ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස දහම් අසපුවසිත සනසන අමා බුදු ගුණ

සිත සනසන අමා බුදු ගුණ

by Thanushika
September 26, 2026 12:30 am 0 comment

සාගරයකට උපමා කළත් කරුණාවේ පමණක් නොමැති කරුණාසාගර වූ බුදුරජාණන් වහන්සේ අපගේ අනධීවර ශාස්තෘන් වහන්සේ ය. ඒ උත්තම ශාස්තෘත්වය නිසා අපගේ මිනිස් ජීවිතයට ලැබුණු අරුත පමණකින් කිව නොහැක. අනන්ත සසරක හසරක් නොමැති ව ආ අපට, පරම සැනසිල්ල වෙත පියමන් කරනු පිණිස, ඉතාමත් සුන්දර, වක් නැති, සෘජු භූත වූ අරි අටඟි මග පෙන්වා දුන්නේ අපගේ අනුත්තර ශාස්තෘන් වහන්සේ ය. අප අද සුන්දර මාවතකින් නිවන් පුරයට යාමට පිළිවෙත් පිරුව ද, එය ලොවට විවර කරනු වස්, අනන්ත සසරක පටන් ගත් වෙහෙස දන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ම ය.

කොපමණ බාධා පැමිණියත්, ඒවා සියල්ලෙන් සියල්ල පාරමී ශීර්ෂයෙන් දැක බලා, අභීතව,

අකම්පිත ව, ඒවාට මුහුණ දුන් ආකාරය සැබැවින් ම ආශ්චර්ය ය. එය කළ හැක්කේ ද මහා බෝසතාණන් වහන්සේ නමකට පමණ ම ය. පාරමී පුරාණය තුළ, මහා බෝසතුන් සිතු සේ අසිරිමත් ය, පැතූ සේ විශ්මය ජනක ය. සාමාන්‍ය පටු නුවණකට නම් ඒ පිළිබඳ අල්පමාත්‍ර ව හෝ සිතීමට නොහැක. පුහුදුන් ලෝ සතුන් ගැන කියනු කිම? මේ සසුනෙහි නුවණින් අග තැන්පත් සාරිපුත්ත මුනි උතුමන්ගේ නුවණ ද ඒ සඳහා පමණ නැත. එහෙයින් අධ්‍යතන යුගයේ සිටින අල්පේශාක්‍යයන් ගැන කවර කතා ද? එනමුදු අපගේ නුවණට වැටහෙන ආකාරයට හෝ බුදුගුණ මෙනෙහි කිරීම තුළ ගොඩනැගෙන පුණ්‍යාභිසන්දයේ අනුසස් නම් නිමාවක් නොමැත.

එනිසා අපි ගතවෙන තත්පරයක් පාසා ඒ බුදුගුණ ම මෙනෙහි කරමු. මහ බෝසත් පාරමී පුරාණය, සිරි සිදුහත් චරිතය, බුදු බව සඳහා ඇති කර ගත් නොපසුබස්නා චතුරංග සමන්වාගත වීර්යය සහ ඒ තුළින් ලැබූ විශ්මිත අවබෝධය හෙවත් සම්මා සම්බුද්ධත්වය අප නිතර මෙනෙහි කරමු.

ඒ තුළ අපට ලැබෙන සැනසුම ද පමණ නැත. එනිසා සියලු සත්වයෝ, බුදුගුණ අසත්වා,

මෙනෙහි කරත්වා, බුදුගුණ සයුරේ කිමිදෙත්වා, අනන්ත බුදුගුණ බලයෙන්, සියලු ලෝසතුන් සුවපත් වෙත්වා….! බුදුගුණ අනන්තයි…!

පිපෙන පිපෙන මල් ගොමුවේ සුවඳ ලෙසින් මට වැටහේ

ඔබෙ ගුණ කඳ සුවඳ දිදී
සිත සැනසේ බුදු රජුනේ…

වැටෙන වැටෙන වරුසාවේ
වැහි බිඳු සේ මට වැටහේ
ඔබෙ ගුණ කඳ නිමක් නොමැත
මහ ගෞතම මුනි රජුනේ……..

ගලන ගලන ගංගාවේ
රැළි විලසින් මට වැටහේ
ඔබෙ ගුණ කඳ අපමණ වේ
මහ ගෞතම දම් රජුනේ…

හමන හමන සුළං පොදේ
සිසිලස සේ මට වැටහේ
ඔබෙ ගුණ කඳ අනන්ත වේ
මසිත නිවෙයි මුනි රජුනේ…

නැගෙන නැගෙන හිරු මඬලේ කිරණ ලෙසින් මට වැටහේ

ඔබ හින්දයි එළිය වුණේ
මගෙ ලෝකෙම බුදු රජුනේ…

ඉමක් නොමැති අහස වගේ අහසේ තරු කැට වාගේ
ඔබෙ ගුණ කඳ මට වැටහේ ගැඹුරින් මහ මුහුද වගේ…

සිතෙන සිතෙන උපමාවේ
අල්ප බවම මට වැටහේ
බුදුගුණ බුදුගුණ වාගේ
අනන්ත වේ අපමණ වේ…

අනන්තයි අනන්තයි
බුදුගුණ අනන්තයි…

අනන්තයි අනන්තයි
බුදුගුණ අනන්තයි…

සියලු සත්වයෝ
අනන්ත බුදුගුණ බලයෙන්
නිවී සැනසෙත්වා…

බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී,වාහල්කඩ අරියවංස හිමි

You may also like

Leave a Comment