[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අයිතිවාසිකම් දිනාගන්නට පෙර යුතුකම් ඉටුකරන්න

අයිතිවාසිකම් දිනාගන්නට පෙර යුතුකම් ඉටුකරන්න

ලංකාවේ වර්තමාන ජන ජීවිතය විවිධ දුෂ්කරතාවලින් පිරී තිබෙන බව පැහැදිලි ය. මූලික අවශ්‍යතා සපයා ගැනීමෙහි දී සැම කෙනකුට ම අඩුවැඩි වශයෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. එම දුෂ්කරතා සියල්ල අටලෝ දහමට යටත් වන අතර, ජන ජීවිතය ගෙවෙන්නේ අටලෝ දහමට අනුකූලව ය.

කිසිවකුටත් එයින් පලා යා නොහැකි ය. දුක සැප, යස අයස, නින්දා ප්‍රශංසා, ලාභ අලාභ යන අටලෝ දහමට අඩු වැඩි වශයෙන් මුහුණ දීමට සිදුව තිබේ. එසේම පුද්ගල ජීවිතය ඇතුළතින් ද (අන්තෝජටා), පිටතින් ද (බහිජටා) අවුලට පත්ව තිබේ. විවිධ අභ්‍යන්තර හා බාහිර ගැටවලින් ගැටගැසී ඇති ජීවිතය ලිහා ගන්නේ කෙසේ ද?

මේ පසුබිම තුළ සිත ගත දෙකම සුවපත්ව පවත්වා ගන්නේ කෙසේ ද? යන්න දහම ඇසුරෙන් විමසා බැලීම වැදගත් වේ. මෙම ලිපියේ අරමුණ බුදුරදුන් වදාළ ධර්මය ඇසුරෙන් වර්තමාන අභියෝග තේරුම් ගැනීම හා ඒවාට සංයමයකින් යුතුව මුහුණ දෙන්නේ කෙසේ ද යන්න පැහැදිලි කිරීමයි.

බුදුරදුන් වදාළේ ලෝකය දුක මත පිහිටා තිබෙන බවයි (දුක්ඛේ ලොකො පතිට්ඨිතො). දුක්ඛ සත්‍ය යටතේ ඉගැන්වූ සියලුම කරුණු ජීවිතය හා බැඳී පවතින සනාතනික දෑ වේ. එබැවින් පුද්ගලයාට නිතර අත්දකින්න ලැබෙන්නේ දුක්ඛදායක අත්දැකීම් ය.

පුද්ගලයා දුක පිළිකුල් කරන අතර, සැප කැමැති වෙයි (සුඛ කාමා දුක්ඛ පටික්කූලා). එබැවින් සැම මොහොතකම සැප සොයමින් වෙහෙසට පත්වේ. මෙය සියලු ජීවීන්ට පොදු වූ ධර්මතාවකි.

ආර්ථිකය හා සම්බන්ධ දුක්ඛදායක අත්දැකීම් දීර්ඝ කාලීන හේතු බහුත්වයක ප්‍රතිඵලයකි. මෙම දුක්ඛ දායක අත්දැකීම් කිසියම් එක් පුද්ගලයකුට සීමා වූවක් නොවේ. එම දුක සියලු දෙනාටම පොදු වූ අත්දැකීමකි. ඒ අනුව එයට විසඳුම් සෙවිය යුත්තේ ද පොදු පිළිවෙතකට අනුව ය.

සාමූහිකව ඒ සඳහා සියලු දෙනාගේ ම කැපවීම, උනන්දුව හා සහභාගිත්වය අවශ්‍ය වේ. එබැවින් මේ මොහොතේ දී ආර්ථිකය හා සම්බන්ධ දුක්ඛදායක අත්දැකීමෙහි සුල මුල මැනවින් අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ. මෙම අවබෝධය දේශපාලන නායකයන්ට පමණක් නොව සමස්ත සමාජයට ම අවශ්‍ය වේ. ආර්ථිකය හා සම්බන්ධ අර්බුදයේ පසුබිම හේතුඵල දහමට අනුව අවබෝධ කර ගැනීම එය විසඳීමේ ආරම්භක පියවර වේ.

අර්බුදයක හෝ සිද්ධියක පවතින හේතුඵල සම්බන්ධය දැනීම සම්‍යග් දෘෂ්ටිය ඇතිකර ගැනීම වේ. වරද, වරදක් සේ ම නිවැරැදි දේ නිවැරැදි සේ දැකීම සම්‍යග් දෘෂ්ටියේ ලක්ෂණයකි.

වර්තමානයේ පවතින ආර්ථිකය හා සම්බන්ධ අර්බුදය නිසා ඇතිවී තිබෙන දුක්ඛදායක තත්ත්වයට කෙටි කාලීන හා දිගුකාලීන විසදුම් අවශ්‍ය වේ. එයිනුත් අර්බුදය උග්‍රව ඇති මොහොතක කඩිනම් විසඳුම සෙවීම වැදගත් වේ.

බුදුරදුන් වරෙක මාලුංක්‍යපුත්ත තෙරුන් අරබයා වදාළ පරිදි ඊතලයකින් පහර කෑමෙන් අසාධ්‍ය තත්වයට පත් වූ තැනැත්තකුට පිළියම් කිරීමේ දී ප්‍රමුඛතාව ලබා දිය යුත්තේ තුවාල සුවපත් කිරීමට මිස ඊතලය පිළිබඳ වගතුග සෙවීමට නොවේ.

තුවාලය සුවපත් කිරීම පසෙක තබා ඊතලය ගැන සෙවීම අනුවණ කාර්යයකි. ඒ හා සමානව ආර්ථිකය හා සම්බන්ධ අර්බුදයේ වගකිව යුත්තන් සොයා වෙහෙසෙනු වෙනුවට ඒ නිසා ඇති වී තිබෙන වර්තමාන දුක්ඛදායක තත්ත්වය සමනය කිරීම සඳහා කඩිනම් පිළියම් යෙදිය යුතු වේ.

නොයෙක් තර්ක විතර්ක හා න්‍යායන් ගෙනහැර දක්වමින් ඔවුනොවුන් හා වාද කිරීම වෙනුවට සාමූහිකව පිළියම් යෙදීම කළ යුතු ප්‍රමුඛ කාර්යය වේ. මෙය වර්තමාන ආර්ථික අර්බුදය නිසා ඇති වී තිබෙන දුක්ඛදායක තත්ත්වය යම් පමණකට හෝ සමනය කිරීමට අනුගමනය කළ හැකි දෙවැනි පියවර වේ.

අප්‍රමාදය පිළිබඳ බුද්ධානුශාසනයෙන් ද කියැවෙන්නේ එම වගකීමයි. එසේම සාමූහිකව අභියෝගවලට මුහුණදීම පිළිබඳ කදිම ආදර්ශයක් වට්ටක ජාතකයෙන් අනාවරණය වේ.

බුදුදහම හේතුඵල දහම මූලික ඉගැන්වීම කර ගත් ආගමික හා දාර්ශනික චින්තනයකි. සමාජ අර්බුද ඇතිවන ආකාරය මෙන්ම ඒවා නිරාකරණය කර ගන්නා ආකාරය ද බුදුරජාණන් වහන්සේ හේතුඵල න්‍යායට අනුව පැහැදිලි කළ සේක. දීඝ නිකායේ චක්කවත්තිසීහනාද සූත්‍රයේ දැක්වෙන පරිදි වැරැදි ආර්ථික ප්‍රතිපත්ති නිසා දිළිඳුකම වැඩි ගොස් සමාජ අර්බුද නිර්මාණය වන අයුරු පියවරෙන් පියවර පැහැදිලි කර තිබේ.

වර්තමානයේ ආර්ථිකය පසුබිම් කරගෙන නිර්මාණය වී ඇති සියලු අර්බුද චක්කවත්තිසීහනාද සූත්‍රයේ එන විවරණයට බෙහෙවින් සමාන වේ. රටක ආර්ථික සමෘද්ධිය ගොඩනැඟීමේ දී ක්‍රියාවට නැංවිය යුතු නිවැරැදි පිළිවෙත කූටදන්ත සූත්‍රයේ ඇතුළත් ව තිබේ. රාජ්‍ය ආර්ථිකය කෙසේ විය යුතු ද යන්න එහි මැනවින් පැහැදිලි කොට ඇත.

අර්බුදවලට විසඳුම් සෙවීමේ දී ආත්මදමනය මෙන් ම සංයමය ද අවශ්‍ය වේ. අර්බුදය පිළිබඳ නිසි පරිදි වැටහීමක් නැති පුද්ගලයා ඒවාට ප්‍රතිචාර දක්වන්නේ ප්‍රචණ්ඩත්වය පදනම් කර ගෙන ය. අටලෝ දහමින් ප්‍රකම්පිත නොවන බුද්ධිමත් පුද්ගලයා දුරදක්නා නුවණින් යුතුව, හිංසනයෙන් තොරව ස්වකීය ගැටලුවලට විසඳුම් සපයා ගනී. ධම්මපදයේ දැක්වෙන පරිදි විමසා බලා කටයුතු කරන (නිසම්මකාරිනො) පුද්ගලයාගේ දියුණුව සැලසේ.

විමසා බලා වැඩ කිරීම මෙම අර්බුද සමයේ බෙහෙවින් වැදගත් වේ.

මිනිසා බුද්ධියෙන් මෙන්ම චින්තනමය හැකියාවෙන් සෙසු ජීවීන් අබිභවා සිටී. පවතින පරිසරයට සාපේක්‍ෂ ව වෙනස් වීමේ හැකියාව තිබෙන්නේ මිනිසාට පමණි.

වේරඤ්ජාවේ වස් විසූ බුදුරදුන් ඇතුළු ශ්‍රාවක පිරිසට තෙමසක කාලයක් යව වැළඳීමට සිදු විය. එහෙත් උන්වහන්සේ එයින් ප්‍රකම්පිත නොවූහ. බුදුරදුන්ට තරම් තාදි ගුණයක් සාමාන්‍ය පුද්ගලයාට නොමැති වුවත් අදහස් ප්‍රකාශ කිරීමේ දී මෙන් ම, යම් යම් දෑ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේ දී ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍ය වේ.

තමාට මෙන්ම අන්‍යයන්ට ද හානි නොවන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සැම අයකුටම තිබේ. එහෙත් තම චිත්තවේග කළමනාකරණය කර ගැනීමේ අවබෝධය හා ආත්ම දමනය නොමැති පුද්ගලයා ඒ සියල්ල ද්වේෂයෙන් යුක්තව ප්‍රචණ්ඩ ආකාරයට ප්‍රකාශයට පත්කිරීම නිසා එක් අතකින් තම ආත්ම ගරුත්වයට හානි කර ගන්නා අතර, අනික් අතින් බරපතළ ආකාරයේ අර්බුදවලට මුහුණ දෙයි.

සබ්බාසව සූත්‍රයෙහි දැක්වෙන පරිදි ඇතැම් දුක්ඛදායක අත්දැකීම් දැඩි උත්සාහයකින් යුතුව ඉවසා දරා ගත යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ අනුව සීතල, උණුසුම, බඩගින්න, මැසි මදුරු, අව් වැසි ආදිය මෙන් ම ඇතැම් විට අසන්නට ලැබෙන නපුරු වදන් ආදිය ඉවසා දරා ගැනීමට සිදුවේ.

බුදුරදුන් මෙයින් පැහැදිලි කොට වදාළේ සියල්ල පුද්ගලයා හිතන පතන ආකාරයට සිදු නොවන හෙයින් ඇතැම් දෑ සම්බන්ධයෙන් ඉවසීම වැදගත් බවයි.

බුදුරදුන්ගේ ධර්මය හිංසනයෙන් තොර දහමකි. හිංසනයට අනුබල දෙන කිසිදු ඉගැන්වීමක් එහි අන්තර්ගත නොවේ. එබැවින් හිංසනය පදනම් කර ගෙන අයිතිවාසිකම් දිනා ගැනීමේ පිළිවෙතක් බුදුසමයෙන් අනුමත නොවේ. ඒ වෙනුවට සමඟියෙන් රැස්වී කෙරෙන සාකච්ඡාවකින් විසඳුම් ලබා ගැනීමේ ක්‍රමවේදයක් යෝජනා කර ඇති බව සප්ත අපරිහානී ධර්ම මඟින් පැහැදිලි වේ.

බුදුරදුන්ගේ දහමෙහි අවධාරණය කෙරෙන්නේ යුතුකම් මැනවින් ඉටුකිරීම මිස අයිතිවාසිකම් දිනා ගැනීමේ පිළිවෙතක් නොවේ. මෙය සිඟාලෝවාද සූත්‍රයේ ඇතුළත් දර්ශනයයි.

එබැවින් වර්තමාන ලාංකික ජනයා මුහුණ දෙන ආර්ථිකය හා බැඳුණු ගැටලුවල හේතුඵල සම්බන්ධය මැනවින් වටහා ගෙන එවැනි අඳුරු යුගයක් නැවැත ඇති නොවන සේ පාලක පාලිත දෙපක්‍ෂය ම ඔවුනොවුන් හා බැඳී සිටින යුතුකම් හා වගකීම් මැනවින් ඉටුකිරීමෙහිලා ප්‍රයත්න දැරීම මෙම අර්බුදයෙන් මිදීම සඳහා අනුගමනය කළ හැකි නිවැරැදි පිළිවෙත වේ. ඒ වෙනුවට හිංසාව, ප්‍රචණ්ඩත්වය හෝ ආවේගශීලීව ක්‍රියා කිරීමෙන් සිදුවන්නේ අර්බුද විස¼දීම වෙනුවට තවදුරටත් ඒවා වර්ධනය වීම පමණි.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]