[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

කාන්තාවගේ ලෝකය ඒකාලෝක කරමින් මෙහෙණි සසුන ඇරඹුණි

මේ ගෙවී යන්නේ වස්සාන සමය යි. ඇසළ පොහෝ දා සිට වප් පොහෝ දා තෙක් වූ මෙම වස්සාන සමය සැදැහැතියන් ගේ පුණ්‍ය කාලය යි. වස්සමයේ අතරමැදි පොහොය සහ මධ්‍ය කාලය අයත් වන්නේ බිනර මහට යි. සම්බුදු සසුන තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම සිදු වූයේ බිනර පුර පසළොස්වක පොහොය දිනෙක ය. එදින මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ පැවිදිවීම සිදු වූ අතර, එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය. එසමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. එහි දී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය උන්වහන්සේ කරා එළඹ වැඳ, එකත්පසෙක සිට ආයාචනයක් සිදුකළා ය. එනම් කාන්තාවන්ට බුදුසසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන ලෙසයි. තෙවරක් ම එලෙස ආයාචනා කළ පසු බුදුරදුන් වදාළේ “ගෞතමියනි, තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි ගිහි ගෙයින් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නොවේවා” යන්න යි. බුදුරදුන් ඊළඟ වස් සමය වැඩ සිටියේ විශාලා මහනුවර මහ වනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි ය. එහි දී ද මහා ප්‍රජාපතී ගෝතමී දේවිය කලින් රෝහිණී නදී තීරයේ දී බුදුරදුන් සමීපයේ පැවිදි වූ ශාක්‍ය කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයක ගේ භාර්යාවන් ද කැටුව කෙස් වැටි කපා හැර, කහ වස්ත්‍ර පොරවා මැටි පාත්‍ර ගෙන ඉතාම දුක සේ සැතපුම් ගණනාවක් පයින්ම විශාලා මහනුවර කරා පැමිණියහ. මෙසේ දෙවැනි වරට පැවිදි වෙස්ගෙන, මනා සංවිධානයක් ද ගොඩනඟාගෙන බුදුරදුන් වෙත පැමිණියේ ඔවුන් ගේ අරමුණ තවත් කල් නොගෙන ඉටුකරවා ගැනීමේ පරමාර්ථයෙන් බව පැහැදිලි ය.

බලාපොරොත්තු ඉටුවන තුරුම වෑයම් කළ යුතු ය

කුම්භඝෝෂක නම් තරුණයෙක් අරමුණු කර ගෙන දේශනා කළ ගාථාවක් මා විසින් ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ. මෙය ධම්මපදයෙහි අප්පමාද වර්ගයේ සඳහන් වන ගාථාවක් වන අතර, මෙහි අර්ථය මෙසේ ය. නොපසුබස්නා වීර්යය, මනා සිහිය, පිරිසුදු ක්‍රියා ඇති බව, විමසා කටයුතු කිරීම, තැන්පත් ගතිය, දැහැමි දිවි පෙවෙත, අප්‍රමාදය යන කරුණු සත මෙලොව දියුණුව සැලසීමට සමත් කරුණු බව ය. නොපසුබස්නා වීර්යය නම් කිසියම් දෙයක් කිරීමට පටන් ගත් කල්හී කොතරම් අවහිර බාධා පැමිණිය ද ඒ කිසිවක් ගණනකට නොගෙන තම අදහස් මුදුන් පත් වන තුරුම අතරමඟ නතර නොකොට කර ගෙන යාමයි. මහ බෝසතුන් වුව ද බුද්ධත්වය අවබෝධ කර ගැනීමේ අරමුණෙන් ඇසතු බෝ රුක මුල හිඳ ගනු ලැබුවේ “මාගේ ශරීරයෙහි මස් ලේ වියළී, සම් මස් නහර ඇට පමණක් ඉතිරි වුවත් මාගේ අරමුණ මුදුන් පත් කර නොගෙන මේ ස්ථානයෙන් නොනැඟිටිමි” කියන බලවත් අධිෂ්ඨානයෙන්ම. තම බලාපොරොත්තුව සඵල වන තුරුම වෑයම් කළ යුතු බවයි ඉන් අර්ථවත් වන්නේ. හොඳ සිහියෙන් විසීම සෑම මොහොතක දී ම අවශ්‍ය දෙයකි. යම් වේලාවක දී සිහියෙන් තොරව කටයුතු කළ හොත් මොනම තරමේ අනතුරකට, විපතකට අලාභයකට මුහුණ දීමට සිදු වේ'දැයි කිව නොහැකි ය. කටු සහිත බිමක පාවහන් නොමැති ව ඇවිදින කෙනකු පයෙහි කටු ඇණෙනවාට බියෙන් මොන තරම් සිහියෙන් යුතුව පරෙස්සමෙන් ඇවිදිය යුතු ද එතරම් ම වූ සිහියකින් යුතුව භික්‍ෂුව ගමෙහි හැසිරිය යුතු බව ථේර ගාථා පාලියේ සඳහන් වේ. එබැවින් ගිහි පැවිදි කාහට වුව ද නියම ඵල ප්‍රයෝජන ලබා ගැනීමට සිහිය අවශ්‍යම දහමකි.

අයිතිවාසිකම් දිනාගන්නට පෙර යුතුකම් ඉටුකරන්න

ලංකාවේ වර්තමාන ජන ජීවිතය විවිධ දුෂ්කරතාවලින් පිරී තිබෙන බව පැහැදිලි ය. මූලික අවශ්‍යතා සපයා ගැනීමෙහි දී සැම කෙනකුට ම අඩුවැඩි වශයෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. එම දුෂ්කරතා සියල්ල අටලෝ දහමට යටත් වන අතර, ජන ජීවිතය ගෙවෙන්නේ අටලෝ දහමට අනුකූලව ය. කිසිවකුටත් එයින් පලා යා නොහැකි ය. දුක සැප, යස අයස, නින්දා ප්‍රශංසා, ලාභ අලාභ යන අටලෝ දහමට අඩු වැඩි වශයෙන් මුහුණ දීමට සිදුව තිබේ. එසේම පුද්ගල ජීවිතය ඇතුළතින් ද (අන්තෝජටා), පිටතින් ද (බහිජටා) අවුලට පත්ව තිබේ. විවිධ අභ්‍යන්තර හා බාහිර ගැටවලින් ගැටගැසී ඇති ජීවිතය ලිහා ගන්නේ කෙසේ ද? මේ පසුබිම තුළ සිත ගත දෙකම සුවපත්ව පවත්වා ගන්නේ කෙසේ ද? යන්න දහම ඇසුරෙන් විමසා බැලීම වැදගත් වේ. මෙම ලිපියේ අරමුණ බුදුරදුන් වදාළ ධර්මය ඇසුරෙන් වර්තමාන අභියෝග තේරුම් ගැනීම හා ඒවාට සංයමයකින් යුතුව මුහුණ දෙන්නේ කෙසේ ද යන්න පැහැදිලි කිරීමයි. බුදුරදුන් වදාළේ ලෝකය දුක මත පිහිටා තිබෙන බවයි (දුක්ඛේ ලොකො පතිට්ඨිතො). දුක්ඛ සත්‍ය යටතේ ඉගැන්වූ සියලුම කරුණු ජීවිතය හා බැඳී පවතින සනාතනික දෑ වේ. එබැවින් පුද්ගලයාට නිතර අත්දකින්න ලැබෙන්නේ දුක්ඛදායක අත්දැකීම් ය. පුද්ගලයා දුක පිළිකුල් කරන අතර, සැප කැමැති වෙයි (සුඛ කාමා දුක්ඛ පටික්කූලා). එබැවින් සැම මොහොතකම සැප සොයමින් වෙහෙසට පත්වේ. මෙය සියලු ජීවීන්ට පොදු වූ ධර්මතාවකි.

දැනුමේ තිමිර පටල ඉරාදමන බුද්ධියේ හිරු කිරණ හඳුනා ගනිමු

ඉගෙනුම ලබන ශිෂ්‍යයකු, දැනුම බෙදන ආචාර්යවරයකු හෝ පොතපත කියවන වෙනත් කෙනකුට ලැබෙන ප්‍රතිලාභ දෙකක් නම් දැනුම හා බුද්ධියයි. දැනුම හැඳීන්වීමට ඤාණය හෝ ඥානය යන වචන ද සමානාර්ථයෙන් භාවිත වේ. පොතපත මඟින් හෝ, ගුරු ඇසුරකින් හෝ අපගේ මොළයට ලබා ගන්නා දේ ඥානය හෝ දැනුම ලෙස තේරුම් ගැනීම සුදුසු ය. බුද්ධිය ඊට වඩා පළල් අරුතක් ඇති වචනයකි. සමහරවිට දැනුම ඇති කෙනකු බුද්ධියෙන් අඩු කෙනකු විය හැකි ය. එසේම බොහෝ බලගතු බුද්ධියක් ඇති කෙනකු පොත පතින් හෝ අධ්‍යාපන ආයතන මඟින් ලබා ගත් දැනුම අඩු කෙනකු විය හැකි ය. එහෙයින් උගතකු වූ තරමින් කිසිවිටෙකත් උඩඟු නොවිය යුතු ය. බුද්ධිමතකු වූ තරමින් උගත්කමට නිග්‍රහ කිරීමට ඉක්මන් නොවිය යුතු ය. කුමක් නිසාද යත් මෙම ගුණාංග දෙකේ ම එකතුවෙන් පමණක් ලෝකයට ඵලදායක මිනිසකු බිහිවන හෙයිනි.ලෝක යාන්ත්‍රණයට අවශ්‍ය දේ නිෂ්පාදනය කිරීමට ඥානය හෙවත් දැනුම අවශ්‍ය ය.නිදසුනක් ලෙස විදුලි කාර්මිකයකුට තම දැනුම යොදා විදුලියෙන් ක්‍රියා කරන යන්ත්‍රයක් නිපදවිය හැකි ය. එහෙත් එය ක්‍රියාකරවන්නට දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. එය පරිහරණය කිරීමේ දී බුද්ධිය ද අවශ්‍ය ය. නො එසේනම් හානියක් සිදුවිය හැකි ය.

සාමයේ පණිවිඩය ලෝකයට තිළිණ කරන මුගුණුවෙල අනුරුද්ධ නා හිමියෝ

ලෝක සාමය පිණිස කටයුතු කිරීමට සිය දිවියේ වැඩි බරක් උසුලන ගිහි පැවිදි උතුමන් ලොව පුරාම සිටිනවා. එවන් උත්තුංග ගති පැවතුමෙන් හෙබි මෙරටට පමණක් නොව ලොව පුරාම නිහඬ සේවාවක් සිදු කරන භික්ෂූන් වහන්සේ නමක් ගැන යම් හෝ වදන් පෙළක් ගෙන හැර නොදැක්වුවහොත් එය අපගේ වගකීම පැහැර හැරීමක් වනවා.ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන් මෙරට පළමු හා එකම මියන්මාර් සම්ප්‍රදායයේ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ නිර්මාතෘවරයාණන් වහන්සේ වනවා. මාතලේ උකුවෙල පන්සල්තැන්නේ පිහිටි අනුරුධ අරණේ පිහිටි ස්වේදගොන් දාගැබේ අනුරුවක් ලෙසින් ඉදිකළ එම දාගැබ මෙරට ඇති එකම මියන්මාර් සම්ප්‍රදායයේ දාගැබ වනවා.එහි අධිපති ධූරය දරන අනුරුද්ධ හිමියන් තිස් වසරක් පුරා මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධයෙන් අවතැන් වූ දෙමළ ජාතික දරු දැරියන්ට පාසල් යාමට පාපැදි සැපයීමට මූලිකත්වය ගත්තා. එමපණක් නොව යුද්ධයෙන් හානියට පත් බොහෝ දේ වෙනුවෙන් උන්වහන්සේ උපකාර කළේ කිසිදු ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. එවකට කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපතිවරයා සමඟ සුහදශීලීව පළාතේ සිටින අසරණ දූ දරුවන්, ගැමියන් සොයා උන්වහන්සේ එසේ කටයුතු කළේ ජාතික සමගියේ වටිනාකම දන්නා නිසා ය.

 

බිනර පුර පසළොස්වක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]