ශ්‍රී ලාංකේය ජන සමාජය සහ එහි අනන්‍යතාව හැඩගැස්වීමෙහිලා බුදුදහමෙන් ලැබුණු ආලෝකය අතිමහත් ය. එහිදී උසස් අධ්‍යාපනය පිරිවෙන් මඟින් ලබා දුන් අතර, සාමාන්‍ය ගම්වැසියා පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් ඇසූ බණ දහමින් තමාගේ ලෞකික මෙන් ම ලෝකෝත්තර ජීවිතය ද සාර්ථක ව හැඩගස්වා ගත්තේ ය. ශතවර්ෂ ගණනාවක් පුරා අඛණ්ඩ ව පැවති මෙම දේශීය චින්තන රටාව බිඳවැටීමට ලක්වූයේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයත් සමඟ ය. බ්‍රිතාන්‍යයන් විසින් තමන්ගේ ආගමික සහ සංස්කෘතික ආධිපත්‍ය පැතිරවීම සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ඇති ව මිෂනාරි අධ්‍යාපන ක්‍රමයක් සහ “ඉරිදා පාසල්” රට පුරා ස්ථාපිත කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශීය බෞද්ධ දරුවන්ට තම ආගමික අධ්‍යාපනය අහිමි වී යාමේ මහා ඛේදවාචකයකට මුහුණ දීමට සිදු විය.
මෙම ආගමික සහ සංස්කෘතික ආක්‍රමණයට සාර්ථක විකල්පයක් ලෙසත්, 19 වැනි සියවසේ අගභාගයේ දී මෙරට ඇති වූ මහා බෞද්ධ පුනරුදයේ ප්‍රතිඵලයක් ලෙසත් බෞද්ධ දහම් පාසල් ව්‍යාපාරය බිහිවිය. ඒ අනුව, 1895 අගෝස්තු මස 03 වැනි දින ගාල්ලේ වැලිවත්ත විජයානන්ද විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් “ශ්‍රී සුමංගල දහම් පාසල” නමින් ලංකාවේ ප්‍රථම නිල බෞද්ධ දහම් පාසල ආරම්භ කරන ලදී. පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය හරහා මෙම දහම් පාසල් ව්‍යාපාරය ඉතා කෙටි කලකින් දිවයින පුරා ව්‍යාප්ත කිරීමට හැකි විය.
වර්තමානයේ දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දහම් පාසල් පාලක සභාවේ ඍජු අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ දිවයින පුරා දහස් සංඛ්‍යාත දහම් පාසල් ක්‍රියාත්මක වේ. සෑම ඉරිදා දිනක ම ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ දරුවන්ට නොමිලේ දහම් අධ්‍යාපනය, ගුණධර්ම සහ සදාචාරාත්මක වටිනාකම් ලබා දෙන මෙම උදාර පද්ධතිය, නූතන සමාජය තුළ ගුණගරුක සහ හික්මුණු පුරවැසියන් බිහි කරන ප්‍රධානතම ජීවනාලිය වෙයි.
ශ්‍රී ලාංකේය සමාජයට සදාචාරයේ සහ ගුණධර්මවල සිසිලස කැඳවූ දහම් පාසල් පද්ධතිය අද වන විට බරපතළ ව්‍යුහාත්මක සහ මානසික අර්බුදයකට මුහුණ දී සිටී. වර්තමාන දහම් පාසල් ක්‍රමවේදය දෙස බැලීමේ දී පෙනී යන ප්‍රධානතම ලක්ෂණය වන්නේ එය ද සාමාන්‍ය පාසල් ක්‍රමය මෙන්ම අධික ලෙස තරගකාරී, ඇගයීම් සහ විභාග මූලික කර ගත් පද්ධතියක් බවට පත්ව තිබීමයි. දහම් පාසල් අවසාන සහ ධර්මාචාර්ය වැනි විභාග මෙන් ම, ශ්‍රේණි මට්ටමින් පවත්වන වාර විභාග ද, දහම් පාසල් තරගාවලි ද දරුවා මත පටවා ඇත්තේ පීඩනයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දහම් පාසල් අධ්‍යාපනය යනු “ජීවත් විය යුතු ආකාරය” කියා දෙන මඟ පෙන්වන්නකු වෙනුවට, “විභාගයෙන් ඉහළ ම ලකුණු ලබා ගැනීම සඳහා කටපාඩම් කළ යුතු විෂය කරුණු සමුදායක්” පමණක් බවට පත් වෙමින් ඇත. දයාව, කරුණාව, සහ අත්හැරීම ප්‍රගුණ කළ යුතු තැන, පළමු වැන්නා වීමේ සහ සහතික පත්‍ර පසුපස හඹා යාමේ ආත්මාර්ථකාමී තරගයක් නිර්මාණය වී තිබේ.
දහම් පාසලක පදනම වන්නේ ගුරුවරයා ය. වර්තමානයේ බොහෝ දහම් පාසල් ගුරුවරුන් සතුව පවත්නේ තාර්කික ධර්ම ඥානයක් හෝ නූතන දරුවාට ගැළපෙන අවස්ථානුකූල ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රමවේද පිළිබඳ නිසි පුහුණුවක් නොවේ. බුදුදහම යනු හුදෙක් ප්‍රශ්නෝත්තර පත්‍රයකට සීමා වූවක් නොව, එදිනෙදා ජීවිතයේ දී මතුවන ප්‍රායෝගික ගැටලුවලට තාර්කික ව සහ බුද්ධිමත් ව මුහුණ දෙන ආකාරය උගන්වන දර්ශනයකි. නමුත් නූතන දහම් පාසල් පන්තිය තුළ තවමත් ක්‍රියාත්මක වන්නේ ගුරුවරයා කියා දෙන දේ දරුවා අක්‍රිය ව අසා සිටින සාම්ප්‍රදායික ක්‍රමයයි. දරුවාගේ තර්කනයට, ප්‍රශ්න කිරීමට හෝ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට හෝ බොහෝ විට එහි ඉඩක් නැත. මනෝ විද්‍යාත්මක හෝ අධ්‍යාපන විද්‍යාත්මක හෝ පුහුණුවකින් තොරව සිදුවන මෙම ඉගැන්වීම් ක්‍රියාවලිය නිසා, දහම් පාසල් අධ්‍යාපනය දරුවාට අතිශය නීරස, ඒකාකාරී අත්දැකීමක් බවට පත්ව ඇත.
සඳුදා සිට සිකුරාදා දක්වා දින පහක් තිස්සේ පාසල් අධ්‍යාපනයේ සහ අමතර පන්ති (ටියුෂන්) රැල්ලේ වෙහෙසකර කාලසටහනකට හසුවන දරුවා, දැඩි මානසික පීඩනයකින් සහ විඩාවකින් පෙළෙයි. ඔවුන්ට නිදහසේ සිතන්නට, ක්‍රීඩා කරන්නට හෝ පවුලේ අය සමඟ ගත කරන්නට හෝ ඇති එකම දිනය ඉරිදා දිනයයි. එවැනි පසුබිමක, ඉරිදා උදෑසන ද දරුවාට සිදුවන්නේ පාසලේ දී මෙන් ම දැඩි නීතිරීති මාලාවකට, නිල ඇඳුමකට සහ පන්ති කාමර බිත්ති හතරකට කොටු වීමටයි. පාසලේ විනය රීතිවලට සමාන වූ පාලනයක් දහම් පාසල තුළ ක්‍රියාත්මක වන විට, දරුවා මානසික ව එයින් මිදීමට උත්සාහ කරයි. දහම් පාසල යනු තමන්ට ආධ්‍යාත්මික සැනසීමක් හෝ නිදහසක් දෙන ස්ථානයක් නොව, තමන්ව තවදුරටත් කොටු කරන තවත් එක් “සිරගෙයක්” ලෙස දරුවා සංකල්පනය කර ගන්නේ මේ නිසා ය.
මෙම සමස්ත ප්‍රායෝගික සහ මානසික ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වන්නේ දරුවාට ස්වයං තීරණ ගත හැකි මට්ටමට පැමිණෙන විට දහම් පාසල සම්පූර්ණයෙන් ම අතහැර දැමීමයි. විභාග සමත් වූ, ධර්ම කරුණු කටපාඩම් කර ගත් තරුණ පරපුරක් සිටිය ද, සමාජය තුළ අපරාධ, සදාචාර විරෝධී ක්‍රියා සහ මානසික නොසන්සුන්තාව දිනෙන් දින ඉහළ යන්නේ දහම් පාසලෙන් ජීවිතයට උකහාගත් ප්‍රායෝගික හරයක් නොමැති බැවිනි.
අතීතයේ දී ඉරිදා දින උදෑසන වරුව දහම් පාසල වෙනුවෙන් සම්පූර්ණයෙන් ම වෙන්ව පැවති අතර, උපකාරක පන්ති පැවැත්වුණේ ඉන් පසුව ය. වර්තමානයේ පවත්නා අධික තරගකාරී අධ්‍යාපන රටාව තුළ ටියුෂන් ව්‍යාපාරය විසින් දහම් පාසල් වේලාව ද ඍජුව ම ආක්‍රමණය කර ඇත. මෙහිදී බොහෝ මවුපියන් සිතන්නේ ඉරිදා දහම් පාසල් යැවීම දරුවාගේ නිදහසට සහ විවේකයට කරන බාධාවක් ලෙස ය. ඔවුන් දහම් පාසල් අධ්‍යාපනය සලකනු ලබන්නේ පාසල් විෂය මාලාවට බාහිර වූ, ජීවිතයට ඍජු මූල්‍යමය හෝ වෘත්තීයමය හෝ වටිනාකමක් එකතු නොකරන අමතර බරක් ලෙසිනි. දරුවාට විවේකයක් ලබා දීමේ මුවාවෙන් හෝ පෞද්ගලික පන්ති සඳහා වැඩිපුර කාලය වෙන්කර දීමේ අරමුණින් හෝ මවුපියන් විසින් ම දරුවා දහම් පාසල් ගමනින් ඈත් කරනු ලබයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මය යනු හුදෙක් කටපාඩම් කර තබා ගත යුතු හෝ විභාගවලින් ලකුණු ලැබිය යුතු ශාස්ත්‍රීය දැනුමක් පමණක් නොවන බවයි. උන්වහන්සේගේ දේශනාව වූයේ ධර්මය යනු ජීවිතයෙන් ප්‍රගුණ කළ යුතු (ප්‍රතිපත්ති) සහ එහි ප්‍රතිඵල විඳීය යුතු (ප්‍රතිවේධ) ප්‍රායෝගික දර්ශනයක් බවයි. බුදුදහම සැමවිට ම අගය කළේ තරගකාරිත්වය හෝ අනුන් අබිබවා යාම නොව, තමන් ව පාලනය කර ගැනීම සහ ආධ්‍යාත්මික නිදහසයි. ධම්මපදයේ එන “ජයං වේරං පසවති – දුක්ඛං සේති පරාජිතෝ” (ජයග්‍රහණය කරන්නා වෛරය රැස් කරයි, පැරදෙන තැනැත්තා දුකෙන් නිදයි) යන දේශනාව වර්තමාන දහම් පාසල් තරගාවලි සහ විභාග ක්‍රමයට කදිම කැඩපතකි.
දහම් පාසල තුළින් සහතික පත්‍ර සහ ප්‍රථම ස්ථාන උදෙසා කෙරෙන මෙම ආත්මාර්ථකාමී තරගය ඉවත් කර, දරුවාට නිදහසේ සිතන්නට, තර්ක කරන්නට සහ ජීවිතයේ ප්‍රශ්න හමුවේ නොසැලී සිටීමට (අටලෝ දහමට මුහුණ දීමට) අවශ්‍ය මානසික ශක්තිය ලබා දිය යුතු ය. එය පැවැත්ම උදෙසා අද දවසේ පැහැර හැරිය නොහැකි සාමූහික වගකීමකි.
(සංවාදයට විවෘතය)
සද්ධර්ම කීර්තිශ්‍රී ශාසනමාමක එම්.ඒ. විශ්ව වංශනාත