ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස විශේෂාංගමළ නෙතට පණ දෙන්න අක්ෂි දානයට ඔබත් එන්න…

මළ නෙතට පණ දෙන්න අක්ෂි දානයට ඔබත් එන්න…

ජනත් සමන් මාතරආරච්චි

by Thanushika
November 24, 2026 12:30 am 0 comment

ඇය ජෝර්දානයේ මවක්. දෙනෙත් නොපෙනෙන තම එකම දරුවාට ඇස් දෙකක් ඉල්ලමින් ඇය ලෝකයට ම ආයාචනා කළා. පිළිසරණක් නොවූ තැන ඇය එක් දවසක් සත්මහල් ගොඩනැඟිල්ලකින් බිමට පැන සිය ජීවිතය පිදුවා. ඒ තමන්ගේ දරු පැටියා වෙනුවෙන්. ඇයගේ දෑස් දරුවාට බද්ධ කළා. අම්මා නොදුටු දරු පැටියා අම්මාගේ ඇස් දෙකෙන් ලෝකය දැක්කා. බීබීසී ගුවන්විදුලියේ ප්‍රචාරය වූ මේ හද සසල කළ පුවත ඇසූ අපේ රටේ වෛද්‍යවරයෙක් බොහෝ කම්පා වුණා. ඒ හඩ්සන් සිල්වා වෛද්‍යතුමා. නොපසුබට උත්සාහයෙන්, කැපවීමෙන්, අපමණ දුෂ්කරතා මැද එතුමා නිර්මාණය කළ අක්ෂිදාන සංගමය අද වන විටත් ‘මළ නෙතට පණ’ දෙමින් මුළු ලෝකයට ම ඇස් දානය කරනවා. ඒ අපේ රටේ උතුම් මිනිසුන්ගේ දානමය සිතුවිල්ල මල්පල ගන්වමින්.

ඇසක් දන් දී, පාරමී දම් සපුරන්නට ප්‍රාර්ථනා කරන සුවහසක් බොදු දනන් වෙනුවෙන් එම ක්‍රමවේදය පිළිබඳ කෙරෙන මෙම සාකච්ඡාව ජාත්‍යන්තර ඇස් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජනත් සමන් මාතරආරච්චි මහතා සමඟයි.

මළ නෙතට පණ දෙන්න අක්ෂි දාන සංගමය සමඟ සම්බන්ධ වන්නේ කොහොම ද ?

ඇස් දන් දීමේ පනත අනුව මිය ගිය පුද්ගලයා අනිවාර්යයෙන් ම තමන්ගේ ඇස් දන් දීමට කැමති බවට පොරොන්දු වී තිබෙන්නට ඕනෑ. එසේ නැතිනම් ඥාතීන් පොරොන්දු වී තිබෙන්න ඕනෑ. එවැනි අවසරයකින් තොරව මිය ගිය කිසිම පුද්ගලයකුගේ ඇස් ලබා ගැනීම කරන්න බැහැ.

ඇස් දන් දීමේ පොරොන්දු පත්‍රයක් පුරවන්න කිසිම කෙනකුට බාධාවක් නැහැ. පොරොන්දු පත්‍රය පුරවන්නේ පිනක් බලාපොරොත්තුවෙන්. පොරොන්දු පත්‍රය පිරවීමෙන් ම එම පින සිදු වෙනවා. එය ප්‍රයෝජනයට ගන්නවා ද? නැද්ද? කියන එක තීරණය කරන්නේ තාක්ෂණික ක්‍රමවේද සමඟයි.

අද වන විට මරණින් පසු තමන්ගේ ඇස් දන් දෙන්න කැමති බවට මිලියන 2.5ක් පොරොන්දු පත්‍ර අත්සන් කර තිබෙනවා.

පොරොන්දු පත්‍රයක් අත්සන් නොකළ කෙනකුගේ මරණින් පසුව ඇස් දන් දීමේ ක්‍රමවේදයක් තිබෙනවා ද?

ඔව්. එවැනි අවස්ථාවක මිය ගිය පුද්ගලයාගේ ඥාතීන්ට හැකියාව තියෙනවා එහි වගකීම ගෙන කටයුතු කරන්න. එවැනි අවස්ථාවක මෙහි සඳහන් කර ඇති දුරකතන අංකවලට කතා කළොත් අපේ නිලධාරියෙක් අදාළ ස්ථානයට පැමිණ මිය ගිය පුද්ගලයාගේ ඇස් ලබා ගැනීම සිදු කරනවා. එහි කිසිම ගැටලුවක් නෑ. ලංකාව පුරා අපේ ශාඛා 350ක් තියෙනවා. පැය විසි හතර පුරාම එහි සේවාව ක්‍රියාත්මකයි.

අක්ෂි දානයට වයස් සීමාවක් තියෙනවා ද ?

ඇස් දන් දෙන්න වයස් සීමාවක් නැහැ. ඕනෑම කෙනකුට තමන්ගේ ඇස් දන් දෙන්න පුළුවන්. කෙනකු මිය ගිය බව අපට දැනුම් දුන් පසු අදාළ නිලධාරියෙක් ගිහින් මිය ගිය පුද්ගලයාගේ ඇසේ තත්ත්වය නිරීක්ෂණය කරනවා. සමහර වෙලාවට මේදය තැන්පත් වී ඇසේ සුදු පාට රවුමක් දකින්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක දී පොරොන්දු පත්‍රයක් පුරවා තිබුණත් එම ඇස් ලබා ගැනීම සිදු කරන්නේ නැහැ.

ඒ වගේම කහ උණ, මොළේ උණ, සමාජ රෝග (ඒඩ්ස් වැනි), ජලභීතිකාව, පිළිකා (බෙල්ලෙන් ඉහළ කොටසේ ඇත්නම්) වැනි රෝගී තත්ත්වයක් ඇත්නම් එවැනි අයට ඇස් දන් දීම සිදු කළ නොහැකියි.

සිය දිවි හානි කර ගැනීම වැනි අවස්ථාවල දී එවැනි පුද්ගලයන්ගේ ඇස් ලබා ගැනීම සිදු කරනවා ද?

බොහෝ වේලාවට ඝාතනයක් වැනි අවස්ථාවක ඇස් ලබා ගැනීම සිදු කරන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අවසරය සහ කැමැත්තත්, ඥාතීන්ගේ කැමැත්තත් මතයි.

ඇසක් දන් දීමට නියමිත කාලසීමාවක් තියෙනවා ද?

ඔව්. පුද්ගලයෙක් මිය ගොස් පැය හතරක් ඇතුළත ඔහුගේ හෝ ඇයගේ හෝ ඇස් දන් දිය යුතුයි. නමුත් පැය හතක් අටක් ගියත් අපි ඇස් ගන්නවා. එය වයස මට්ටම අනුව තීරණය කරනවා. තරුණ අයකුගේ ඇසක් පැය හයක් අටක් වගේ කාලයක දී වුවත් ගන්නවා. වයස කෙනකුගේ නම් පැය හතරක් පමණ ඇතුළත දී ඇස ලබා ගත්තොත් එහි වටිනාකම වැඩියි. ශීත පළාතක මිය ගියොත් (නුවරඑළිය වැනි) පැය දහයක් දොළහක් වගේ කාලයක් එම මිය ගිය පුද්ගලයාගේ ඇස ආරක්ෂා වෙනවා.

ග්ලූකෝමා රෝගියකුට, ඇසේ සුද ඉවත් කළ කෙනකුට අක්ෂි දානයට සම්බන්ධ වීමට නොහැකි ද?

ග්ලූකෝමා රෝගීන්ටත් ඇස් දන් දෙන්න පුළුවන්. ග්ලූකෝමා දියවැඩියාව නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. ග්ලූකෝමා රෝගීන්ගේ ඇස් වෙනත් කෙනකුට බද්ධ කරන්න පුළුවන්. ඒ වගේම ග්ලූකෝමා රෝගීන්ටත් වෙනත් කෙනකුගේ ඇසක් බද්ධ කරන්න පුළුවන්.

අතීතයේ නම් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම කළේ ඇතුළෙ තියෙන කාචය ඉවත් කර පිටින් ලොකු කණ්ණාඩියක් වගේ දාන එක. ඒ සඳහා කරන කැපුමට මැහුම් දානවා. එහිදී ඇස ඇතුළෙ තියෙන සෛල විනාශ වෙනවා. එහෙම ඇස් ගන්න බැහැ.

අද ලෝකයේ ඇති දියුණු තාක්ෂණය නිසා කිසිම මැහුමක් නොදා කුඩා කැපුමකින් ඇසේ කාචය ඉවත් කර කෘත්‍රිම කාචයක් දැමීම සිදු කරනවා. එවිට ඇසට හානියක් සිදු වන්නේ නැහැ. ඒ නිසා වර්තමානයේ ඇසේ සුද සැත්කම කළ අයටත් ඕනෑම වෙලාවක ඇස් දන් දෙන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි. ඇස් කණ්ණාඩි පළඳීන බොහෝ දෙනා සිතනවා, අපේ ඇස් දන් දීමෙන් පලක් නැහැ කියලා. කණ්ණාඩි පළඳීන අයගේ ඇස්වලිනුත් හොඳ පෙනීමක් ගන්න පුළුවන්. නාභිගත වීමේ ප්‍රශ්නයක් නිසයි කණ්ණාඩි පළඳින්නේ. නමුත් එම පුද්ගලයාගේ ඇස හොඳ තත්ත්වයේ පවතිනවා. ඒ නිසා එම ඇස තවත් කෙනකුට බද්ධ කරන්න පුළුවන්.

ඕනෑම අන්ධ කෙනකුට ඇස් බද්ධ කිරීමක් සිදු කළ හැකි ද?

උපතින් ම අන්ධ පුද්ගලයන් කොටස් දෙකක් ඉන්නවා. එක් කොටසක් ඇසේ ආබාධයක් නිසා උපතින් ම ඇස් අන්ධවූවන්. ඒ අයට පෙනීම දෙන්න ඇසක් බද්ධ කළ හැකියි. අනෙක් කොටස උපතින් ම ඇසේ ස්නායු පද්ධතිය විකෘති වී අන්ධභාවයට පත්වූවන්. එම ස්නායු සැකසීමේ ක්‍රමයක් තවම සොයා ගෙන නැහැ. එවැනි අයට ඇස් බද්ධ කළ නොහැකියි.

බද්ධ කිරීමට ඇසක් අවශ්‍ය කෙනකු සිටී නම් කළ යුත්තේ කුමක්ද?

රෝගියා පළමුව සායනයකට ගොස් තමාගේ රෝගී තත්ත්වය හඳුනා ගත යුතුයි. පසුව වෛද්‍යවරයා කිව්වොත් ඇසක් බද්ධ කිරීම හරහා පෙනීම ගන්න පුළුවන් කියලා එම වෛද්‍යවරයා මාර්ගයෙන් අපට ඉල්ලීම කරන්න පුළුවන්. එයින් පසු ඕනෑම වෙලාවක කිසිම මුදල් අය කිරීමකින් තොරව (සකස් කිරීමේ වියදමවත් නොගෙන) අවශ්‍ය ඇස ලබා දීමට අපි ක්‍රියා කරනවා. පැය විසි හතර පුරා ම අපේ සේවාව ක්‍රියාත්මකයි.

අද වන විට ලංකාව තුළ හැත්තෑ දහසකට අධික ප්‍රමාණයක් සහ විදේශ රටවලට එක්ලක්ෂ හත්දහසක් ඇස් බද්ධ කිරීමට යවා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංගණනයට අනුව මිලියන 12.5ක් ඇස් අපේක්ෂාවෙන් ඉන්නවා. එහි වැඩි ම කාර්ය භාරය කරන්නේ අපි. එනිසා පුළුවන් තරම් මෙයට දායක වෙන්න. එයින් තවත් කෙනකුට පෙනීම දෙන්න පුළුවන්.

අපේ රටේ ඇස් බද්ධ කිරීම ඇස් රෝහල ඇතුළු රෝහල් 23ක සිදු කරනවා. මේ වන විට රටවල් 57ක නගර 114කට අපේ සේවාව සපයනවා. මෙය සම්පූර්ණයෙන් ම නොමිලේ කරන සේවාවක්.

ඇස් දන් දෙන්න නම් ඒවා පරිස්සම් කර ගැනීමත් ඉතා වැදගත් නේද?

ඔව්. ඇස තමයි අපේ ශරීරයේ ති‍බෙන වඩාත් ම වැදගත් ඉන්ද්‍රිය. එනිසා ඇස පරිස්සම් කර ගැනීමට නම් සීනි පාලනය අත්‍යවශ්‍යයි. සීනි ප්‍රශ්නය පළමුවෙන් ම එන්නේ ඇස් දෙකට. ග්ලූකෝමා තත්ත්වයට වගේ ගියොත් අන්ධ භාවයට ම පත් වෙනවා.

අනෙක සෑම කෙනෙක් ම අව් කණ්ණාඩියක් පළඳීනවා නම් ඉතා හොඳයි. හේතුව හිරු එළියේ ඇති අල්ට්‍රා වයලට් කිරණ අපේ ඇසට වැටුණා ම බොහෝ වෙලාවට සුද ඇති වෙනවා.

මිය ගිය පුද්ගලයකුගෙන් ලබා ගන්නා ඇසක් කොපමණ කාලයක් සුරක්ෂිත ව තබා ගත හැකි ද?

මිය ගිය අයකුගේ ඇසක් දින 14ක් තබා ගැනීමට පුළුවන්. නමුත් අද පවතින ඉල්ලුම අනුව දින තුන හතරක් යන විට ලැබෙන ඇස් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මෙලෙස ලැබෙන ඇස් පළමුවෙන් ම ලංකාවේ අවශ්‍යතාවට ලබා දී ඉතිරිය පිටරටවලට යවනවා.

අක්ෂිදානය ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම්, දුරකතන අංක – 011-2692051, 011-2698040/41/43, ෆැක්ස් –

011-2698042 හා ඊ මේල් – [email protected]  මඟින් සම්බන්ධ විය හැකි යි.

සාකච්ඡා කළේ - දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment