[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

තෘෂ්ණාවට දාසයකු වන තාක් ජීවිතයට තෘප්තියක් ලැබෙන්නේ නෑ - අළුදෙණියේ සුබෝධි නා හිමි

තෘෂ්ණාවට දාසයකු වන තාක් ජීවිතයට තෘප්තියක් ලැබෙන්නේ නෑ - අළුදෙණියේ සුබෝධි නා හිමි

ස්වාමීන් වහන්ස, ආදරය, ප්‍රේමය විටෙක ජීවිතයට සතුට ගෙන දෙනවා. තවත් විටෙක දුක ගෙන දෙනවා. මේ මනෝභාවයන් ඉදිරියේ කඩා නොවැටී ජීවිතය ශක්තිමත් කර ගන්නේ කොහොම ද?

ආදරය, ප්‍රේමය පමණක් නොවෙයි ‘ජීවිතය‘ කියන්නේ විවිධ මනෝභාවයන්ගේ එකතුවක්. ඇතැම්විට ඒවාට අපි ඇලෙනවා. ඇතැම්විට ගැටෙනවා. ඒවගේ ම මුළාවෙනවා. ඒ මත පිහිටා කලබල වූ සිතින් දුරදිග නො බලා තීරණ ගන්නවා. එම තීරණ බොහෝ විට නිවැරැදි තීරණ නොවෙයි. ඒ නිසා තමයි අපේ සිත තුළ හටගන්නා විවිධ මානසික ස්වාභාවයන් ගැන අවබෝධයෙන් යුතු වීම වැදගත් වෙන්නේ.

අපේ ජීවිතය අංග තුනක් ඔස්සේ තේරුම් ගන්නට උත්සාහ කළ යුතුයි. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ අංග තුන තේරුම් ගත් ශ්‍රාවකයා ජීවිතය තේරුම් ගන්නවා කියලා. ඒ තමා ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය.

ධර්මය තුළ ආශ්වාදය හඳුන්වා දී තිබෙන්නේ, යම් දෙයක් නිසා සැපයක් සොම්නසක් ලැබෙන ස්වභාවයක් තිබෙනවා ද? එය ‘ආශ්වාදය‘ ලෙසයි.

ඒ වගේම යමක් අනිත්‍ය නම්, වෙනස්වන ස්වාභාවයට අයිති නම් එය එහි ‘ආදීනවය‘ යි. මේ ලෝකයේ යම් නිත්‍ය වූ දෙයක් අපට කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ. අපේ ජීවිතය නම් වූ ලෝකය තුළ තිබෙන සෑම දෙයක් ම අනිත්‍ය ධර්මතාවයට අයිතියි. ජීවිතය නම් ලෝකයේ ස්වභාවය තමා නිරන්තරයෙන් වෙනස්වීමට ලක් වීම.

අපේ ජීවිතවලට ආශ්වාදයෙන් යුතු විවිධ දේ මුණ ගස්සනවා. ඒ හමුවන ආශ්වාදයෙන් පිරුණු දේ ඒ ආකාරයෙන් ම පවත්වා ගන්නට අපට බැහැ. එයට හේතුව මොකක් ද? ඒ සියල්ල ම අනිත්‍ය ධර්මතාවයට අයිති නිසා. යමක් අනිත්‍ය නම්, යමක් වෙනස් වෙනවා නම් එහි තිබෙන ‘ආදීනවය‘ එයයි. මේ අනිත්‍ය තුළ ගැබ් වූ තව දෙයක් තිබෙනවා. ‘යදනිච්චං තං දුක්ඛං‘ ‘යමක් අනිත්‍ය නම් එය දුකයි.‘ අනිත්‍ය ධර්මතාවයෙන් යුතු දෙයකට අපි ඇලුම් කළොත් එය වෙනස්වෙලා යද්දී ‘දුක‘ කියන දේ හට ගන්නවා.

මෙහෙම හිතන්න. තරුණ දුවක් හා පුතෙක් ප්‍රේමයෙන් වෙළෙනවා. ඔවුන්ට ඒ සබඳතාව තුළ ආශ්වාදයක් තිබෙනවා. නමුත් යම් කලක් ගතවෙද්දී ඒ හැඟීම් ඒ ආකාරයට ම තිබෙන්නේ නැහැ. ඇතැම් විට ඒ දෙදෙනාට ඒ දෙදෙනා ව දැනෙන ස්වභාවය කාලයත් සමඟ වෙනස් වෙන්නට පුලුවන්. පෙර තිබුණු ආදරය අඩු වී යන්නට පුළුවන්. අපි කො තරම් අකැමැති වුණත් ආශා කරන හැඟීම් අනිත්‍ය වී යෑම නවතන්නට බැහැ. එවිට චිත්ත අභ්‍යන්තරයේ ඇතිවන්නේ දුකක්. එයට හේතුව අනිත්‍ය වූ දෙයකට අධික සේ ඇලුම් කිරීම යි.

ඒවා අපට කැමැති පරිදි අපේ වසඟයේ පවත්වන්නට බැහැ. එනිසා අප වටා සිටින අය අපට අවශ්‍ය පරිදි අපේ කැමැත්තට අනුව පවත්වන්නට බැහැ කියන දේ (අනාත්ම) යම් අයකුට තේරුම් ගන්න පුළුවන් නම්, ඒ තුළම ජීවිතයට විශාල රැකවරණයක්, විශාල පහසුවක් ලැබෙනවා. ඒ වගේම ජීවිතයේ විශාල දුක් කන්දරාවක් නැති වී යනවා. එහෙම කෙනා විවිධ හැඟීම්වලට, විවිධ මනෝ භාවයන්ට මුළාවෙලා විපතේ වැටෙන්නේ නැහැ.

මට ඕන ආකාරයට ම මගේ සමීපතමයාත් ඉන්නට ඕනෑ කියන අදහස අප කා තුළත් තිබෙනවා. එය සාධාරණ ද?

අපි දන්නවා බොහෝ විවාහක පවුල් තුළ මේ ප්‍රශ්නය තිබෙනවා. ඇතැම් පවුල් දෙදරා යාමට තරම් මේ ප්‍රශ්නය සංකීර්ණ යි. එකිනෙකා ව අසාමාන්‍ය ලෙස පාලනය කරන්නට උත්සාහ කරනවා. බුදුදහම තුළ කියැවෙන සත්‍යය ඔවුන් වටහාගෙන නැහැ. ස්වාමියා තමාට ඕනෑ ආකාරයට බිරිඳ පවත්වන්නට උත්සාහ කරනවා. බිරිඳ ද, ස්වාමියා ව තමාට ඕන ආකාරයට පවත්වන්නට උත්සාහ කරනවා. ඒ ආකාරයට සිදු නො වන විට ඇතිවන්නේ ගැටීම යි. අපි තව කෙනකුට ආදරය කළත්, ඔහුගේ හෝ ඇයගේ හෝ හැඟීම්, දැනීම් අනිත්‍ය යි. ඒ අනිත්‍ය තුළ ඔහු හෝ ඇය හෝ අපට ඕනෑ ආකාරයට පවත්වන්න බැහැ. අනාත්ම යි. මෙය වටහාගෙන කටයුතු කිරීම තුළ ජීවිතයේ බොහෝ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලැබෙනවා.

ඒ වගේම ඇතැම් මවුපියන් තමන්ගේ දරුවන් තමාට කැමැති අච්චුවට දාලා හදාගන්නට උත්සාහ කරනවා. දරුවන්ගේ රුචි අරුචිකම්, දක්ෂතා, අදක්ෂතා ගැන සිතන්නේ නැහැ. අපි එකිනෙකාට වෙනස් පුද්ගලයන් බව තේරුම් ගන්නේ නැහැ. මේ නිසා බොහෝ සමාජීය ගැටලු හටගන්නවා. දරුවන් වගේම මවුපියන් ද විපතේ වැටෙනවා. එනිසා අපගේ සමීපතමයන් හැමවිට ම පාලනය කරන්නට යන්නේ නැතිව ඔවුන් තේරුම් ගන්නට උත්සාහ කළ යුතුයි. නිදහසේ ජීවත් වීමට ඔවුනට ඇති අයිතියට බලපෑම් නොකළ යුතුයි.

කොතරම් සමීප වුණත් කවර වූ හෝ කෙනෙකු අපට ඕනෑ ආකාරයට පාලනය කරමින් පවත්වන්නට උත්සාහ කළොත් එතැන ඇති වන්නේ අර්බුදයක්. මේ සත්‍ය වටහා ගන්නා අය තවත් කෙනකු සමඟ යම් බැඳීමක් ඇති වුණත් ඒ බැඳීම්වල යථාර්ථය දෙස අවබෝධයෙන් යුතු ව බලන්න උත්සාහ කරනවා. එවිට යම් යම් දේ වෙනස් වෙද්දී ඒ දේ දරා ගන්නට ඔහුට පුළුවන්කම ලැබෙනවා.

ස්වාමීන් වහන්ස, බුදුදහම තුළ කියැවෙන නිස්සරණය මෙවැනි ගැටලුවලට විසඳුමක් වන්නේ කොහොම ද?

නිස්සරණය කියන්නේ නිදහස් වීමයි. ඒ නිදහස අපට උදාවෙන්නේ, අප කැමැති දේට යම් තෘෂ්ණාවක් තිබෙනවා නම් ඒ තෘෂ්ණාව කෙනෙක් ඉතිරි නැති ව ප්‍රාහාණය කිරීමෙනුයි. එවිට ඒ දෙයින් ඔහු නිදහස් වෙනවා.

ජීවිතය නම් වූ ලෝකය තුළ තිබෙන ආශ්වාදය, ආශ්වාදය ලෙස තේරුම් ගෙන ආදීනවය, ආදීනවය ලෙස තේරුම් ගෙන මේ ජීවිතය නම් වූ ලෝකයට තිබෙන ඇල්ම, තෘෂ්ණාව ඉතිරි නැතුව නිරුද්ධ කරන උතුමන්ට ‘රහතන් වහන්සේ‘ කියා කියනවා. සාමාන්‍ය ජීවිතයක් ගත කරන ඇතැම් කෙනකුට මෙහෙම ගැඹුරු අවබෝධයක් නැති වෙන්න පුළුවන්. නමුත් ධර්මයට අනුව ජීවිතය ගැන යම් මට්ටමකට කල්පනා කරලා අපි එදිනෙදා ජීවිතය ගත කරද්දීවත් මේ දහම් සංකල්පය අපට ගළපාගෙන ඒ තුළින් ජීවිතය දෙස බලන්න උත්සාහ කළොත් බොහෝ පවුල්වල තිබෙන ගැටලු ගණනාවකට විසඳුම් ලැබේවි.

දුකෙන් පිරුණු මේ ජීවිතයට සැනසිල්ලක් උදා කර ගැනීමේ මඟ දහම අනුව තේරුම් ගන්නේ කොහොම ද?

මෙහෙම හිතන්න. ඔබ ඔබේ ශරීරය තුළ තෘප්තිමත් ද? ඇතැම් විට ඔබට සිතේවි මම තව ටිකක් උස ගියා නම්, ටිකක් මහත් වුණා නම්, කෙට්ටු වුණා නම්, සුදු වුණා නම්, කොණ්ඩය දිග වුණා නම් හොඳයි කියා. උපතින් කර්මානුරූපී ව ලැබුණු මේ ශරීරය ගැන අපට තෘප්තියක් නැහැ. එතැන දී සැනසිලිදායක නැති බවක් තිබෙනවා. ඒ වගේම ගොඩාක් ධනය තිබෙන කෙනෙක් දුටුවිට අපට සිතෙනවා ඔවුන් සතුටින්, සැනසීමෙන් ඉන්නවා කියලා. නමුත් ඔවුන්ගේ ජීවිතයට එබී බලපුවාම පෙනෙනවා සැනසිලිදායක නැතිබවක් ඒ ජීවිතවල තිබෙනවා කියලා. ඒ නිසයි රට්ඨපාල මහරහතන් වහන්සේ වදාළේ ‘

"ඌණෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ" කියලා. ඒ කියන්නේ, මේ ජීවිතය නම් ලෝකය ඌණයි. ඒ කියන්නේ අසම්පූර්ණ යි. තෘප්තියට පත් කොට අවසන් කළ නොහැකියි. එනිසා ම සත්ත්වයා තෘෂ්ණාවට දාස වී කටයුතු කරනවා. මේ යථාර්ථය හොඳීන් තේරුම් ගෙන වාසය කිරීම තුළ ජීවිතයට විශාල සැනසිල්ලක් ඇති වෙනවා.

වප් පුර පසළොස්වක

ඔක්තෝබර් 06 සඳුදා අ.භා 12.22 පුර පසළොස්වක ලබා 07 අඟහරුවාදා පූ.භා. 09.17න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]