුරු දුන් බුදුන් වහන්සේ තමන් වහන්සේ ද එක් ක්‍රමයක ගොවියකු බව දෙසූහ. බමුණා බුදු බණ පද අසා ධර්මාවබෝධය ලැබීය.

රජුනට ධර්මය සන්නිවේදනය කරන විට අධාර්මික පාලනයෙහි හා යුද්ධයේ ආදීනව දක්වමින් උපමා කතාන්දර දැක්වූහ. බමුණන්ට දහම් දෙසන විට කුල ගර්වය, යාග හෝමවල නිසරු බව ප්‍රකාශ කළහ. උපමා සිය දහස් ගණන් ත්‍රිපිටකයේ සඳහන් වේ.

සල්ලොපමාව, අන්ධවෙනුපමාව, වම්මිකෝපමාව, චූල මහා සරෝපමාව, අලගද්දුපමාව ආදී උපමා කතාන්දර මඟින් ධර්ම සන්නිවේදනයේ දී බුදුන් වහන්සේ අනුගමනය කළ ක්‍රමවේදය ශ්‍රාවකයාගේ සිත් පැහැර ගත්තේ ය. ඒ ධර්ම සන්නිවේදනය තුළින් ජනයා නිවී සැනසුණහ.

භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම සන්නිවේදනයේ දී ප්‍රායෝගික ක්‍රමවේද අනුගමනය කළහ. රූප මානයෙන් මත්ව සිටි රූප නන්දාවන්ට ජීවිතයේ යථාර්ථය රූපක මඟින් පෙන්වා දුන්හ. එහිදී අනුක්‍රමයෙන් ලස්සන තරුණියක වැහැරී දිරාපත් වී වයස්ගතව පොළොවට පතිත වන අයුරු දැක්වීය. එවිට රූප නන්දා ජිවිතයේ යථාර්ථය අවබෝධ කර ගත්තා ය.

එකම දරුවා මළ සොවින් මළ දරුවා කරපින්නා ගිය කිසාවන්ට මනෝවිද්‍යාත්මක සන්නිවේදන ක්‍රම යොදා ජීවිතයේ අනිත්‍යතා ධර්මය පහදා දුන්හ. ගෝතමියට කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන ලෙස කීහ. ඇය මළ දරුවා ද කරපින්නා ගනිමින් අබ සොයා ගියා ය. අබ සෑම ගෙදරක ම ඇතත් නොමළ ගෙයක් ඇයට සොයා ගත නොහැකි විය. ලොව තතු දත් ඇය මළ දරුවා සොහොනේ දමා බුදු බණ පද අසා සැනසුණා ය.

බුදුන් වහන්සේ ධර්මය සන්නිවේදනයේ දී ආධාරක භාවිත කරමින් අපූර්ව ලෙස දහම සන්නිවේදනය කළහ. රාහුලෝවාද, චුල්ලපන්ථක හිමිගේ කතාව ඊට නිදසුන් ය.

උන්වහන්සේගේ ධර්මය සන්නිවේදනයේ දී ස්වාභවික පරිසරය වඩාත් අර්ථාන්විතව යොදා ගත්හ. ඒ මඟින් ශ්‍රාවක සිත් පැහැර ගත්හ. ඉසිපතනයේ මිගදාය, කොසඹෑනුවර, ඇට්ටේරි වනය එහි සිංස පා පත්‍ර, ගංගා, ඇළ-දොළ, වැසි බිංදු, පෙණ පිඬු ආදී පාරිසරික සාධක රාශියක් සන්නිවේදනයේ දී භාවිත කළහ.

මෙම ලිපියේ ඉතිරි කොටස වෙසක් අව අටවක පෝදා (12) අන්තර්ජාල කලාපයේ පළවේ

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]