බෝධිරාජ කුමරියගේ
බෝධි වන්දනාව
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අතීතයේ ලංකාවේ ‘අකුරැලිය‘ කියලා ගමක් තිබුණා රුහුණු රටේ. ගම්මු මේ ගමට ‘හකුරෙළිය“
කියලත් කිව්වා. මේ ගමේ ජීවත් වුණා රාජවංශයේ පවුලක්. ඒ අයට ඉපදුණා පුංචි
කුමාරිකාවක්.
මේ විදිහට ඉතාම සතුටින් මේ කුමාරිකාව තමන්ගේ යහළු කුමාරිකාවනුත් එක්ක වගේ ම
අසල්වැසි යහළුවන් එක්ක විනෝද වෙනවා. දවසක් මේ කට්ටිය ම ගියා ඔයකට ජල සෙල්ලම් කරන්න.
මේ ඔයේ එහා ඉවුරේ තිබුණා විශාල එරබදු ගහක්. මේ ගහේ මුල සිට ගහ පුරා ම මල් පිපිලා
හැඩවෙලා තිබුණා.
ගම්මු හැමෝම වගේ බුදුන් වහන්සේට සම්බුද්ධ පූජා පවත්වන්නට හරිම කැමැත්තක් තමයි
දැක්වූයේ. ඒ නිසා මල්වලට විශාල ඉල්ලුමක් ද තිබුණා. පොඩි ළමයි ධනය උපයා ගන්න
කැමැත්තෙන් මේ ගහට නැඟලා මල් කඩාගෙන ගෙන යනවා. ඒ අය ගහට ගොඩවෙන්න නම් ඔය තරණය කරලා
එහා ඉවුරට යන්න ඕන. ඉතිං පුංචි අයට ඒ කාර්ය කරන්න හරිම අපහසුයි. සමහර දවස්වලට ඔයේ
ජලයේ ගහගෙන ගිහින් පහළින් ගොඩවෙනවා. තවත් දවසක වතුර පෙවෙනවා.
එලෙස දුෂ්කරතා ගොඩකට මුහුණ දෙමින් තමයි මල් කඩන්න යන්නේ. දවස් ගණනාවක් ම කුමාරිකාව
මේ සිදුවීම් දැක්කා. ඒ ගැන බොහෝම දුකට පත් වෙලා අනෙක් කුමාරිකාවනුත් එකතු කරගෙන අසල
වැටිලා තිබුණු මුරුත ගහක දඬු කපාගෙන ඇවිත් ළමයින්ට එගොඩ මෙගොඩ යන්න පුංචි පාලමක්
සකස් කරලා දුන්නා. මල් කඩා ගන්න එන අය සතුටින් මල් ටික කඩා ගත්තා. කුමාරිකාව සැප
සම්පත් විඳිමින් කාලය ගත කරලා කල් යත්ම වයසට ගිහින් මිය ගියා.
ඒ කුමාරිකාවට ඒ ජීවිතයේ කරගන්න පුළුවන් වුණු එකම පින්කම වුණේත් එච්චරයි. හැබැයි මේ
පින්කමේ පුණ්‍ය මහිමයෙන් දඹදිව පැලලුප් නුවර සෝමදත්ත කියන මහරජුට දාව කුමාරිකාවක් ව
ඉපදුණා. රජතුමාත්, දේවියත් ඇයට නම් තැබුවා බෝධිරාජ කුමාරිකාව කියලා. සම්බුද්ධ
පූජාවට මල් නෙළන්නට ගිය අයට පාලමක් සකස් කරලා දීපු පිනෙන් මේ කුමාරිකාවගේ ශරීරය
දිව්‍යාප්සරාවක් වගේ බබළන්න පටන් ගත්තා. මේ කුමාරිකාව දකින දකින අය ඇය දිහා නැවත
නැවත බලලා පුදුමයටත්, විස්මයටත් පත් වෙන්නත් පටන් ගත්තා.
කාලයත් එක්ක ඇය තරුණ වයසට පත් වුණා. ඇගේ ශරීර ශෝභාව මුළු රාජ්‍ය පුරා ම පැතිරිලා
ගියා. මෙහෙම කාලය ගත කරන කොට ටිකෙන් ටික රාජ්‍ය පාලනය ගැනත්, පියරජතුමාගේ කටයුතු
ගැනත් හොයා බලමින් අත්දැකීම් ලබන්න වුණා. මෙහෙම ඉන්න කොට කුමාරිකාවට දැන ගන්න
ලැබුණා දවසට තුන් වතාවක් ම ටික වේලාවකට පියරජතුමා මාලිගාවෙන් බැහැර වෙලා යනවා
කියලා. ඉතින් ඔය ගැන හිතේ තබාගෙන හොඳීන් හොයලා බැලුවා ඒත් කිසිම තොරතුරක් දැන ගන්නට
නම් බැරි වුණා. ඒක නිසාම ඉවසලා ඉවසලා බැරිම තැන ගිහින් රජතුමාගෙන් ඇහුවා.
‘පියරජතුමනි, දවසට තුන් වතාවක් ම ඔබ වහන්සේ අශ්වයා පිටින් බැහැරට වැඩම කරනවා. ඒ
කොහේටද යන්නේ. මටත් කියන්න‘යි කියලා ඉල්ලා සිටියා. රජතුමා හිතුවා කුමාරිකාව මේක දැන
ගත්තොත් ඇය තනිව ම අශ්වයා අරන් යයි. එහෙම වුණොත් ඇයගේ රූප ශෝභාව නිසා ඉක්මනින් ම
විපතට-දුකට පත් වෙනවා. තවත් වැඩිහිටි වුණහම කියනවා‘යි තීරණය කරලා කිව්වේ නෑ. දෙවන
දවසෙත් ඇවිටිලි කර කර ඇහුවා. ඒත් කිව්වේ නෑ. තුන්වැනි දවසෙත් එහෙම ඇහුවා ඒත් කිව්වේ
නෑ. හතර වෙනි වතාවට අහන කොට කිව්වා.
‘දුවේ, මම යන්නේ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දවස් හතක් ඇසිපිය නො හෙළා බලා
සිට කෘත ගුණ දක්වපු ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න‘යි කියලා කිව්වා. ඒ කතාව
අහපු කුමාරිකාවත් කැමැති වුණා ශ්‍රී මහා බෝධිය වඳීන්න යන්න. ඉතින් පියරජතුමා නැවතත්
කල්පනා කළා තවමත් තනිවම යවන්න තරම් සුදුසු වයස නැති නිසා පසුවට එය කල් තබමින්
නිශ්ශබ්ද ව සිටියා. ආයෙත් කලින් වගේම පෙරැත්ත කර කර ඉල්ලුවා බෝධින් වහන්සේ වඳීන්න
යන්න. ඒ නිසා ම පියරජතුමාත් සමඟ අහසින් ගමන් යා හැකි සෛන්ධව කුලයේ අශ්වයාත් එක්ක
යන්න පිටත් වුණා.
මෙහෙම බෝධීන් වහන්සේ වඳීමින් කාලය ගෙවෙන අතරේ පියරජතුමා වයසට ගිහින් සිටි නිසා නොබෝ
කලකින් ම ලෙඩ ඇඳට වැටිලා මරණාසන්න වුණා. ඒ වෙලාවේ හිතුවා බෝධිරාජ කුමරිය මම මිය
ගියහම තනිව ම බෝධිය වඳීන්න යනවා. ඒ කවර අවස්ථාවක හෝ මේ රූප ශෝභාව නිසා විපතට පත්
වෙන්න පුළුවන්. එයින් ආරක්ෂා කරන්න ඕන කියලා සිතා අශ්වයා තමන්ගේ ළඟට ගෙන්වාගෙන ඔහුට
රහසින් කිව්වා.
‘පුතේ අපගේ දියණිය මගේ මරණයෙන් පස්සේ බෝධීන් වහන්සේ වන්දනා කරන්න නො වරදවා ම යනවා.
ඒ නිසා කුමාරිකාවට විපත් පැමිණෙන්න පුළුවන්. මගේ දුව සිහි ඇතිව හොඳීන් රැක ගන්න
ඕන‘යි කියලා අශ්වයාට කුමරිය ආරක්ෂා කිරීමට පැවරුවා.
කුමාරිකාව පියාගේ ඇවෑමෙන් නැවතත් සුපුරුදු පරිදි බෝධීන් වහන්සේ වඳීන්න ගියා. මෙහෙම
දවස් ගණනාවක් යන කොට එතැනට රැස්වුණ අය දැක්කා තනිව ම ඉතාම ලස්සන තරුණ කුමාරිකාවක්
හැමදාම බෝධීන් වහන්සේ වඳීන්න එන ආකාරය. එය, ඒ රටේ රජුගෙන් තෑගි බෝග කැමැති වුණු අය
ගිහින් රජතුමාට කිව්වා.
‘රජතුමනි, ඔබ වහන්සේට ගැලපෙන රාජ කුමාරිකාවක් බෝධින් වහන්සේ වන්දනා කරන්න එනවා.
ඇයගේ රූපය මේ මේ විදිහයි කියලා රූප ශෝභාවත් වර්ණනා කර කර කිව්වා. රජතුමා ඒ විස්තරය
අහපු පමණින් සිවුරඟ සේනාව සමඟ ගිහින් බෝධිය වට කරලා ශක්ති සම්පන්න සෙබළු සිවු
දෙනෙක් යැව්වා ඇයව අල්ලා ගන්න.
කුමාරිකාව බෝධීන් වහන්සේට මල් පූජා කරමින් හිටියා මිස ප්‍රාකාරය වට කරගෙන සිවුරඟ
සේනාවක් රැස්වෙලා කියලා දැනුණේ නෑ. ඒ මොහොතේ අශ්වයාගේ කෑ ගැසීමත් එක්ක ඇය ඔහු දිහා
බලන කොට දැක්කා තමන් අල්ලා ගන්න සෙබළු එනවා. එතකොට ම අශ්වයා දුවගෙන ආවා ඇයත් අශ්වයා
පිටට වහා නැඟ ගත්තා.
අහසින් ඉතා වේගයෙන් යන ගමනේ දී ඇයගේ අත් අශ්වයාගේ රැහැන්වලින් ගිලිහී ගියා.
කුමාරිකාව දැන් අර සිවුරඟ සේනාව මතට වැටෙන්න පටන් ගත්තා. එතකොටම අශ්වයාට මතක් වුණා
පියරජතුමා තමන්ට බාර කළ වගකීම. වහාම නැවතත් පහළට ඇවිත් කුමරියගේ කෙස් වැටියෙන්
හපාගෙන පැලලුප් නුවර රජමැදුරට අරගෙන ගිහින් ජීවිතය බේරා දුන්නු බවත්, ඇය එතැන් පටන්
ආරක්ෂිත ව බෝධීන් වහන්සේ වන්දනා කරමින් පින් රැස් කරගත් බවත් පැවසෙන රසවත් කථා
පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.
‘පින්වත්නි, තමන්ට පින්කමක් කිරීමට නොහැකි වුණත් පින්කමක් කරන අයට සහායක් දැක්වූ
පමණින් මනුෂ්‍ය ලෝකයේ ඉහළ ම සැප සම්පතුත්, දිව්‍ය ලෝකයේ ඉහළම සැප සම්පතුත් ලබන්න
පුළුවන් බව මේ කථා පුවත අපට කියලා දෙනවා.
ඒ වගේම තමන්ට කළ උපකාරය සිහි කරමින් ප්‍රත්‍යුපකාර කරන්න ඕන බව අශ්වයාගේ චරිතයෙන්
අපට කියා දෙනවා. ඔහුට ආහාරපාන ලබා දීමේ කෘතගුණය නිසා ම රාජකුමරියව එදා බේරා ගත්තා.
ඒ නිසා පින්වත්නි, කෘතගුණ සලකමින් පින්කම්වල නිතර යෙදෙන්න. එය කවදාවත් අයහපත පිණිස
හේතු වෙන්නේ නෑ. කිසියම් හෝ මොහොතක ඔබට සැප ගෙනදෙනු පිණිස ම ඒවා හේතු වෙනවා. |