[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

කඨින පින්කමේ උදාරත්වය

උපසම්පන්න භික්ෂූන් වහන්සේ නමක් ඇසළ පුර පසළොස්වක් පොහෝ දිනයේදී පෙහෙවස් සමාදන් වී වප්පුර පසළොස්වක් පොහෝ දිනයේ දී මහා පවාරණය සිදුකොට ඊළඟට එළඹෙන ඉල් පොහෝ දිනය දක්වා කාලය තුළ වස් සමාදන්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් කඨින චීවරයක් පිළිගැනීමට හැකියාව ඇති බව බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන ලදී. ඒ බව කඨිනක්ඛන්ධකයේ එන අනුජානාම් භික්ඛවෙ වස්සානං වුත්තානං කඨිනං අත්ථරිතුං අත්ථත කඨිනානං වො භික්ඛවෙ පඤ්ච කප්පිස්සන්ති අනාමත්තවාරො අසමාදාචාරො, ගණභොජනං යාවදත්ථචීච රුප්පාදො යොච තත්ථ චීවරුප්පාදො” යන දේශනා පාඨයට අනුව ඒ බව පැහැදිලි වේ. ඒ අනුව කඨිනය ලබා ගන්නා භික්ෂූන් වහන්සේට අනාමත්තචාර - පන්සලේ සිටින අනිත් අයට නොදන්වා පන්සලෙන් පිටත්වී ගෙවල්වලට යාමේ අවසරය ලැබීම, අසමාදානචාර අධිෂ්ඨාන කළ තුන් සිවුර නැතිව ගමන් යාමේ හැකියාව, ගණ භෝජනය - හතරනමකට වැඩි ඕනෑම තැනකට ගොස් වැළඳීම, යාවදත්ථචීවර - අධිෂ්ඨානයකින් තොරව දින දහයකට වඩා අතිරේක සිවුරු වැඩි වශයෙන් තබා ගැනීම, යොච තත්ථ චීවරුප්පාද - සැම පිරිකරකම අයිතිකරුවීම යන ආනිසංස පහ ලැබේ. එසේම කඨින චීවර පූජාව කරන තැනැත්තාට ද විශාල ආනිසංස දායක පින්කමක් වශයෙන් මෙය දැක්විය හැකිය. එවැනි පින්කමකින් ලැබෙන ආනිසංස කොතෙක්ද යන්න කඨින යන වචනය සඳහා දී ඇති අර්ථවලින් ම පැහැදිලි වේ. පඨවීරීව න ජාතු කම්පතෙ - න චලති මෙරුරිවාති වායුනා - වජිරම්ව න භිජ්ඣතෙ සනං - තමි ද මතො කඨිනත්ති වුච්චති. අපි මහපොළොව උදැල්ල, අලවංගුව ගෙන කොතරම් හෑරුවත් සියලු කුණු රොඩු ආදිය මහපොළොවෙහි දැමුවත් මහපොළොව කිසිදා කම්පා වන්නේ නැත. මහාමේරු පර්වතය ලෝක විනාශයේ දී හැරුණු කොට කිසිදු කුණාටුවක දී සෙලවිය නොහැකි ය. දියමන්ති කන්දක් සාමාන්‍ය කුලු ගෙඩියකින් කඩා දැමිය නොහැකි ය. එසේම කඨින පින්කමකින් ලැබෙන පින ද එසේම ය. එම නිසා එවැනි පින්කම් කඨින යැයි කියනු ලැබේ. මෙවැනි පින්කම් එක් විහාරස්ථානයක එක් වර්ෂයක් තුළ පැවැත්විය හැක්කේ එක් වතාවක් පමණි. එසේ උසස්, දුර්ලභ, ශක්තිමත්, කඨින පින්කම සම්බුද්ධ ශාසනයේ බැබළීමටත්, දායකයින්ගේ ගුණධර්ම දියුණුවටත් බෙහෙවින් ඉවහල් වේ. ඒ අනුව කඨින පින්කමේ උදාරත්වය කොතරම්ද යන්න පැහැදිලි වේ.


වප් පුර පසළොස්වක

ඔක්තෝබර් 06 සඳුදා අ.භා 12.22 පුර පසළොස්වක ලබා 07 අඟහරුවාදා පූ.භා. 09.17න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]