[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිවන් මඟ පළමු පියවර

නිවන් මඟ පළමු පියවර

කුමකට ද මේ සීලය කියලා කියන්නේ? සීලය කියලා කියන්නේ හිලෑ වීමයි. තවත් විදියකින් කියනවා නම් නීතියට, සමාජ සම්මතයට, යුක්තියට කීකරු වීමයි. සමාජය ඉදිරියෙහි කය හා වචනය දෙකේ සංවරය යි.

මේක මහා පින්කමක්. නිවන් අරමුණු කර ගෙන පිළිවෙත් පුරන්නා විසින් දියුණු කර ගන්නට අවශ්‍ය කරන පාරමිතාවක්. ධර්මානුකුල ව විස්තර කරනවා නම් ප්‍රාණඝාතය ප්‍රමුඛ කොට ඇති සියලු අකුසලයන්ගෙන් දුරු වී ඊට අදාළ වන වත පිළිවෙත පුරනවිට සිතේ ඇති වන සිතිවිලි සීලය කියලා පෙනී යනවා.

සීලය, නිවන් අරමුණු කොට ඊට අවශ්‍ය පිළිවෙත් පුරන අය විසින් පුරුදු පුහුණු කළ යුතු මුල් ම පියවර ලෙසයි සලකන්නේ. ආර්ය මාර්ගය සීල, සමාධි හා ප්‍රඥා යනුවෙන් කොටස් වෙන් කොට එය නිවන් මඟ පසක් කර ගන්නට අවශ්‍ය කරන ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනුවෙන් පෙන්වා දී තිබෙනවා. මූලික පන්සිල් රක්ෂා කරමින් ජීවිතය දැහැමි ලෙස ගොඩනඟා ගන්නා බුද්ධ ශ්‍රාවකයා සීලයෙහි පිහිටා, සිත දියුණු කරගෙන(සමාධිය වඩා)කෙලෙස් සුණු විසුණු කර දමන වීර්යය ඇති ව ක්‍රියා කළොත් සංසාර විමුක්තිය දුර නො වන බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ.

මෙහි මූලික පියවර වන්නේ පළමුවෙන් ම සැබෑ බෞද්ධයකු වීම යි. බෞද්ධයා කියලා අර්ථ දක්වන්නේ තෙරුවන් සරණ ගිය පන්සිල් සුරකින සැබෑ බුද්ධ ශ්‍රාවකයාට යි.

පන්සිල් කියන්නේ සිල් පද පහකට යි. මේ සිල්පද පහෙන් කියැවෙන මූලික කරුණු පහ නම් සත්ව හිංසාවෙන් වැළකීම, අන්සතු දේ සොර සිතින් ගැනීමෙන් වැළකීම, වැරැදි අඹුසැමි සේවනය ඇතුළු පස්කම් සැප වැරැදි ලෙස භුක්ති විඳීමෙන් වැළකීම, බොරුවෙන්, වංචාවෙන් වැළකීම හා මත්ද්‍රව්‍ය, මත්වතුරෙන් වැළකීම යන කරුණු පහ යි.

බුදුදහමේ එන මෙම මූලික සීලමය ප්‍රතිපදාව වැඩි දියුණු කර ගන්නාට දෙවැනි පියවර ලෙස අපට පෙන්වා දිය හැකි වන්නේ අෂ්ඨාංග සීලය අනුව දිවි පවත්වා ගැනීමට හුරුපුරුදු වීම යි. මෙය සීල පාරමිතාවේ දෙවැනි පියවර සඵල කර ගැනීමේ අවස්ථාව ලෙස පෙන්වා දෙන්නට පුළුවනි.

අනුපුබ්බ සික්ඛා යන බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිපදාව තුළ අෂ්ඨාංග සීලය ගරු කරගෙන, ඒ අනුව ජීවිතය පවත්වා ගෙන යාමට මහෝපකාරි වන්නේ ඊට මුලින් පෙන්වා දුන් පංචශීල ප්‍රතිපදාව මැනවින් සාක්ෂාත් කර ගෙන තිබීම යි.

පුරපසළොස්වක දිනයෙහි අදත් අපේ රටේ ජනතාව කුඹුරු සී සෑම, කැලෑ එළිපෙහෙළි කළ පසු ඒවා ගිනි තැබීමෙන් වැළකීම වැනි සාරධර්ම අනුගමනය කරන බවක් පෙනෙනවා. කුඹුරු සී සෑමෙන් ඉතා කුඩා ප්‍රාණියකුගේ වුව ද ජීවිතයට අනතුරක් වෙයි යන හැඟීම නිසා එසේ පොළොවේ පස් කැපීමෙන් පවා වැළකෙනවා. ඉතින් මේ දිනය පමණක් නොව මේ රටේ පසුගිය දසක කීපයකට පෙර මාසයේ එළඹෙන පුරපසළොස්වක, අව අමාවක, අමාවක, පුර අටවක, යන පොහොය දින හතරේ ම වෙහෙර විහාරස්ථානවල අටසිල් සමාදන් වී ඒ මුළු දවස ම වෙහෙර විහාරස්ථානවල සැදැහැතියෝ සීල භාවනා කටයුතුවල යෙදෙමින් ක්‍රියා කළ බව අපට මතකයට එනවා. එපමණක් නොව පසුදාට පහන් වෙනතුරු සමාදන් වූ අටසිල් ආරක්ෂා කරමින් පාන්දර සිල් මුදා යන සිරිතක් තිබුණා.

කෙසේ වුවත් අද දවසේ අටසිල් සමාදන් වෙමින් වෙහෙර විහාරස්ථානවල කල් යවන සැදැහැතියෝ ඒ වෙනුවෙන් අවම වශයෙන් පැය 12 ක් වත් ගිහිගෙයින් සම්පූර්ණයෙන් ම දුරස්ථ ව වෙහෙර විහාරස්ථානවල ම කල් යවනවා. මෙහි දී බාහිර වශයෙන් අපට දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ පෙහෙවස් සමාදන් වන උදවිය සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී එම කාලය ගත කිරීම. එහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි මෙම දවසේ කෙටි කාලයක් හෝ සැහැල්ලු දිවිපැවත්මකට යොමු වීම, සීලමය ප්‍රතිපදාව ආරක්ෂා කරමින් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බණභාවනා කටයුතුවල නියැළීම වගේ ම ඊට ගැලපෙන ආකාරයෙන් විහාර භූමිය තුළ නිශ්ශබ්දතාව පවත්වා ගෙන යන පින්බිමක් බවට පත් කර ගැනීම, මේ නිසා සිත් විවිධ කාමභෝගි අරමුණුවලට ඇදී යා නො දී උතුම් අෂ්ඨාංග සීලය ආරක්ෂා කිරීමට යොමු වීමකුයි සිදුවන්නේ.

ඊළඟට අප කල්පනාවට ගත යුතු කරුණ වන්නේ කෙතෙක් දුරට මේ සීලමය ප්‍රතිපදාව අප නිවනට කිට්ටු කරනවා ද? යන්නයි. බුදුරජාණන් වන්සේ හැමවිට ම අනුපුර්ව ප්‍රතිපදාව මෙහි දී අගය කර තිබෙනවා. ඒ විදිහට බලන කොට අටසිල් සමාදන්වීම කියලා අර්ථය වශයෙන් ගත්තහම එක් වර ම පෙනී යන්නේ පංච ශීලයේ තවත් වැඩි දියුණු අවස්ථාවක්. පංච ශීලයෙහි දක්නට ලැබෙන කම්සැපෙහි වැරැදි ලෙස ක්‍රියා කිරීමෙන් වැළකෙනවා යනුවෙන් කියැවෙන තුන් වැනි ශික්ෂා පදයේ අරුත වඩාත් ඉදිරියට යමින් සම්පූර්ණයෙන් ම නිවැරැදි කම් සැප සෙවුමත් මෙයින් ඉවත් කර තිබෙනවා. එය බ්‍රහ්මචරියාව ලෙස හඳුන්වනවා. එය නෙක්ඛම්ම පාරමිතාවේ මූලික පියවරට පියනැඟීමක් නිසා කෙලෙස් සිත ප්‍රමාණවත් කාලයක් තුළ එයින් මුදවා ගැනීමට ක්‍රියා කිරීම ආධ්‍යාත්මික වශයෙන් සිතේ දියුණුවකට මං පෙත් විවර කරදීමක් වෙනවා.

ඊළඟට හතර හා පස්වැනි සිල් පද පංච ශීලයෙහි විදිහට ම අෂ්ඨාංග සීලයෙහි දක්වා තිබෙනවා. හය වන සිල්පදය වන්නේ විකාල භෝජනයෙන් වැළකීම යි. මෙය අත්‍යවශ්‍ය වන්නේ එතැන් සිට සවස හෝ පසුවදා සිල් මුදවන තෙක් තමන්ගේ කය නිරෝගී ව පවත්වා ගනිමින් ථීනමිද්ධයෙන් හෙවත් උදාසීන, කම්මැලි, නිද්‍රාශීලි බවෙන් තොර ව නිරෝගී ව සිටීමෙන් එම කාලය භාවනා ආදි අත්‍යවශ්‍ය පිළිවෙත්වල යෙදෙමින් ආධ්‍යාත්මික වශයෙන් උසස් තත්වයකට පත්වීම යි.

බුදුරජාණන් වහන්සේ කීටාගිරි සූත්‍රය දේශනා කරමින් විකාලයෙහි භෝජන අනුභවය නිසා සෞඛ්‍යය පිරිහෙන ආකාරයත්, එයින් වැළකීමෙන් වඩාත් ප්‍රබෝධවත් ව තමන්ගේ වටිනා කාලය නිවන් අරමුණු කර පිළිවෙන් පිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගන්නා ආකාරය ලෙසත් පෙන්වා දී තිබෙනවා. නැටුම්, ගැයුම්, වැයුම්, විවිධ උසුළු විසුළු දර්ශන නො දැක, මල් ගඳ සුවඳවිලවුන් පාවිච්චි කරමින් තම කාලය ගත කිරීමෙන් වැළකීමේ අවශ්‍යතාව පෙන්වා දෙනවා. මේ තුළින් තම සිත කාමභෝගි අරමුණුවලට වහල් නොකර ගිවිස ගත් සීලමය ප්‍රතිපදාව ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා.

අවසාන වශයෙන් අට ලෙස උසසුන් මහසුන් පිළිගැනීමෙන් වැළකීමෙන් පෙන්වා දෙන්නේ චාම්, සරල, සැහැල්ලු දිවි පැවැත්මකට යොමු වෙමින් කාමභෝගි හැඟීම් උද්දීපනය වීමට ඉඩ නො තබා වඩාත් සරල බාහිර හා ආධ්‍යාත්මක වශයෙන් පුද්ගලයාගේ චරිතය වැඩිදියුණු කර ගැනීමට පසුබිම සලසා ගැනීමෙහි වැදගත්කමයි.

මේ සියල්ල සමාදන් වීම නිවන් මඟට යොමු වන චර්යාත්මක හැඩගැසීමක් වෙනවා. ඒ අනුව දවසේ කාලය ආමිස හා ප්‍රතිපත්තිමය පූජාවන්ගෙන් පිරුණු පූර්ණ අර්ථවත් දිනයක් වශයෙන් පොහොය දිනය ලෙස පත් කර ගැනීමට අප අධිෂ්ඨානයක් ඇති කර ගනිමු.

වප් පුර පසළොස්වක

ඔක්තෝබර් 06 සඳුදා අ.භා 12.22 පුර පසළොස්වක ලබා 07 අඟහරුවාදා පූ.භා. 09.17න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]