[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුන්ගේ නිදහසට බාධා නොවන ලෙස

අනුන්ගේ නිදහසට බාධා නොවන ලෙස තමන්ගේ නිදහස අත්විඳින්න

දෙලොව දියුණුව අප කාගේත් පරම අභිලාෂය විය යුතු ය. වර්තමාන සමාජයේ දී මේ තත්ත්වය උදා කරන්නේ ඉතා අතළොස්සක් දෙනෙකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ දියුණුවීමේ මාර්ගය සහ පිරිහීමේ මාර්ගය මනාව තේරුම් නොගැනීමයි.

උපතිස්ස කෝලිත දෙපළ තරුණයන් ලෙස සරු නිසරු මාවත තේරම් ගත්හ. යස කුලපුත්‍රයා, යහළුවන් පනස් හතර දෙනා මෙන් ම භද්දවග්ගිය කුමාරවරු ජීවිතය තේරුම් ගත්හ. ඒ සඳහා මනා සිහි බුද්ධිය මෙන්ම විමසීම අත්‍යවශ්‍ය වේ. එළඹසිටි සිහිය නැති කෙනකුට කෙතරම් දේ ලැබුණත් එහිදී එය කළමනාකරණය කළ නොහැකිව අපහසුතාවට පත්වේ.

කුම්භඝෝෂක සිටුපුත් තමන්ට ලැබුණ අවස්ථාව බොහොම උපායශීලි ආකාරයෙන් තරණය කළ බව බෞද්ධ සාහිත්‍යයේ දක්වයි. ධම්මපදයේ උට්ඨානවතෝ සතිමතෝ’ යන ගාථාව බුදුරදුන් දේශනා කරන්නේ ඔහු අරභයා ය.

කුඩා වයසේ සිට දියුණුවේ මඟ දැන කියා ගැනීම වැදගත් ය.

බුදුරදුන් මහා මංගල, පරාභව, ව්‍යඝ්ඝපජ්ජ වැනි සූත්‍ර දේශනා තුළින් දියුණුව සහ පිරිහීම දේශනා කළහ. ජාතක පාලියෙහි එන අත්ථස්සද්වාර ජාතකය එයට තවත් උපදේශයක් සපයන අවස්ථාවකි. මෙම ජාතකයේ දී බුද්ධිමත් පුතකු තම පියාගෙන් විමසූ පැනයට ලබාදෙන පිළිතුර විස්තර කරනු ලබයි.

මෙහිදී දරුවා පියාගෙන් විමසන්නේ දියුණුවට හේතුවන කරුණු මොනවාද යන්නයි. එහිදී තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අභිවෘද්ධියට හේතුවන සම්පත් උපදවන්නට හේතුවන කාරණා 06 ක් ඇති බව ය. මෙම කාරණා එදා මෙන්ම අදටත් ළමා, තරුණ, වැඩිහිටි සැමට එකහා සමාන ව වැදගත් වේ. එම කරුණු මෙසේ ය.

නීරෝගි බව, සීලය, සංවර බව, වැඩිහිටි බසට ඇහුම් කන්දීම, බොහෝ ඇසූ පිරූ තැන් ඇතිබව, ධර්මානුකූල හැසිරීම හා කම්මැලි නොවීම ය.

දියුණුවට පත්වීමට නම් කායික මෙන්ම මානසික නීරෝගි බව තිබිය යුතු ය. ගිරිමානන්ද සූත්‍රයට අනුව කෙනකු රෝගි විය හැකි ආකාර 08ක් දේශනා කර ඇත. ඒ අතර වැරැදි කායික ක්‍රියා මෙන් ම අනෙකාගේ උපක්‍රමයන්ට හසුවීම සැලකිල්ලට ගත යුතු ය. එවැනි දෙයක් මත නීරෝගී බව අහිමි වුවහොත් ජයග්‍රහණයන්ට එය බාධාවකි.

රහමෙර, මත්ද්‍රව්‍ය, මත්පෙති වැනි දෑ නිසා බොහෝ තරුණ ජීවිත විනාශයට වැටීම දැකිය හැකි ය. ඒ මත ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය මෙන්ම මවුපියන්ගේ බලාපොරොත්තු බිඳ වැටේ.

ලෝකය විඳපු සියලු දෙනාම ලෝකය වින්දේ සිහියෙන් හා බුද්ධියෙනි. ඒ අරුතින් ලෝකය විඳීමේ අවස්ථාව ද ඔවුනට අහිමි වී යයි. මානසික සෞඛ්‍යය ද දියුණුවට අතිශයින් වැදගත් වේ. මිනිසා යනු මනසින් උසස්ම සත්ව කොට්ඨාශය යි. එවන් පිරිසකට මානසික ඒකාග්‍රතාව අවශ්‍යය. සියල්ල සැලසුම් වන්නේ තම හිත තුළ ය. මේ සඳහා ආනාපානසති වැනි සරල භාවනාවක් වැඩිය හැකි නම් එය ඉතා වැදගත් ය. මන්දයත් මානසික අභ්‍යාසය භාවනාව බැවිනි.

සංයමය, සංවර බව බොහෝ ජයග්‍රහණ අත්කර දෙයි. කායිකව සංවර වීම මත ඉවසීම වැනි ගුණාංග දියුණුූ වේ. දියුණුවක් ඇතිවීමට නම් හැදියාවක් තිබිය යුතු ය. පංචශීල ප්‍රතිපදාවෙන් යුක්තව කටයුතු කිරීම මෙහි මූලික අවශ්‍යතාවයි.

සමාජයක අමුතුවෙන් මානව හිමිකම් අයිතිවාසිකම් සඳහා මේ තත්වය මත නීති රීති පැනවිය යුතු නොවේ. සියලු දෙනා තුළම ස්වයං විනයක් ඇතිවිට සමස්ත සමාජය ම නිවීමට, සැනසීමට පත්වේ.

සමාජයෙහි දැනුම, අත්දැකීම්, ගුණ යහපත්කම්වලින් යුක්ත පිරිස වැඩිහිටියන් ය. වයසින් වැඩි වූ පමණින් වැඩිහිටි බවට පත් නොවේ. තපෝ වෘද්ධ, වයෝ වෘද්ධ, සීල වෘද්ධ, ගුණ වෘද්ධ අය අතර වයසින් වැඩිහිටි වුව ද ඇතමක් බාල ස්වභාවයන්ගෙන් යුක්තය. වයසින් අඩු වුවද යමෙක් වෘද්ධ ස්වභාවයෙන් යුක්ත නම්, ඔවුන්ගේ අවවාද ඉතා වැදගත් ය.

සැරියුත් හිමියන් තම ථේර ගාථාවේදී දක්වනුයේ පණ්ඩිතයන් වැරැදි පෙන්වා දෙන්නේ නිග්‍රහ කරමින් බවයි. එය නිධානයක් හා සමාන ව සිතිය යුතු බවයි.

අපි සියල්ලම දන්නවා යැයි නොසිතා ලබා දෙන අවවාද පිළිගැනීම ඉතා වැදගත් වේ. මාන්නාධික ව තමන් ගැන සිතා සියලු කටයුතු ඉතා නිවැරැදි යැයි සිතීම අද බාලකමකි.

රාහුල හිමියන්ගේ ශ්‍රේෂ්ඨම ගුණය වූයේ අවවාද අනුශාසනා ලබා ගැනීමට කැමැත්තයි. එසේම සැරියුත් හිමියන්ගේ සිවුර බිම ඇතිල්ලෙද්දී එය පෙන්වා දීමෙන් අනතුරුව ඉතාම ගෞරවයෙන් යුතුව සිවුරුපොට හදා ගැනීමට කටයුතු කළහ. බාල, ළමා, තරුණ ඕනෑම කෙනකුට අවවාදය එතරම් ම වැදගත් වේ. එය දියුණුවට මහත් රුකුලකි.

බොහෝ ඇසූපිරූ තැන් ඇති බව හෙවත් බහුශ්‍රැත බව මිනිසාට ආභරණයකි. ඇසූපිරූ යන්නෙන් අදහස් කරනුයේ සියල්ල දන්නා බව නොවේ. අහන ලද දෑ පූරණය කිරීමයි.

දන්නේ. ටිකක් මුත් එය ප්‍රායෝගිකව පුරුදු කිරීම අවශ්‍යයි. ජීවත් වීමේ දී යම් ශාස්ත්‍රයක් වෘත්තිය පුහුණුවක් අවශ්‍ය වේ. එය ධර්මයෙහි අංගසම නිධාන ලෙස හැඳින්වේ.

මූලික දෛනික කටයුතු සිදුකිරීමේ සක්‍යතාව සියල්ලන් සතු වීම වැදගත් වේ. එසේ නොවන තැනදී හැමවිටම අනුන් මත ම යැපීමට සිදුවේ. එය තම පෞරුෂයට, ආත්මගෞරවයට හානියකි. විශේෂයෙන් තරුණ ජවය හෑල්ලුවට ලක්නොවන ආකාරයට දැනුමෙන් ආකල්පවලින් පෝෂණය වීම ඉතා වැදගත් ය.

සමිද්ධි සූත්‍රයේ දී තරුණ භික්ෂුවක් ලෙස සමිද්ධි හිමියන්ගේ හැසිරීම වර්තමාන තරුණ ප්‍රජාවට මහත් ආදර්ශයකි.

කරන කියන සෑම දෙයක් ම ධර්මයට, මෙලොවට, පරලොවට වැඩදායක විය යුතු ම ය. මන්දයත් ධර්මයෙන් ජීවත්වන පිරිස් ධර්මය විසින් ම ආරක්ෂා කරනු ලැබේ. ආදිපත්‍ය සූත්‍රය තුළ දී සඳහන් කරනුයේ කරන සෑම කටයුත්තක් ම ධර්මයට, තමාට ලෝක ධර්මතාවන්ට අනුව කෙතරම් නිවැරැදි ද යන්න සලකා බැලිය යුතු බව ය.

මට ඕන විදියට, අපට ඕන විදියට ජීවත්වනවා යැයි කිසිවකුට කිව නොහැකි ය. තමාගේ නිදහස භුක්ති විඳිය යුත්තේ අනෙකාගේ නිදහසට බාධා නොවන ලෙස ය. “ධම්ම” යන වචනයට අනුගතව සියල්ලෝ ම තම ජීවිත සකසා ගන්නේ නම් එය දියුණුවේ දොරටුවකි.

කම්මැළි නොවී, උද්යෝගයෙන් යුතුව කටයුතු සිදුකිරීම දියුණුවේ දොරටුවකි. මහන්සි විය යුතු කාලයෙහි හාන්සි වීම හාන්සි විය යුතු කාලයේ මහන්සි වීමට හේතුවකි. වීර්යය උත්සාහය ඉතා වැදගත් ය. ලෝකය දිනූ සියල්ලෝ ම උත්සාහයෙන් ධෛර්යයෙන් කටයුතු කළ පිරිස් ය.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]