[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අත්හැරීම නැති තැන නිවීම ද නැත

අත්හැරීම නැති තැන නිවීම ද නැත

නිවන යනු සියලු වේදයිත සුවයෙන් තොර අවේදයිත සුවයකි. ෂඩ් ඉන්ද්‍රියයන්ගෙන් ලබන අරමුණු රසයක් නිවනෙහි නැත. වි¼දීම් දැනීම්වලින් තොර ශුන්‍ය තත්ත්වයකි. රෝගයකින් පීඩා විඳී කෙනෙකු එම රෝගී තත්ත්වයෙන් සම්පූර්ණයෙන් ම මිදී සුවපත් වී ලබන මානසික සුවය වැනි සුවයක් නිවනෙහි ඇත.

විඳීමක් නැති තැන ජාති, ජරා, ව්‍යාධි මරණ වැනි සංසාරික ගැටලු ද නැත. එබැවින් නිවන කෙනෙකුට ලබාගත හැකි උතුම්ම සුවයකි.

නිවන ඇත්තේ කොතැනද? බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දුන් සේක.

“මහණෙනි, මේ බඹයක් පමණ වූ මේ කය තුළ මම ලෝකයත්, එහි හට ගැනීමත්, එහි නිරෝධයත්, ඊට මාර්ගයත් පනවමි.”

ලෝක යනු මේ පංචස්කන්ධය නම් වූ ශරීරයයි. එහි හට ගැනීම ජාති හෙවත් ඉපදීමයි. නිරෝධ යනු පඤ්චස්කන්ධය හට නොගැනීමයි. එනම් ඉපදීම නැවැත්වීමයි. ඊට මාර්ගය වන්නේ මාර්ග ප්‍රතිපදාවයි. එසේ නම් නිවන ඇත්තේ තමා තුළ ම ය. බැහැරින් නොවෙයි.

නිවනෙහි ස්වභාවය වූ කලි තමා සතුව පැවති, පවතින, පවතින්නා වූ සියලු කායික මානසික වූත්, භෞතික අභෞතික වූත්, බාහිර ආධ්‍යාත්මික වූත්, දෘශ්‍යමාන අදෘශ්‍යමාන වූත් සියල්ලෙහි නිරවශේෂ අභාවය හෙවත් ඒ සියල්ල සපුරා අත්හැරීම බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ බව බුදුරජාණන් වහන්සේ සිය අතීත වර්තමාන පරමාදර්ශී ආදර්ශ සමුදාය මඟින් පෙන්නුම් කර වදාළහ. නිවන් මඟට සම්ප්‍රාප්ත වන ආරම්භක පියවර ලෙස අත්හැරීම බෝසත් අවධියේ සිටම බුදුන් වහන්සේ අනුගමනය කළහ.

“මම බුදු බවට පත්ව අන් අයට ද අවබෝධය ලබා දෙමි” යන අදිටනින් සසරට පිවිසි බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තරම් වූ අති දීර්ඝ කාලයක් ගතකළ සසර ගමනේ දී ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්ඛයන්ට පත්වූ අතර, ඉන් මිදීමට නම් ඉපදීම නතර කළ යුතු බව අවබෝධ කර ගත්හ. භවයෙන් භවය ඉපදීමට හේතු වන්නේ තණ්හාව බවත්, සසර දුකින් නිදහස් වීමට තණ්හාව සපුරා ප්‍රහාණය කළ යුතු බවත් තේරුම් ගත්හ.

“තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං”

තණ්හාව හේතුවෙන් සසර බියත්, ශෝකයත් ඇතුළු සියලු දුක් දොම්නස්වල පැවැත්ම ඇතිවන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඉන් මිදීමට නම් තණ්හාව නිරන්තරයෙන් දුරු කළ යුතු බවත් දේශනා කළහ.

නිවන් අවබෝධය සඳහා අනිවාර්යයෙන් ම තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතු බවත්, ඒ සඳහා තමා හා සබැඳී සියලු ප්‍රපංචයන් අත්හළ යුතු බවත් බෝසතුන්ගේ අවබෝධය විය. ඒ අනුව එතුමා බෝසත් අවධිය තුළම අත්හැරීම ආරම්භ කළේ ය. වෙසතුරු ආත්මභාවය ඊට නිදසුනකි.

තමා සතු උපභෝග, පරිභෝග වස්තූන් කෙරෙහි ඇති ඇලීම දුරු කළ බෝසත්තුමා රන් රිදී ආභරණත්, ධන ධාන්‍ය පමණක් නොව තමා සතු රාජ්‍ය සම්පත්, දේවිය සහ දූ දරුවන් ද පරිත්‍යාග කරමින් දාන පාරමිතාව සම්පූර්ණ කර ගත්තේ ය.

දාන උපපාරමිතාව සපුරා ගත්තේ සිවි රජ තම ඇස් දෙක පරිත්‍යාග කරමිනි. සස ජාතකයේ දී තමාගේ ජීවිතය පූජා කොට පරමාර්ථ පාරම්තාව පිරුවේ ය. මේ අයුරින් පරිත්‍යාගය තුළින් අතහැරීම බෝසත්තුමා පුරුදු පුහුණු කරන ලදී.

බාහිර ලෝකය සහ ආධ්‍යාත්මික ලෝකය දෙස උපේක්ෂාවෙන් බලා වෙනස් වන, කැඩෙන බිඳෙන, අහිමි වන ලෝකය සපුරා ම අත්හළ යුතු ය යන සිතිවිල්ල පශ්චාත් භවික බෝසත් අවධිය වන විට බෝසතුන්ගේ සිතෙහි ලා දැඩි ව ධාරණය වී තිබිණි.

ලුම්බිණි සල් උයනේ දී උපත ලද, සිදුහත් නම් ලැබූ බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ තමන්ගේ අන්තිම භවය බවයි. සසර පුරා පුරුදු කරගෙන පැමිණි අත්හැරීම කුළුගැන්වෙන්නේ මෙම අන්තිම ආත්ම බවය තුළ දී ය. රජකම, රජ සැප, දෙමාපියන්, ඥාතීන්, හිත මිතුරන් දෙස උපේක්ෂාවෙන් බැලූ සිදුහත් කුමරු ඒ කිසිවකු කෙරෙහි දැඩි ඇල්මක් ඇති කර නොගත්තේ ය. එබැවින් අවසන ඒ සියල්ල අතහැර දැමීමට එතුමා තම සිත සකස් කර ගත්තේ ය.

මහබිනික්මන් කළ බෝසත් කුමරා වරෙක මූලික අවශ්‍යතාවයන් ද බැහැර කොට දුෂ්කර ජීවිතයක් ගත කළේ ය. නිවන ගවේෂණය කරමින් මැදුම් පිළිවෙතට එළඹුණේ ය.

අවසානයේ දී බෝ මැඩ මහා විප්ලවය ආරම්භ විය. ගයා ශීර්ෂයේ ඇසතු බෝරුක මුල චතුරංග සමන්නාගත වීරිය උපදවා ගෙන වැඩ සිටි තාපසතුමා තම ආධ්‍යාත්මය ගවේෂණය කළහ. විවිධාකාර ක්ලේශ ධර්මයන්, මාරයා සහ මාර දූවරු ද වේශයෙන් ආවෝ ය. නමුත් ඔවුහු එදා පරාජයට පත්ව පලා ගියහ. අධිෂ්ඨානය එතරම් ම ප්‍රබල ය.

තුන් යම් රාත්‍රිය පුරා කෙලෙස් සතුරන් සමඟ සටන් කළ බෝසත් තුමා වෙසක් පුන් පොහෝ දින හිරු උදාවෙද්දී මනස තුළ තැන්පත් ව තිබූ තණ්හාව ප්‍රමුඛ සියලු කෙලෙසුන් මුලින් ම උපුටා දමා තමන් තුළ ම සැඟව තිබූ නිවන් සුවය සාක්ෂාත් කර ගත්හ.

සියල්ල අත්හළ බුදුරජාණන් වහන්සේ නිවන් සුවය වළඳමින් නිවී සැනහී ගිය සිතින් යුතු ව අවට වූ වනපෙත දෙස නෙත් යොමු කළහ. උන්වහන්සේට මෙසේ සිතුණි. අත්හැරීම ම යි නිවන. අත්හැරීම නැති තැන නිවනක් නැත්තේ ම ය.

වප් පුර පසළොස්වක

ඔක්තෝබර් 06 සඳුදා අ.භා 12.22 පුර පසළොස්වක ලබා 07 අඟහරුවාදා පූ.භා. 09.17න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]