[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සම්බුදු සසුන ඒකාලෝක කළ වප් පුන් පොහොය

වසරේ මාස දොළොස හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු ලැබේ. එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂුන් වහන්සේ වස් වසා වැඩ සිටින කාලය යි. එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේ වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දී ය. භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, එක්ව වස් වැසු සබ්‍රහ්මචාරීන් වහන්සේ ඉදිරියේ පවාරණය සිදු කරනු ලබන්නේ මෙලෙස පවසමිනි. “සංඝං භන්තේ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා, වදන්තු මං ආයස්මන්තෝ, පස්සන්තෝ පටිකරිස්සාමි. ස්වාමීනී, සංඝයා වහන්සේට පවරමි. වස් වසා වැඩසිටි කාලය තුළ මාගේ වරදක් දැක්කා නම්, අසන්නට ලැබුණා නම්, සැකයක් ඉපදුණා නම් එය මට පවසන්න. මා අතින් එම වරද සිදු වූ බව දන්නේ නම් එය නිවැරැදි කර ගනිමි.” යනු එහි තේරුමයි. සම්බුදු සසුනක පමණක් දක්නට ලැබෙන එම උත්තම ආයති සංවරය තුළ පිහිටමින් මහා පවාරණය සිදුකරන භික්ෂුන් උදෙසා ඊළඟ චීවර මාසය තුළ සැදැහැවත් උපාසක උපාසිකාවෝ කඨින චීවර පූජා කර උතුම් පුණ්‍ය ධර්මයන් රැස් කර ගනිති. පැවිදි උතුමන් වහන්සේ සිය ශාසනික ජීවිතය පිළිවෙතින් සරු කර ගන්නා වූ ද ගිහි පින්වතුන් බොහෝ පින් රැස් කර ගන්නා වූ ද පින්බර වස්සාන සමය නිමාවට පත්ව මහා පවාරණය සිදුකරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දී ය. භාග්‍යවතුන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක සැවැත් නුවර ගණ්ඩබ්බ රුක්ඛ මූලයේ දී තීර්ථකයන්ගේ මානය මර්දනය කරනු පිණිස, යමක මහා ප්‍රාතිහාර්යය දක්වා සත්වෙනි වස් කාලය ගත කරනු පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළ සේක. සක්දෙව් රජුන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනයෙහි වස් වැස මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙව් පිරිසට අභිධර්මය දෙසූ සේක. දේශනා කෙළවර අසූ කෙළක් දෙවියෝ නිවන් අවබෝධ කළහ. මාතෘ දිව්‍ය රාජයා ද සෝවාන් විය. වප් පුර පසළොස්වක පොහෝ දිනය එළැඹියේ ය. පුරා තුන් මසක් මුළුල්ලෙහි තව්තිසාවෙහි වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කොට දිව්‍ය බ්‍රහ්ම මහා හරසර මැදින් තව්තිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස පුරයට මහ පෙළහර පාමින් වැඩි සේක. සම්බුද්ධ ශරීරයෙන් සවණක් ගණ බුද්ධ රශ්මි මාලා විහිදුවමින් දෙව් බඹුන් පිරිවරා අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස පුරයට වැඩි ඒ අසිරිමත් සම්බුදු මහිමය සිදුවූයේ වප් පුන් පොහෝ දිනයක දී ය.


වප් පුර පසළොස්වක

ඔක්තෝබර් 06 සඳුදා අ.භා 12.22 පුර පසළොස්වක ලබා 07 අඟහරුවාදා පූ.භා. 09.17න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]