[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගැමි දිවිය සවිමත් කළ සතිමත් සිත

ගැමි දිවිය සවිමත් කළ සතිමත් සිත

වර්තමාන බෞද්ධ සහ අන්‍ය ආගමික ජන සමාජ තුළ පවා භාවනාව ගැන විශේෂ උනන්දුවක් දක්වන බොහෝ යෝගීහු සිටිති. විශේෂයෙන් බෞද්ධ ශ්‍රාවක බොහෝ දෙනා භාවනාව ගැන වැරැදි ආකල්පවල බැස ගෙන සිටින ස්වභාවයක් දක්නා ලැබේ. මේ නිසා බෞද්ධ භාවනාව මඟින් අපේක්ෂිත අරමුණු කරා ළඟාවීමට අපොහොසත්වී ඇත.

බෞද්ධ භාවනාව මඟින් අධිමානසික බලයක් ලබා ගත හැකි ය. ක්ෂණික මාර්ගඵලයක් හෝ රෝග සුවකර ගැනීමක් හෝ රහත් ඵලයක් සඳහා කිසියම් සහතිකයක් ලබා ගත හැකිවීම, තාවකාලික මානසික විවේකයක්, සහනයක් ලබා ගත හැකිවීම ආදී විවිධ අපේක්ෂාවන් ඉටුකර ගැනීමේ උනන්දුවකින් භාවනා කරන බොහෝ පිරිස් සිටිති.

‘භාවනාව‘ යනු සිහිය දියුණු කර ගැනීම හා දියුණු වූ සිහිය එදිනෙදා ජීවිතයේ දී ප්‍රයෝජනයට ගැනීමයි. ඒ සඳහා ‘සතිය’ අවශ්‍ය වේ. ‘සතිය’ වැඩීමත්, භාවනා කිරීමත් දෙකම එකම ක්‍රියා දාමයකි. මේ සඳහා වාඩිවීම ම අවශ්‍ය නැත. එදිනෙදා කරන කියන වැඩ සිහියෙන් කිරීම අවශ්‍ය වන්නේ ය.

ඈත අතීතයේ විසූ ගොවි ජනතාව සිය ජීවන රටාව තුළ ‘සතිය’ පවත්වා ගෙන ගිය අයුරු විමසා බැලීම වටින්නේ ය. ඒ තුළින් සංකීර්ණ වූ වර්තමාන සමාජයට ඵලදායි යමක් තෝරා බේරා ගැනීමට හැකිදැයි විමසා බලමු.

එදා ගැමි සමාජය තුළ “සතිය” ක්‍රියාත්මක වූයේ විධිමත් රටාවකට නොවුනත් ඔවුන් තුළ සතියක් තිබුණ බව ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් දෙස විමසිලිමත් ව බැලීමෙන් ප්‍රත්‍යක්ෂ වේ.

කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය කර ගත් හේන් ගොවියාට පැල් රැකීම අනිවාර්ය අංගයක් විය. රාත්‍රි කාලයේ පැල් රකින ගොවි මහතාගේ හේනට ඇතුල්වන සතා සිවුපාවන්ගේ හැසිීරීම් රටාව ගැන ඔවුහු විමසිලිමත් වූහ. සතුන්ගේ විවිධ ශබ්දයන් ඔව්හු හඳුනා ගනිති. ඒ අනුව එම සතුන් පන්නා දැමීමට සුදුසු ප්‍රතිචාර දක්වති. ඒ සඳහා ඔවුන්ට හොඳ සිහි කල්පනාවක් නොතිබුණ හොත් සතුන්ගෙන් වගාවට විශාල ලෙස හානි සිදුවීමට ඉඩ තිබේ.

ගැමි නිවස තුළ සිදුවන ක්‍රියාකාරකම් කීපයකි. වී, බඩඉඟුරු කෙටීම, කුල්ලෙන් පෙලීම, පූකිරීම, කුඩු ගැසීම, මිරිස් ඇඹරීම, හාල් ගැරීම ආදිය සිහියෙන් ම කළ යුතු ය.

වී කෙටීම අපූරු ක්‍රියාකාරකමකි. මේ සඳහා ළඳුන් තිදෙනෙක් මෝල්ගස් තුනකින් එක වංගෙඩියේ පරිස්සමින් කෙටීම කළ යුතු ය. එය ‘තුං මෝලේ වී කෙටීම’ ලෙස හැඳින්වේ. දෙදෙනෙක් කෙටීම, දෙමෝලේ ලෙස හැඳින්වේ. මෙය හොඳ සිහියෙන් යුතුව නොකළ හොත් මෝල් ගස් එකට ගැටී අවුලක් සිදුවිය හැකියි.

කුරක්කං ගලේ කුරක්කං ඇඹරීමත් හොඳ අවධානයෙන් කළ යුතු අපූරු ක්‍රියාවකි. බොහෝ විට කවි ගායනා කරමින් මේ ක්‍රියාව සිදු කරයි. උඩ ගල කරකවමින් ම විටෙන් විට කුරක්කං ඇට දැමීම තමා විසින් ම නිවැරැදිව කළ යුතු ය.

වැඩිහිටි පිරිස ආහාර ගැනීමට පෙර බෙදා වෙන්කර ගත් සිය ආහාර කොටසින් බත් මිටක් පසක තබයි. එය “පිං පිඩ” ලෙස හැඳින්වේ. දරුවෝ ද එය අනුගමනය කිරීමට පෙළඹෙති. මේ සියල්ල කිරීමට ඔවුන්ට හොඳ සිහියක් තිබිය යුතු ය.

ගැමි සමාජය තුළ කවි කතාන්දර ප්‍රස්ථාව පිරුළු, විශේෂ ගැමි යෙදුම්, ක්‍රීඩා සිරිත් විරිත් ආදියෙහි විශේෂත්වයක් තිබුණි.

‘කලබල වුණොත් කොරොස් කටෙත් අත දාන්න බෑ”

කියන ගැමි කියමන තුළ ‘සතිය’ ගැන පණිවිඩක් සන්නිවේදනය කරේ. කලබලයට වැඩක් කිරීමට යාමෙන් එය නිවැරැදිව කළ නොහැකි බව ඔවුහු දැන සිටියහ. ගැමි නිවසේ වැඩිහිටි පිරිස අවවාද අනුශාසනා කරන විට සිය කතාවට එවැනි ප්‍රස්ථාව පිරුළු එකතු කළහ.

තවද සිය කමතේ ගොයම් බේරන අවස්ථාවේ දී අම්බරුවන් ( මීහරක්) ගොම්පස් ගසන විට ( මළපහ කරන විට) ඒ අපද්‍රව්‍ය බැත ගොඩට එකතු නොවීමට පිදුරු ස්වල්පයක් ගෙන ගවයාගේ පිටුපසට අල්වා ඉවත් කිරීම සිදුකරයි. මී ගවයින් ගොයම් කොළය මත සීරු මාරුවෙන් දැක්කීම කළ යුතු ය. ඉතා සතුටින් සිව්පද තාලයට ගායනා කරමින් රාත්‍රි කාලය ඔවුහු ගොයම් බේරීම සතුටින් ම කරති. ‘කමත්’ භාෂාව නිවැරැදිව සිහියෙන් යුතුව භාවිත කරති. ඔවුන් තුළ නිරායාසයෙන් ම යහපත් ගුණධර්මවලින් ඔපවත්වූ ධනාත්මක පෙළ ගැස්මක් වර්ධනය විය.

ඔවුහු බුදු පහන තබා උදේ සවස බුදුන් වන්දනා කළහ. පන්සිල් පද සුරැකීමට උනන්දු වූහ. වැඩිහිටියන්ට රෝගීන්ට උදව් කළහ. ඔවුනොවුන්ට උදව් කළහ. වචනය සහ කය සංවරය මේ ක්‍රියා දාමයන් තුළින් ඔපවත් විය.

ඔවුහු, වර්තමාන සමාජයේ බොහෝ දෙනා මෙන් සතුට සොයාගෙන යාමට උත්සුක නොවූහ. ඔවුන් කරන ගොවිතැන තුළ, ගෘහජීවිතය තුළ සතුට මිශ්‍රවී තිබුණි.

ඔවුන්ගේ අවශ්‍යතාවයන් සීමා විය. පුංචි නිවහනක්, විලිවසා ගැනීමට සුදුසු ඇඳුමක්, කය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආහාර වේල, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග සඳහා ඉඟුරු ,කොත්තමල්ලි, ටිකක් වැනි සීමිත අවශ්‍යතාවයන් තුළ ඔවුන්ගේ දිවිගමන ගලා ගියේ ය. මේ නිසා ඔවුන්ට අතීත, අනාගත සිතිවිලි ඔස්සේ මනස පීඩාවට ලක්කිරීමට තරම් අවශ්‍යතාවන් මතු නොවීය. වර්තමාන මොහොත තුළ සිත පවත්වා ගෙන යාමට ඔවුන්ට සිය රාජකාරිය උදව් කළේ ය.

එදා ගැමි සමාජය තුළ ජීවත්වූ ගැමි දරුවන් බොහෝ දෙනෙක් පාසල් අධ්‍යාපනයට ද යොමු වී සිටියහ.

“පමා නොවී එමි අකුරට මෙයින් මතු" ‘ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා” මෙම කවිපන්ති තුළින් කියැවෙන්නේ අප්‍රමාද ව අකුරු ඉගෙන ගැනීමට දරුවන් පෙළ ගැසුණ බවයි.

මෙම දරුවන් අතර පැවති ක්‍රීඩා දෙස අවධානය යොමු කිරීමේදී ‘සතිය’ වැඩෙන අපූරු ක්‍රීඩා විශේෂයක් ලෙස ක්‍රීඩා හැඳින්විය හැක. විශේෂයෙන්ම චාත්ති පැනීම, ජිල් ගැසීම, කොටු පැනීම, චක්ගුඩු ගැසීම, කොටුදැමීම ආදී ක්‍රීඩා පොළොව මත අඳින ලද කොටු විශේෂයක් ප්‍රයෝජනයට ගෙන සිදුකෙරේ. එම සීමා මායිම් ගැන හොඳින් ‘සිහිය’ පවත්වාගෙන ක්‍රීඩා කළ යුතු ය.

නෙරෙන්චි ඇදීම, පංචදැමීම, ගල් කෙටීම ආදි ක්‍රීඩා ද ඒ අතර විය. ගැමි දරු දැරියන් අතර මෙම ක්‍රීඩා ප්‍රසිද්ධියක් ඉසිලීය. මේ නිසා ම එම දරුවන්ගේ කායික, මානසික සෞඛ්‍ය තත්ත්වයේ පහළ වැටීමක් සිදු නොවී යැයි සිතිය හැක.

මේ නිසා ඉහත විස්තර කළ සංසිද්ධීන් තුළින් අපහට ලබා ගත හැකි බොහෝ දේ ඇත. වර්තමාන සමාජය ඇලීම් ගැටීම් තුළ දෝලනය වෙමින් සතුට සොයා ගෙන යන වේගවත් දිවීම නිසාම ඔවුන් සතුට අහිමි කරගෙන ඇත. සිහි නුවණින් තොරව කරන, කියන, සිතන මානසිකත්වය මෙයට හේතුව වී ඇත. තමන් කරන කියන දෙයින් තමන්ටත්, අනුන්ටත් දෙපාර්ශ්වයට ම යහපත් වේ නම්, එය කළ යුතු බවත් ඉන් අයහපතක් වේ නම් එය නොකළ යුතු බවත් බුදුපියාණන් වහන්සේ දේශනා කළහ.

ඒ නිසා අතීතයෙන් පාඩම් ගෙන වර්තමාන මොහොත පිළිබඳ අවධානශීලී ිව කටයුතු කරන සිල්වත්, ගුණවත් බෞද්ධ ශ්‍රාවකයකුට එලොව, මෙලොව දෙකෙහි ම සතුටු විය හැක.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]