ලොවට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූ කලෙක පමණක් ඇති වන උතුම් වූ ත්, ශ්‍රේෂ්ඨ වූත් දහම් හයක් පිළිබඳ අංගුත්තර නිකායාගත ඡානුත්තරිය සූත්‍රයෙහි සඳහන් වේ. ඒ අතුරින් පළමුවන උසස් උතුම් දැකීම දස්සනානුත්තරිය නමි. ලෝවැස්සා නොයෙක් විදියේ රූප දැකීමට කැමැති ය. කොතෙක් රූප දැක්කත් මේ රූප දැක්කා ඇතැ යි සෑහීමෙක් නැත. තව තවත් අමුතු අමුතු රූප දැකීමට ම පෙළැඹීම ලෝවැස්සාගේ සිරිත ය. රූප දැකීම පිණිස උපකාර වන්නා වූ ඇස මහ සයුර මෙනැ’යි වදාළේ කොපමණ රූප දැක්කත් ඇස සෑහීමට පත් නො වන ගතිය ඇසෙහි පිහිටා තිබෙන හෙයිනි. ඇසෙහි පවත්නා මේ අතෘප්තිකර ස්වභාවය නිසා ම, මිනිසා නන්වැදෑරුම් දුක්වලට භාජන වන්නේ ය. එය හැම දුක්වලට ම ප්‍රධාන වන්නා වූ, පංවස්කන්ධ දුක්ඛය පහළ වීමටත් හේතු වන්නේ ය. එය තේරුම් ගෙන ඇස සංවර කොට ගත් තැනැත්තාට ඒ අපමණ දුක්වලින් නිදහස ලැබේ.
බොහෝ දෙනා ඇස පිනවීම පිණිස හස්තීන් අශ්වයන් රජුන් මහ සම්පත් ඇත්තන් දකිති. සිත්කළු වැව් – පොකුණු, උයන් – කඳුහෙල් ආදිය දකිති. විසිතුරු සිතුවම් හා චිත්‍රපටාදිය දකිති. ඒ කිසිවකගේ දැක්ම උසස් දැක්මකැ යි කිව නොහැකි ය. ඒ දැකුම් රාගාදී අදහස් දියුණුව පිණිස හේතුවිය හැකි වන බැවිනි. එබඳු දෙයක් දැක, එහි අනිත්‍යාදිය සලකා විරාගය දියුණු කොට ගත හැකි වෙතොත් එය ද උසස් දැකුමක් වීමට ඉඩ ඇත. එය භාවනාරම්මණයක් වූ නිසා ය. යමෙක් සැදැහැ සිතින් යුතු ව බුදුරජාණන් වහන්සේ දකී නම්, සංඝරත්නය දකී නම්, කසිණ නිමිත්තාදිය දකී නම්, ඒ දැකුම් දස්සනානුත්තරිය ය. ඒ දැක්ම ශ්‍රද්ධාදිය දියුණුවීමට හේතුවන හෙයිනි. නිවන් පිණිස හේතුවන හෙයිනි. යටත් පිරිසෙයින් සිල්වත්, ගුණවත් උපාසකයකු හෝ උපාසිකාවක හෝ සැදැහැත්තකුට දක්නට ලැබේ නම්, එය උසස් දැකුමෙකි.
චෛත්‍යයක් – බෝධියක් – බුද්ධ ප්‍රතිමාවක් – විහාරයක් – පන්සලක් යනාදී කවරක් වුව දැකීමේ දී සැදැහැතියනට පින් සිත් පහළ වන්නේ ය. තථාගතයන් වහන්සේ උපන් බිම, බුද්ධත්වයට පත්වූ ස්ථානය, දම්සක් දෙසු තැන, පිරිනිවී තැන යන සතර තැන් සැදැහැත්තා විසින් වෙසෙසින් ම දැකිය යුතු තැන් ය. වැඳපුදා ගත යුතු තැන් ය. ලක්දිව සොළොස්මස්ථානය බුද්ධ ස්පර්ශය ලද තැන් හෙයින් වෙසෙසින් ම සැදැහැත්තන් විසින් දැකිය යුතු තැන් ය. තෙරුවන් උදෙසා සෙසු යම් කවර හෝ තැනක් ගොඩනඟා ඇත්නම්, ඒ තැන් දැක, තෙරුවන් ගුණ සිහි කොට ගුණ ගයා පින්සිදු කොට ගත හැකි නම්, ඒ තැන් දැක්ම උසස් දැකුම් ය. එහෙයින් එලොව මෙලොව දෙක්හි ම දියුණුව වනසාලන්නා වූ දර්ශනාදිය කෙරෙහි පවත්නා රුචිය අත්හැර, දෙලොව දියුණුවට මඟ සැලැසෙන දේ හා දෙලොව දියුණුවෙන් අනුශාසනා පවත්වන්නවුන් ද දක්නට කැමැත්ත පහළ කොට ගත යුතු ය. විකාර, කෝලම් ආදිය දැකීමත්, ඒවාට තුටුවීමත් උසස් මිනිසුන්ට අයත් නොවන බව මෙනෙහි කළ යුතු ය. රූප දැකීමට තරම් ශක්තිය තිබෙන ඇස ලැබී තිබෙන්නේ සසර දී උසස් දැකුම් සංඛ්‍යාවෙහි ලා ගැනෙන තෙරුවන් පිළිබඳ දැකුමත්, කසිණාදි අරමුණුත්, සිල්වත් ගුණවත් පින්වතුනුත් දැක සිත පහදවා ගෙන, කුසල් සිත් පහළ කොට ගත් හෙයිනි. එවන් ඇස නො මඟට නො හෙලිය යුතු ය. විරාගය පහළ වීමට හේතුවන්නා වූ දර්ශන පවත්නේ කොහි දැ යි සොයා බලා ඒවා දැකිය යුතු ය. ඒවා දැකීමෙන් සැලැසෙන යහපත අපමණ ය. අප මහ බෝසතාණන් වහන්සේටත් එය උපකාර විය.
එබැවින් දස්සානුත්තරිය සංඛ්‍යාවෙහි ලා ගැනෙන කුසලාරම්මණයන්ගේ දැක්ම පින්සිදු වීමට හේතුවනවා පමණක් නොව, ආත්මාර්ථ – පරාර්ථ දෙක ම සිද්ධවීමට උපකාර වන්නක් ය. එය හොඳීන් තේරුම් ගෙන නොමඟට හෙළන දේ සහ නොමඟට හෙළන අය දැකීම දුරින් ම දුරු කොට,
සුමඟට යොමු කිරීමට ඉවහල් වන දේ සහ සුමඟට යොමු කිරීමට උපකාර වන්නා වූ අය ද ඇසුරු කළ මනා ය. “සාහුදස්සනමරියානං –
සන්නිවාසො සදා සුඛො
අදස්සනෙන බාලානං –
නිච්චමෙව සුඛී සියා”
ආර්යයන්ගේ දැකීම යහපත් ය. ඔවුන් හා එක් වැ විසීම සදාකල්හි ම සැපදායක ය. බාලයන්
(මෝඩයන් සහ අයහපත් අය ) නොදැක්මෙන් පවා නිතොර සැප ඇත්තෙක් වන්නේ ය.