ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස විශේෂාංගසංඝ ශෝභන ගුණ සුපූජිත රත්ගම සුනීත නාහිමි

සංඝ ශෝභන ගුණ සුපූජිත රත්ගම සුනීත නාහිමි

by Thanushika
November 24, 2026 12:12 am 0 comment

ගාල්ල, දඩල්ල ශ්‍රී වාලුකාරාමාධිකාරී, බූස්ස ධීරානන්ද පිරිවෙණේ ආචාර්ය, ගාල්ල කඩවත් සතර සහ තල්පෙපත්තුවේ ප්‍රධාන සංඝ නායක, ශාස්ත්‍රපති අති ගෞරවනීය රත්ගම සුනීත නාහිමියෝ දෙසැම්බර් මස 02 වැනි දින 54 වැනි ජන්ම දිනය සමරති. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ගාල්ල, වැල්ලබඩපත්තුවේ, රත්ගම, කැකිල්ලමණ්ඩිය නම් ගම් පියසේ දී සයිමන් ද සිල්වා හා ගෝනපිනුවල පේමවතී යන මව්පිය දෙපළට දාව 1972 දෙසැම්බර් මස 02 වැනි දින පද්මසිරි ද සිල්වා නමැති මෙම පින්වත් කුමරු මෙලොව එළිය දුටුවේ ය.

දඩල්ල ශ්‍රී වාලුකාරාම විහාරස්ථානයට පැමිණි මේ දරුවා 1983 පෙබරවාරි මස 24 වැනි දින අමරපුර සරි සද්ධම්මවංස මහා නිකායේ අනුනාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් වූයේ රත්ගම සුනීත නාමයෙනි. මූලික අධ්‍යාපනය කොළඹ බොරැල්ල තිලකරත්නාරමස්ථ සිරිසුමන විද්‍යාලය හා ගාල්ල, දඩල්ල විද්‍යාරාජ යන පරිවේණස්ථාන ඇසුරින් හැදෑරූ සුනීත හිමියන් කුඩා අවධියේ පටන් ම කියවීම, ලිවීම ආදී සෑම ක්ෂේත්‍රයක් තුළ ම කැපී පෙනෙන දක්ෂතාවලින් පිරිපුන් ශිෂ්‍ය නමක් වූහ.

1993 මැයි මස 30 වැනි දින බලපිටිය මහා කප්පින වලව්වේ මාදු නදියේ ‘ස්වේජින්’ නම් උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී. එහිදී උන්වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායන් වූයේ අතිගෞරවනීය රත්ගම සුමනනන්ද අනුනාහිමියන් හා රාජකීය පණ්ඩිත තලල්ලේ ධම්මානන්ද මහ නාහිමියන් ය. උපසම්පදාවෙන් අනතුරුව මහත් ශාසනික සේවාවක් සඳහා පා තැබූ සුනීත යතිවරයාණන් වහන්සේට දඩල්ල ශ්‍රී වාලුකාරාම පුරාණ විහාරස්ථානයෙහි සියලු වැඩ කටයුතු පැවරීම සඳහා විහාරාධිපති රත්ගම සුමනනන්ද අනුනාහිමියෝ ක්‍රියා කළහ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලද සුනීත හිමියන් ශාස්ත්‍රපති උපාධිය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ද, ධර්ම සන්නිවේදන ඩිප්ලෝමාව ද එකී විශ්වවිද්‍යාලය තුළින් ම ලැබූ අතර, ජාතික අධ්‍යාපන ආයතනය මඟින් අධ්‍යාපන ඩිප්ලෝමාව ද සම්පූර්ණ කළහ. කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණස්ථ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් “විනය චරිය” උපාධිය ද ලැබීමට සුනීත හිමියෝ භාග්‍ය සම්පන්න වූහ.

1998 බොරැල්ල සිරිසුමන පරිවේණස්ථානයේ අධ්‍යාපන සේවාව ආරම්භ කොට 2001 සිට ගාල්ල කළුවැල්ල ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙණෙහි ආචාර්යවරයකු ලෙස සේවයට බැඳුණු රත්ගම සුනීත හිමියෝ 2004 පටන් පුරා වසර විස්සක් පරිවේණාධිපති ධුරය දරමින් සිදු කරන ලද සේවාව ඉතා අමිල ය. 2014 වසරේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘ගුරු ප්‍රතිභා ප්‍රභා’ උපහාර උලෙළේ දී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විශිෂ්්ට පරිවේණාධිපතීන් වහන්සේ නමක් වශයෙන් පිදුම් ලැබීමට උන් වහන්සේ භාග්‍ය සම්පන්න වූහ.

මෙලෙස තම දිවිය ශාසනික හා අධ්‍යාපනික වශයෙන් කැප කරමින් දඩල්ල ශ්‍රී වාලුකාරාම පුරාණ විහාරස්ථානය ද සියලු විහාරාංගවලින් සපිරි මනරම් පින්බිමක් බවට පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ ද උන්වහන්සේට ය. 1992 සිට ‘ශ්‍රී මේධානන්ද’ දහම් පාසලේ ප්‍රධානාචාර්යයන් වහන්සේ ලෙස ද සුවිශාල සේවාවක් ඉටු කරමින් සිටිති.

උදාර සංඝ ශෝභන ගුණයන්ගෙන් පිරිපුන් ශාස්ත්‍රපති රත්ගම සුනීත හිමියන්ට 2016 වසරේ දී අමරපුර සිරිසද්ධම්මවංශික මහා නිකාය මඟින් ‘ගාල්ල කඩවත්සතර සහ තල්පෙපත්තුවේ ප්‍රධාන සංඝ නායක’ පදවිය ද පිරිනමා ඇත. විශේෂයෙන් තම පැවිදි දිවි මඟ උදාර ගුණධර්මවලින් පෝෂණය කර ගනිමින් වැඩ වසන අප නාහිමියන්ගේ අතින් රචනා වූ ග්‍රන්ථ අතර ‘ලෝක ආගමික ඉගැන්වීම්’, ‘විනය ශාසනයේ ආයුෂ’ නම් ග්‍රන්ථ හැඳින්විය හැකි ය.

උදාර සංඝ සෝභන ගුණයන්ගේ පිරිපුන් අප නාහිමියන්ට තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් තවත් බොහෝ කලක් සසුන් වැඩ වසන්නට ඇවැසි ශක්තිය හා දිරිය ලැබේවා.

දර්ශනපති කනංකේ විජිතනන්ද හිමි

You may also like

Leave a Comment