[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැනුමේ තිමිර පටල ඉරාදමන බුද්ධියේ හිරු කිරණ හඳුනා ගනිමු

දැනුමේ තිමිර පටල ඉරාදමන බුද්ධියේ හිරු කිරණ හඳුනා ගනිමු

ඉගෙනුම ලබන ශිෂ්‍යයකු, දැනුම බෙදන ආචාර්යවරයකු හෝ පොතපත කියවන වෙනත් කෙනකුට ලැබෙන ප්‍රතිලාභ දෙකක් නම් දැනුම හා බුද්ධියයි. දැනුම හැඳීන්වීමට ඤාණය හෝ ඥානය යන වචන ද සමානාර්ථයෙන් භාවිත වේ. පොතපත මඟින් හෝ, ගුරු ඇසුරකින් හෝ අපගේ මොළයට ලබා ගන්නා දේ ඥානය හෝ දැනුම ලෙස තේරුම් ගැනීම සුදුසු ය. බුද්ධිය ඊට වඩා පළල් අරුතක් ඇති වචනයකි.

සමහරවිට දැනුම ඇති කෙනකු බුද්ධියෙන් අඩු කෙනකු විය හැකි ය. එසේම බොහෝ බලගතු බුද්ධියක් ඇති කෙනකු පොත පතින් හෝ අධ්‍යාපන ආයතන මඟින් ලබා ගත් දැනුම අඩු කෙනකු විය හැකි ය. එහෙයින් උගතකු වූ තරමින් කිසිවිටෙකත් උඩඟු නොවිය යුතු ය. බුද්ධිමතකු වූ තරමින් උගත්කමට නිග්‍රහ කිරීමට ඉක්මන් නොවිය යුතු ය. කුමක් නිසාද යත් මෙම ගුණාංග දෙකේ ම එකතුවෙන් පමණක් ලෝකයට ඵලදායක මිනිසකු බිහිවන හෙයිනි.

ලෝක යාන්ත්‍රණයට අවශ්‍ය දේ නිෂ්පාදනය කිරීමට ඥානය හෙවත් දැනුම අවශ්‍ය ය.

නිදසුනක් ලෙස විදුලි කාර්මිකයකුට තම දැනුම යොදා විදුලියෙන් ක්‍රියා කරන යන්ත්‍රයක් නිපදවිය හැකි ය. එහෙත් එය ක්‍රියාකරවන්නට දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. එය පරිහරණය කිරීමේ දී බුද්ධිය ද අවශ්‍ය ය. නො එසේනම් හානියක් සිදුවිය හැකි ය.

ව්‍යවහාර ලෝකයේ සියලුම භාවිතයන් එසේ ය. බුද්ධිය යන්න පෙරදිග තර්ක ශාස්ත්‍රයෙහි විවරණය කොට ඇත්තේ සර්ව ව්‍යවහාර හේතුර්ඥානං බුද්ධිඞ යනුවෙනි.

එහි සාමාන්‍ය අදහස නම් ලෝකයේ සියලු ගනුදෙනු සිදු කිරීමට ඉවහල් වන දැනුම බුද්ධිය නම් වේ යන්නයි. මෙයින් පැහැදිලි වන්නේ දැනුම බුද්ධියේ එක කොටසක් පමණක් වන බවයි. ඒ නිසා විභාගාදිය සමත්වීමෙන් හෝ උපාධියක් ලබා ගත් පමණින්, කවර විෂයයක් පිළිබඳ ව වුව ද යම්කිසි දැනුම් සම්භාරයක් ලබා ගත් පමණින් තමන් සියල්ල දන්නෙක් ය යන උඩඟු සිතිවිල්ලට පැමිණීම මුළාවකි. වෙනත් විධියකින් කිවහොත් එය මෝඩයකුගේ ලක්ෂණයකි.

බෞද්ධ ක්‍රමවේදයට අනුව දැනුම ලබා ගැනීම සඳහා සාම්ප්‍රදායිකව අනුගමනය කළ ක්‍රමවේදයක් බුද්ධ දේශනාවල සඳහන්වී ඇත. යම් ශාස්ත්‍රයක් පිළිබඳ ප්‍රාමාණික ඥාන සම්භාරයක් ලබා ගත හැකි ගුරුවරයකු, ශ්‍රමණ බ්‍රාහ්මණයකු හෝ ආයතනයක් වෙත විශ්වාසවන්ත ලෙස එළඹීම මුලින්ම සිදුකළ යුතු ය. (සද්ධාජාතො උපසංකමති).

එසේ ගිය තැනැත්තා විසින් එම ඉගැන්වීමට මනාව ඇහුම්කන් දිය යුතු ය. (ධම්මං සුණාති). අසන ලද දේ මනාව ධාරණය කළ යුතු ය. වෙනත් විධියකින් කිවහොත් මතකයෙහි තබා ගත යුතු ය. (සුත්වා ධාරෙති). ඉන්පසුව මතකයෙහි තබා ගත් කරුණුවල සැබෑ අරුත ඉඩ ලැබෙන හැම අවස්ථාවක දී ම විමසා බැලිය යුතු ය. ඉගෙන ගන්නා ලද කරුණු එලෙසින් ම පිළිගැනීම නොව එහි ලෞකික අලෞකික, ආචාර විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක ආදී සෑම දෘෂ්ටිකෝණයකින් ම නැවත නැවතත් පරීක්ෂා කොට බැලිය යුතු ය.

(ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛති). එසේ විමසා බලන්නාට ධර්මයෝ හෙවත් කාරණාවෝ මනාව වැටහෙත්. (උපපරික්ඛතො ධම්මා නිජ්ඣානං ඛමන්ති). මෙය ඥානය ලබා ගැනීමට අනුගමනය කළ පෞරාණික ක්‍රමයකි.

වර්තමානයෙහි වුව ද මෙම ක්‍රමයෙහි වෙනසක් නැත. වර්තමානය හා සැසඳීමේ දී නූතන තාක්ෂණික මෙවලම් හා ගනුදෙනුව වෙනසක් දක්වයි. නූතන අධ්‍යාපන ක්‍රමවේදයේ දී මතකයේ තබාගැනීම එතරම් අවශ්‍ය කරුණක් ලෙස අවධාරණය නො කරයි. කුමක් නිසාද යත් දත්ත ඒකරාශී කර තබා ගැනීමේ උපකරණ රාශියක් පවතින හෙයිනි. එහෙත් බෞද්ධ ක්‍රමයට අනුව මතක ශක්තිය දියුණු කර ගැනීම නිර්වාණාධිගමය දක්වා උපකාර වන්නකි.

මතකය දියුණු කොට ගැඹුරු විශ්ලේෂණාත්මක ඥානයක් ලබා ගැනීම විදර්ශනා ප්‍රඥාව ලෙස ද හැඳීන්විය හැකි ය. එය කළ හැක්කේ බුද්ධියෙනි. මෙහි අප සඳහන් කරන ප්‍රඥාව ඉහත කී දැනුමේ ප්‍රායෝගික භාවිතයයි.

නිදසුනක් ලෙස අසුභ භාවනාව කරන යෝගාවචරයකුට කය සෑදී ඇති කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිඳුළු ආදී දෙතිස් කුණප පිළිබඳ දැනුම මතක ශක්තියේ රඳවා තබා ගත හැකි නම්, ඒවායින් එකිනෙක ගෙන බුද්ධියෙන් සම්මර්ශනය කොට ඒවායෙහි අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ලක්ෂණය මෙනෙහි කළ හැකි ය. එසේ නොමැති වූ කල්හි තම කාර්යය අසාර්ථක වේ.

එහෙයින් බෞද්ධ ග්‍රන්ථවල පෙන්වා දී ඇති ඥානෝපාය මාර්ගවලට නව්‍ය ක්‍රම ආදේශ කිරීමේ දී ප්‍රවේශම් විය යුතු ය.

දැනුම ලබා ගැනීමේ ක්‍රමවේද පිරික්සීමේ දී වර්තමාන පාසල් සිසුවකුට පවා උපකාරී වන ක්‍රමයක් අටුවා ඇදුරන් පෙන්වා දී ඇත.

' සුචිපුලිභා මුත්තො කථං පණ්ඩිතො භවෙය්‍ය'

යනුවෙන් කෙටි ප්‍රකාශයක් අටුවාවල දක්නට ලැබේ. මෙයින් අදහස් වන්නේ

සු - චි - පු - ලි - භා යන අක්ෂරවලින් කියැවෙන අදහසින් තොරව කෙනකුට උගතකු විය නොහැකි බවයි. මෙහි සු (සුනාති) යන්නෙන් ඇසීම හෙවත් සවන්දීම අදහස් වේ. ඒ අනුව පළමුව ආචාර්යවරයාගේ දේශනයට මනාව සවන්දිය යුතු ය.

දෙවන චි (චින්තෙති) යන්නෙන් අදහස් වන්නේ සිතීමයි. ඇසූ දේ එක්වරම ලියා තබා ගැනීමට පෙළඹීමට වඩා ශිෂ්‍යයාට එම කරුණ පිළිබඳ සිතීමට ඉඩ සලසා දිය යුතු ය.

තෙවනුව දැක්වූ පු (පුච්ඡති) යන්නෙන් ඇසූ කාරණය පිළබඳ ප්‍රශ්න කිරීමට අවස්ථාව සලසා දීම අදහස් කෙරේ. එම නිසා දැනුම ලබා ගැනීමේ තෙවන පියවර ලෙස ප්‍රශ්න කිරීමෙන් ගැටලුවෙන් නිදහස් වීම සිදුකළ යුතු ය.

සිවුවනුව එලෙසින් පිරිසුදු වූ දැනුම ලියා තබා ගැනීමට අවස්ථාව දීම ලි (ලිඛති) යන්නෙන් අදහස් කෙරේ.

අවසානයේ භා (භාසති) යන්නෙන් ප්‍රකාශ කිරීම හෙවත් උගත් දේ පිළිබඳ ශිෂ්‍යයාගේ අවබෝධය සමාජගත කිරීමට අවස්ථාව සලසා දෙයි.

මෙම ලිපියේ ඉතිරි කොටස බිනර අව අටවක පෝදා (17) අන්තර්ජාල කලාපයේ පළවේ.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]