[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත යහපතට පුහුණු කරන්න නරකට හැරුණොත් විපාක බරපතළයි

සිත යහපතට පුහුණු කරන්න නරකට හැරුණොත් විපාක බරපතළයි

සැවැත් නුවර අනේපිඬු මහ සිටුතුමාට ගව සමූහයක් විය. ඒ සතුන් රැකබලා ගන්නට ගොපල්ලන් ද කිහිප දෙනෙක් වූහ. ඒ අතර නන්ද නම් ගොපල්ලෙක් විය. ගොපල්ලෙක් වූව ද ඔහු මහත් ධනය ඇත්තෙකි. එහෙත් ඔහු ධන බලය නිසා කිසිදු අවස්ථාවක උඩඟු වූයේ නැත. ඉතා සරල දිවිපෙවෙතක් ගත කළේ ය.

අනේපිඬු මහ සිටුතුමා ළඟ සේවයට පැමිණි මුල් කාලයේ සිට ම තමන් විසින් සිදු කරගෙන ආ සේවය නන්ද කිසි දවසක මදකුදු අඩු නො කළේ ය. එසේ හෙයින් ම අනේපිඬු මහ සිටුතුමාගේ කුලුණු සිත නන්ද කෙරෙහි නිබඳව ම වැඩුණේ ය.

පිළියෙළ වූ පිරිසුදු පස්ගෝ රස නිතර ගෙනැවිත් පිළිගන්වා අනේපිඬු මහ සිටුතුමාගෙන් සමුගන්නා නන්ද දෙව්රම් වෙහෙරට පැමිණීමට ද කිසි දිනෙක අමතක නො කළේ ය. තුණුරුවන් කෙරෙහි බැඳුණු පහන් සිත දිනෙන් දින බලවත් වන්නට විය.

නන්ද බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ තම නිවසට වැඩමවා දන් පිළිගැන්වීමට සිත් ඇතිවිය. එසේ කළ ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ නන්දගේ නිවසට වැඩි සේක. නන්ද බුදුරජාණන් වහන්සේ හා මහා සංඝයා වහන්සේ වඩින මඟ අලංකාරව සරසා පෙර ගමන් කොට පුද පූජා පවත්වන්නට විය.

මේ පින්කම දුටු දුටු අයගේ නෙත් සිත් පිනවන ලෙසින් සැරසිලි සිදු කළේ ය. සිය නිවසෙහි සත් දිනක් මුළුල්ලේ වැඩ විසීම සඳහා විසිතුරු ලෙසින් වෙන් වෙන් වශයෙන් මනහර සෙනසුන් පිළියෙළ කොට පිළිගැන්වීය.

සත් දිනම ඉතා පිරිසුදු පස්ගෝ රසයෙන් යුතු පිවිතුරු මහ දන් උන්වහන්සේලාට පිළිගැන්වීය. මේ ආකාරයෙන් පවත්වන ලද මහ දන් පිළිගැන්වීමේ කටයුතු අවසන් දින එනම් සත් වැනි දින අනුමෙවෙනි බණ ඇසූ නන්ද ගොපොලු සෝවාන් විය.

බුදුරජාණන් වහන්සේ දනට වැඩිය මහා සංඝයා වහන්සේ සමඟ විහාරයට වැඩිසේක. නන්ද ද පසු ගමන් සඳහා පසුපස බොහෝ දුර ගියේ ය.

“නන්දයෙනි නවතින්න‘යි වදාළහ. එම බස් අසා බුදුරජාණන් වහන්සේට වැඳ අවසර ගෙන සිය නිවස කරා යෑමට ආපසු හැරුණි. එසේ මඟ ගමන් කරන විට එක් වැද්දකුගේ ඊ පහරක් වැඳී නන්ද ගොපලුගේ මරණය සිදුවිය.

ඒ දුටු ගොපලු වහන්දෑ

“බුදුරදුන් මෙහි නො වැඩියා නම් නන්දගේ මරණය සිදු නොවනු ඇතැ'යි කීය. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ නන්දට නො මැරී සිටීමට උපායක් නැතැයි දෙසූ සේක.

දිසො දිසං යං තං කයිරා වෙරී වා පන වෙරිනං මිච්ඡා පණිහිතං විත්තං පාපියො නං තතො කරෙ සොර සතුරන් විසින් කරනු ලබන විපතකට වඩා වරදෙහි යෙදූ සිත බලවත් නපුරක් කරන්නේ ය. පෙර ආත්මයක “වරදවා පිහිටුවා ගත් සිත නිසා ම සිදුවූවෙකි. තමන් අවැඩට, නපුරට පමුණුවන්නේ ඒ වැරැදි සිත ය.

“මා මෙහි පැමිණි හෙයින් නන්ද නිවන් මඟ හෙළිකොට නියත ගති ඇතිව කලුරිය කළ බව ද බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ “කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා සේ ඉතාම කලාතුරකිනි. ඒ තරම් දුර්ලභ වූ අවස්ථාවකයි අප ඉපදී සිටින්නේ. ඒ වගේ ම ඒ මනුෂ්‍ය ආත්මයෙහි කෙතරම් කුසල් රැස්වෙන පින්කම් හි යෙදෙන්නට ද හැකි ය. ඒ ආකාරයෙන් කුසල් රැස් කළත්, කුමන ආකාරයෙන් ධර්මයේ හැසිරුණත් පෙර අත්භවයෙහි කළ කී දේ අප පසුපස පැමිණෙන බව ද ධර්මයට අනුව අපි දනිමු.

නන්ද ගොපලුට මෙන් අපට ද නොසිතූ මොහොතක අපගේ පෙර අත්භවයෙහි කළ කී දේ විපාක පැමිණිය හැකි ය. එය මේ ආකාර යැයි ද, මේ කාල වකවානුවේ යැයි ද පැවසිය නොහැකි ය.

මේ නිසා අප අපගේ සිත පිළිබඳ මනා වූ තේරුම් ගැනීමකින් යුතුව කටයුතු කළ යුතු ය. ඊට හේතුව අපගේ මේ සිත ම යි අප නපුරට, වරදට පමුණුවන්නේ.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]