[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

උතුම් සම්බුදු තෙමඟුල පිළිවෙතින් සමරමු

උතුම් සම්බුදු තෙමඟුල පිළිවෙතින් සමරමු

සෑම වසරක මෙන්ම මේ වසරේ ද අප කෙමෙන් කෙමෙන් සූදානම් වන්නේ සම්බුදු තෙමඟුල සමරන්නට ය. ලෝකවාසී ලංකාවාසී හැම කෙනකු ම පාහේ සිංහල දමිළ අලුත් අවුරුදු උණුසුම කෙමෙන් කෙමෙන් ඈත් ව යද්දී සම්බුදු තෙමඟුල සිහි කරමින් වෛශාක්‍ය මංගල්‍යයට පෙළගැසෙති.

හැම බෞද්ධ හදවතක් ම යහපත් සිතිවිලිවලින් පිනා යයි. අයෙක් තරගයට මෙන් වෙසක් කූඩු සකසද්දී ඇතැම්හු දන්සල් පැවැත්වීමට කටයුතු කරති. බොහෝ දෙනා විවිධාකාරයේ පුද පූජා පවත්වමින් සම්බුදු තෙමඟුල සමරන්නට සැදී පැහැදී සිටිති. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරනු පිණිස අප බොහෝ දෙනා කාලයක් තිස්සේ පුරුදු වී සිටින්නේ මෙවැනි ආමිසමය කර්තව්‍යයන්හි ම පමණක් යෙදීමට ය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශනය ඉන් තරමක් වෙනස් ය. උන්වහන්සේ සැබැවින් ම ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට වැඩි තැනක් ලබා දී කටයුතු කළහ.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පුදනවා වෙනුවට වැඩි වශයෙන් අගය කොට වදාරන්නේ ප්‍රතිපත්ති පූජාවේ යෙදීම ය. එසේ නම් අප මෙවර වෛශාක්‍ය මංගල්‍යය වඩාත් අර්ථවත්ව ගත කරන්නට පිළිවෙතින් පෙළගැසීමට කටයුතු කරමු.

පිළිවෙතින් පෙළ ගැසීම හෙවත් ප්‍රතිපත්තියෙන් යුතුව තෙමඟුල සමරන්නේ කෙසේද යන්න පිළිබඳ මුලින්ම අවබෝධ කරගත යුතු ය. එහිදී අප විශේෂ අවධානයක් සීලය වෙත ලබා දෙමු. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ එන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, ත්‍රිශික්ෂාව ආදී නොයෙක් තැන්වල දක්නට ලැබෙන සංකල්පයක් වශයෙන් මෙම සීල යන්න පෙන්වා දිය හැකි ය. එමෙන්ම එම අංග දෙක තුළ විශේෂම ස්ථානයක් මෙම සීලයට ලැබී ඇති බව ද පෙනෙයි. ත්‍රිශික්ෂාව යනු නිවනට මාර්ගයකි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කැටිකොට ගත් මෙම ත්‍රිශික්ෂාව ආරම්භ වන්නේ ද සීලයෙනි. මෙතරම් සීලය මූලික වීමට හේතුව කුමක්ද? සීලය යනු කුමක්ද? යන පැනයන් ද පුද්ගල මනස තුළ ඇතිවීමට හැකි ය. එබැවින් අප සීලය යනු කුමක් දැයි සරලව විමසා බලමු.

සීලය යනුවෙන් විශුද්ධි මාර්ගය තුළ දක්වා ඇත්තේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, අව්‍යතික්‍රම සීල යන මේවා ය. චේතනා සීල යනුවෙන් හැඳින්වෙන්නේ පවින් වැළකීමේ සිතින් යුතු වීමයි.

ප්‍රාණඝාතාදී වූ කිසිදු පවක් සිදු නොකරමි යන චේතනාවන් සිහි කරමින් කටයුතු කිරීම මෙහිදී සිදු කෙරේ.

අනතුරුව චෛතසික සීල වශයෙන් දැක්වෙන්නේ එම සිතින් දරා සිටින ප්‍රාණඝාතාදී පව්කම්වලින් වියුක්තව කටයුතු කරනවා යන්න ක්‍රියාත්මක කොට වාසය කිරීමයි. සංවර සීලය යනු අප විසින් කාය, වාග් සංවරය වෙනුවෙන් සිදු කරනු ලබන යම් සීලයක් සමාදන් ව ඊට අනුරූපව අපගේ කය වචන දෙක සංවරව පවත්වා ගැනීමයි. එමෙන්ම අප විසින් ශික්ෂා පද වශයෙන් හෝ සමාදන් වූ ශීලය ආරක්ෂා කර ගැනීම අව්‍යතික්‍රම සීල වශයෙන් දැක්වේ. මෙලෙසින් මෙම සතර කාරණාවන් පරිපූර්ණත්වයට පත් කර ගැනීමට අප විසින්ම අප තුළ ශ්‍රද්ධාව හා වීර්යය පවත්වා ගත යුතු බව විශුද්ධි මාර්ගය තුළ සඳහන් වේ.

බොහෝ දෙනකු සීල යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ සෘණාත්මක අදහසකිනි. එය අද සමාජයේ බොහෝ විට අසන්නට දකින්නට ලැබෙන කාරණාවකි. සිල්වත් වීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන කුමක්ද? මේ ජීවත්වන කාලය තුළ අප බොහෝ විනෝදයෙන් ගත කළ යුතු ය යනාදී ලෙසින් ඇතැම්හු අදහස් දරති. එහෙත් සැමට සාධාරණ ප්‍රායෝගික දහමක් වන බුදුදහම තුළ සිතනවාටත් වඩා අර්ථදායක ලෙස මෙම සීලය යෙදී ඇත. අංගුත්තර නිකායේ දක්නට ලැබෙන සීල සූත්‍රයේ ඒ බව වඩාත් මැනවින් පෙනේ. එහිදී සිල්වත් වීමේ ආනිසංස කිහිපයක් දැකිය හැකි ය.

මහත් වූ භෝග සම්පත් ලැබීම, කල්‍යාණ කීර්ති ශබ්ද නැඟීම, ක්ෂත්‍රියාදී පිරිස් කරා නිර්භයව එළැඹීම, නොමුලාව කාලක්‍රියා කිරීම හා මරණින් මතු දෙව්ලොව ඉපදීමය.

මෙම කාරණාවන් පහ සම්බන්ධයෙන් විමසා බලන්නකුට පෙනෙන විශේෂිත කාරණාවක් වන්නේ මෙම ලාභයන්ගෙන් හතරක් මෙලොවදීත්, එකක් මරණින් පසුවත් ළඟා කර ගත හැකි වීම ය. සැබැවින්ම සිල්වත් වීම කෙතරම් වටින්නේ ද යන්න දිනක් හෝ සිල්වත්ව වාසය කළ අයකුට ම මිස අන් අයකුට නොවැටහෙන්නේ ම ය. තමන්ගේ ජීවිතය දෙස පුද්ගලිකව ම ආපස්සට හැරී බලන්නකුට අනිවාර්යයෙන් ම වැටහී යන කාරණාවක් වන්නේ තමන් කොපමණ නම් ජීවිතයේ ගැටලුවලට මුහුණ දුන්නේ ද යන්නයි. ඇත්තෙන් ම එලෙස බොහෝ ගැටලුවලට අපට මුහුණ පෑමට සිදුව ඇත්තේ අප කයත්, වචනයත් නිසි පරිදි සංවර කර නොගැනීම නිසාවෙනි. නොඑසේ නම් සිල්වත්ව වාසය නොකිරීම නිසාවෙනි. එක් පසෙකින් බලතොත් සිල්වත් වීම අපගේ සිතට ද ගෙන දෙන්නේ සැහැල්ලුවකි.

සීල යන්න සම්බන්ධයෙන් විමසීමේ දී බොහෝ දෙනා තුළ එය රැකීමට අපහසු දෙයක් වශයෙන් මතයක් පවතී. සැබැවින් ම සීලය එසේ නොවේ. කය වචනය සංවර කොට ගෙන අපට ඒ තුළ පවතින්නට හැකි කාලය ඇතැම්විට මිනිත්තු දහයක් විය හැක. එම මිනිත්තු දහයත් සිල්වත්ව වාසය කිරීම කළ යුතු ය. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි. එම කාලය තරම් අප ජීවිතයේ වටිනා තවත් කාලයක් නො පවතින හෙයිනි. විශේෂයෙන් උදාවන වෙසක් පොහොය තුළ ද අප බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඉපදීම, බුදුවීම හා පරිනිර්වාණය යන මෙම තෙමඟුල සිහිපත් කළ යුතු වන්නේ ම අවබෝධයෙනි. එහිදීත් සීලය වැනි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම එක් අතකින් බුදුරජාණන් වහන්සේ අනුස්මරණය කිරීමක් වන්නේ ය. අනෙක් අතට එය තමන් වෙනුවෙන් සිදු කරනු ලබන පුණ්‍යධර්මයක් වන්නේ ය.

එමෙන්ම අප තුළ පවත්නා තවත් මතයක් වන්නේ සියලු සිල්පද රැකිය යුතු වන බවයි. එය ඉන් එහාට ගොස් ප්‍රායෝගිකව අප කල්පනා කළ යුතු වන්නකි. අපට හැකි වන්නේ එක් සිල් පදයක් රැක්මට ද එය එකදු සිල්පදයක් හෝ නොරැක සිටීමට වඩා වටිනා බව සිහි කළ යුතු ය. එබැවින් අප මෙම උතුම් වෛශාක්‍ය මංගල්‍යය සමරනු පිණිස එක් එක් සිල් පදය හෝ ආරක්ෂා කිරීම ඉතාමත් අගනේ ය. එය මෙලොව පරලොව සැප පිණිසත්, සුව පිණිසත් සැබෑ ලෙස ම පවතින්නේ ය. මෙම උතුම් වෙසක් පුන් පොහොය තුළ සීලවන්ත වෙමින් බුදුරදුන් ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්නට අධිෂ්ඨාන කර ගනිමු.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]