|
වප් පුර පසළොස්වක පෝ දා
2025-10-06
භාග්‍යය අභාග්‍යයක්
කර ගැනීමේ දුක
භාග්‍යවන්ත ජීවිතයක් ලැබී තිබුණද ඒ වටිනාකම හඳුනාගත නොහැකි බොහෝ පිරිසක්
අභාග්‍යවන්තයන් ලෙස ජීවිතයට සමු දෙති. ඇතැම්විට ඒ අවාසනාව මතු ආත්ම ගණනකට මිනිස්
ජීවිතයක් නොලැබ සතර අපායේ දුක් විඳින්නට තරම් ප්‍රබල විය හැකි ය.
භාග්‍යවන්ත ජීවිතයක් කීවේ ක්ෂණසම්පත්තිය ඇතිව ඉපදීම ය. බෞද්ධයකුට ඒ පිළිබඳ අවබෝධය
ඉතාම වැදගත් ය. මේ සසර ගමනේ ඉමක් නොපෙනේ. කොනක් නොපෙනේ. ඒ දීර්ඝ සසරේ කෙනකුට මිනිස්
භවයක් හිමි වනවා නම්, ඒ ඉතා දුලබ ය. සුලබ නැත. එවැනි මිනිස් ජීවිතයක් ලැබුණ ද
සම්බුදු සසුනක උපත සිදුවීම තවත් දුර්ලභ ය. සම්බුදු සසුනක උපත ලැබුවේ වුව ද තථාගතයන්
වහන්සේ දේශිත ඒ අමාදහම අසන්නට ලැබීම ද දුර්ලභ ය. දහම් ශ්‍රවණය කරන්නට ලැබුණ ද ඒ
සියල්ලන්ට අමාදම් වටහා ගන්නට ඇති හැකියාව, නුවණ දුර්ලභ ය.
මේ සියලු දුර්ලභ අවස්ථා ජය ගනිමින් ක්ෂණසම්පත්තිය ඇතිව ඉපදීමට තරම් අපි
භාග්‍යවන්තයෝ වී සිටිමු.
සම්බුදු සසුනක සිව්වනක් පිරිස අතරින් උපාසක, උපාසිකා යන නාමය ලබනවා නම් ඒ තෙරුවන්
සරණ ගිය ගිහියා ම ය.
‘බුද්ධං සරණං ගච්ඡාමි’, ‘ධම්මං සරණං ගච්ඡාමී’, ‘සංඝං සරණං ගච්ඡාමි’ යනුවෙන් මේ
ත්‍රිවිධ රත්නය සරණ ගිය බෞද්ධයා කිසිම හේතුවක් නිසා බෞද්ධකම හෑල්ලුවට නොගනී. ඔහු
තිසරණයෙහි ගැඹුර නුවණින් වටහාගෙන තමන් ලැබූ භාග්‍යවන්ත ජීවිතය තව තවත් අලංකාර කර
ගනී.
ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි හැසිරෙන හෙතෙම, ජීවිතයේ සෑම මොහොතක ම ශීලාදී ගුණධර්ම
ප්‍රමුඛ කරගෙන තමන්ගේ රැකවරණය තමන් ම සලසා ගනී. තමන්ගේ මේ ජීවිතයේත්, පරලොව
ජීවිතයේත් දියුණුව ළඟා කර ගනී. ජීවිතය යහපතෙහි යොදවන කල්‍යාණ මිත්‍රයකු ලෙස සලකමින්
ධර්මය ඇසුරු කරන ඔහු කිසිදු හේතුවක් නිසා අසත්පුරුෂ ධර්ම හඹා නොයයි.
එහෙත් අවාසනාවකට බෞද්ධ සමාජයේ ඇතැම් කෙනෙක් ඇස් ලැබුණ ද අන්ධයින් සේ, කන් ලැබුණ ද
බිහිරන් සේ හැසිරෙන ආකාරයක් විද්‍යමාන වේ. අයහපතෙහි ගමන් කරන තාක් තමන්ගේ පරිහානිය
තමන් පසුපස ම එන බව වටහා ගන්නට ඔවුහු නුනුවණ ය. සමහර කෙනකුගේ ආශාවෙහි කෙළවරක් නොවේ.
ලෝභය මිනිය නොහැකි තරමට ය. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකත්වය, මාන්නය, ආදී
ශික්ෂණයක් නොමැති සිතුවිලිවල නිමග්න ව, වරදෙහි ම ගිලී සැනසීම සොයනු පෙනේ. වැනසීම ම
මිස කවර නම් සැනසීමක් එහි වේ ද?
සැබෑ බුද්ධ ශ්‍රාවකයාගේ ස්වභාවය මෙය නොවේ. එදත්, අදත් මිනිසුන් ඉපදෙනවා අපි දැක
ඇත්තෙමු. මිය යනවා ද දකිමු. ඉපදීමත්, මිය යාමත් අතර පුංචි කාලය ඉතා වේගයෙන් ඉගිළ යන
බව ද දකිමු. ඒ අතර මිනිසුන් රෝගී වන හැටි, අනතුරේ වැටෙන හැටි, ක්ෂණයකින් මිය ඇදෙන
හැටි නුපුරුදු අත්දැකීම් නොවේ. ඕනෑම වෙලාවක ගිලන් විය හැකි බව, මෙලොව හැර යන්නට වන
බව, අතපය වාරු නැති වන බව අපි දනිමු. එසේ නම් මේ දුක, විපරිනාමය මේ ජීවිතයට පමණක්
නොවේ. උපදින හැම භවයක ම එය උරුම ය. මේ අවාසනාවන්ත බව ජය ගන්නට, ජීවිතය භාග්‍යවන්ත
කර ගන්නට අප්‍රමාදී විය යුතු ව තිබේ.
‘ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි’ මේ දුක්ඛිත සසර එකම රැකවරණය ධර්මය යි. ඒ ධර්මානුධර්ම
ප්‍රතිපදාවට පිවිසෙන්නට වීර්යය වඩනු පිණිස මේ වප් පුන් පෝදා අදිටන් කර ගනිමු. |