දුක සදන මූලය අනිත්‍යයයි - දන්කන්දේ ධම්මරතන හිමි
සියලුම සංස්කාරයන් වෙනස් වෙවී යන බව බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා.
යද නිච්ඡං තං දුක්ඛං - යමක් අනිත්‍ය නම් එය දුකක් කියන එකයි එහි අදහස.
උන්වහන්සේ බොහෝ අවස්ථාවල විමසා තිබෙනවා භික්ෂුන් වහන්සේගෙන්,
“මහණෙනි, මේ රූපය නිත්‍යද? අනිත්‍ය ද? වේදනාව නිත්‍ය ද? අනිත්‍ය ද? ආදී වශයෙන්.
භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා.
“අනිත්‍යයි” කියා. ඉන් පසු ව බුදුරජාණන් වහන්සේ අසනවා,
“මේවා අනිත්‍ය නම් දුකක් ද මහණෙනි? සැපක් ද?” කියා. එතකොට භික්ෂූන් වහන්සේ පිළිතුරු
දෙනවා. “දුකක්” කියා.
යද නිච්ඡං තං දුක්ඛං
යමක් අනිත්‍ය නම්, එය දුකක් කියා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා.
යමක් අනිත්‍ය නම් එය දුකක් කියන කාරණය තමන් විසින් අවබෝධ කරගත යුතු වෙනවා. එහිදී
තමයි, අපට දුක්ඛ සත්‍යය පිළිබඳ ව තරමක් දුරට ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකියාව
ලැබෙන්නේ. මේ දුක්ඛ සත්‍යය ආදී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නේ නැතිව, කිසිම කෙනකුට,
කවදාවත් නිවන් ලබන්නට බැහැ. ඒ නිසා හැම කෙනෙක් ම උත්සුකව, අනලස් ව කටයුතු කරන්නට
ඕනෑ.
චතුරාර්ය සත්‍ය ධර්ම කියන්නේ සම්මා දිට්ඨිය යි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවෙන්
දක්වා ඇත්තේ සම්මා දිට්ඨිය නමැති ආර්ය අෂ්ටාංගික මාර්ගාංගය යි.
ඒ සම්මා දිට්ඨිය විස්තර කරන බොහෝ අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ, කතමාව භික්ඛවේ
සම්මා දිට්ඨි? කියා විමසා තිබෙනවා.
“කුමක් ද මහණෙනි සම්මා දිට්ඨිය?”
තං ඛෝපණ භික්ඛවේ දුක්ඛේ ඤාණං දුක්ඛ සමුදය ඤාණං දුක්ඛ නිරෝධ ඤාණං දුක්ඛ නිරෝධ ගාමිණී
පටිපදා ඤාණං කියා ප්‍රකාශ කර තිබෙනවා.
“මේ දුක ය, දුක ඇති වීමට හේතුව ය. දුක නැති කිරීම ය, දුක නැති කිරීමේ ක්‍රියාමාර්ගය
ය. කියන ඒවා පිළිබඳ ව අවබෝධය තමයි මහණෙනි සම්මා දිට්ඨිය කියන්නේ.” කියා වදාළා.
සම්මා දිට්ඨිය කියන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක්.
තං ඛෝපනිදං දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං භාවේ තබ්බං.
මේ දුක්ඛ නිරෝධ ගාමිණී සත්‍යය, 'භාවේ තබ්බං' භාවිත කළ යුතුයි. ප්‍රගුණ කළ යුතුයි.
වැඩිය යුතුයි. තමා තමා විසින් ම ඒ ගුණධර්ම දියුණු කර ගත යුතුයි කියන අදහස ඇති කර
ගන්නට ඕනෑ.
සම්මා දිට්ඨිය දියුණු කර ගත යුතු වන්නේ, පළමුවෙන් ම පොත්පත්වලින් කියවා, ධර්ම දේශනා
අහලා. ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන, ඒ අවබෝධය තමාගේ ම සිතින් පැහැදිලි ලෙස,
ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධයක් ඇති වන ආකාරයෙන් සිතා, තමාට ම ඒ කියූ කරුණු සත්‍ය යැයි
කියන හැඟීමක්, අවබෝධයක් ඇති කර ගන්නට ඕනෑ. එසේ ඇති කරගත් අවබෝධයෙන් පමණක් නිවන්
ලබන්නට බැහැ. භාවනාව තුළින්, භාවනාමය ප්‍රඥාව තුළින් ඒක අත්දකින්නට ඕනෑ. එතකොට තමයි
පහසුවෙන් සම්මා දිට්ඨි ආදී අංග දියුණු කර ගන්නට හැකි වන්නේ.
යමක් අනිත්‍ය නම් ඒක දුකයි. හැම දුකක් ම ඇති වීමට හේතුවක් තිබෙනවා. ඒ හේතුව
තිබුණත්, දුක් ඇති වන්නේ අනිත්‍යතාව නිසා ම යි.
උදාහරණයක් වශයෙන් ප්‍රකාශ කළොත්, හැම දවසක ම නීරෝගි ව ඉන්නට පුළුවන්කමක් නැහැ.
නීරෝගි භාවය නිත්‍ය ධර්මයක් නම්, අනිත්‍යයට යන්නේ නැති නම්, එතකොට රෝග පීඩා දුක්
කවදාවත් ඇති වෙන්නේ නැහැ. නීරෝගිභාවය කියන එක නිත්‍ය ධර්මයක් නොවෙයි. අනිත්‍ය
ධර්මයක්. ඒ නිසා විවිධ රෝග, ව්‍යාධි ඇති වෙනවා. මේ රෝග ව්‍යාධි එකක් දෙකක් නොවෙයි,
හිසේ සිට පාදාන්තය දක්වා කවර තැනක හෝ අනේකවිධ රෝග පීඩා ඇති වෙනවා. සත්ත්වයකුට සියලු
ම දුක් අනුභව කරන්න වෙන්නේ, නීරෝගිභාවය අනිත්‍යයට යන ධර්මයක් නිසයි.
හැම කෙනකු ම වගේ තරුණ ජීවිතයක් ගත කිරීමට කැමැතියි. නමුත් තරුණභාවය හැමදාම තියා
ගන්නට පුළුවන් දෙයක් නොවෙයි. ඒක අනිත්‍ය වූ ධර්මයක්. තරුණකම අනිත්‍යයට යන නිසයි,
ජරා දුක් විඳින්නට සිදුවන්නේ, තරුණකම නිත්‍ය ධර්මයක් නම් කෙනකුට කවදාවත් ජරාවට,
මහලු බවට පත් වීමේ දුකක් ඇති වන්නේ නැහැ.
ඉතින් ජරාවට පත් වුණාට පස්සෙයි, කෙනකුට ජරාවට පත් වීමේ දුක බොහෝ විට ප්‍රකට ව
දැනෙන්නේ. තරුණ භාවයේ සිටින අයට ඒක තේරුම් ගැනීමට අපහසුයි. තේරුම් ගන්නට උත්සාහ
ගන්නෙත් නැහැ.
දුක කියන එක කොයිතරම් ප්‍රබල එකක් ද කියා හැම කෙනකු ම පැහැදිලි අවබෝධයක් ඇති කර
ගන්නට ඕනෑ. ‘මේ ජරා දුක ඇති වන්නේ අන් කිසිවක් නිසා නොව, අනිත්‍යතාව නිසයි’ කියන
හැඟීම ඇති කර ගැනීම සුදුසුයි. ඒ හැඟීම සම්මා දිට්ඨියක් බවට පත් වෙනවා.
ඊට අමතර ව මේ ශරීරය මරණයට පත් වෙනවා. හැමදාම ජීවත් වෙනවා නම්, කෙනකුට මරණ දුකක් ඇති
වන්නේ නැහැ. මේ මරණ දුක පැමිණෙන්නේ අන් කිසිවක් නිසා නොවෙයි, ජීවිතය සදාකාලික
වශයෙන්, ඉෂ්ට වශයෙන් නොපවතින ධර්මයක් නිසා. ඒක අනිත්‍ය ධර්මයක් නිසා. ජීවිතයේ ආයු
සංස්කාර අනිත්‍ය ධර්මයක් වන බැවින්, මරණ දුක කෙනකුට අත්දකින්නට සිදු වෙනවා. මේ අයට
මරණය කිව්වාම, ඉතා සුළු කාරණයක් සිහිපත් වන්නේ. එහෙම නොවෙයි, ඒක පිළිබඳ ව විශාල
වශයෙන්, පෘථුල වශයෙන් සිතලා කල්පනා කරන්නට ඕනෑ. මේ මරණය කොයි ආකාරයෙන් සිදුවනවා ද
කල්පනා කිරීමෙන්, කොයි විදිහට අප සංසාරයේ දී මැරිලා තිබෙනවා ද කියා කල්පනා
කිරීමෙන්, මරණ දුක ගැන ටිකක් ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා.
දියේ ගිලී මැරෙනවා. සමහර අය පිච්චිලා මැරෙනවා. වෙඩි පහර ආදියෙන් මැරෙනවා. අනතුරුවලට
භාජනය වෙලා මැරෙනවා. නැතිනම් හුස්ම හිර වෙලා මැරෙනවා. විවිධාකාර මරණවලට පත් වෙනවා.
මේවා අනුව කල්පනා කරන කොට, මේ මරණ කොයිතරම් නම් දුකක් ද? මෙවැනි දුක් අපි සංසාරය
පුරා මොනතරම් වින්දා ද කියා,විශේෂයෙන් තිරිසන් සත්ත්වයන් වෙලා ඉන්නකොට, අනෙක් සත්තු
ඇවිත් පණපිටින් කෑලි කෑලි කඩ කඩා කනවා. දුක් විඳලයි ඒ සතා මරණයට පත් වෙන්නේ. ආදී
වශයෙන් මරණ දුක ගැන කල්පනා කරන කොට, දුක්ඛ ඥානය දුක පිළිබඳ නුවණ, තරමක් හෝ දුරට
තමන්ට ඇති කර ගන්නට පුළුවන් වෙනවා. ඒ මරණ දුක ඇති වන්නේ අන් කිසිවක් නිසා නොවෙයි.
ජීවිතය ස්ථිර නොවන අස්ථිර ධර්මයක් නිසයි.
සත්ත්වයා මැරුණට පස්සේ ඒ ශරීරය ඇසුරු කර ගෙන පැවතී දුක් එතැනින් නිම වෙනවා. නමුත්
දුකේ කෙළවර එතැන නොවෙයි. සසරේ කුමන තැනක හෝ ඒ සත්ත්වයා උපදිනවා. ඒ ඉපදීම කියන්නේ -
ජාතිපි දුක්ඛා, නැවත ඉපදීම ම දුකක් බවට පත් වෙනවා. විඳින්නට තිබෙන දුක් නැවත නැවත
විඳින්නට සිදු වෙනවා. මේ ජාතිය ගෙන දෙන නිසා. ජාතියක් නැත්නම් දුකක් නෑ. ජාතිය
තිබෙන තාක්, දුක එතැන තිබෙනවා. එතකොට මරණය කියන එක ස්ථාවර දුකක් බවට පත් වෙනවා.
රහතන් වහන්සේ නමක් පිරිනිවන් පෑවට පස්සේ එතැන කිසි දෙයක් නෑ. පහනක් නිවුණාට පසුව
වගේ, එතැනින් නිවී නිම වෙනවා. ඒ සත්ත්වයා නොවෙයි සාමාන්‍ය ලෝක සත්ත්වයාගේ නාම රූප
ධර්ම තුළ පවතින්නේ. ඒ නාම රූප ධර්මයන් මරණයෙන් නැති වී ගියාට පසුව, තව තැනක පහළ
වෙනවා. මේ නැති වී යෑම ස්ථිර ධර්මයක් නොවෙයි. අස්ථිර ධර්මයක්. ඒ නිසා නැවත නැවත
ඉපදීමක් ගෙන දෙනවා.
ඉපදීම නිසා ම නැවත නැවත අනන්ත අප්‍රමාණ දුක් කම්කටොලු සිදුවෙනවා. මේ අවස්ථාවේ මේ
ශරීර පංචස්කන්ධ ලෝකයේ රූපස්කන්ධය පවතින තාක් කල්, ඒ පැවතීමේ අනිත්‍යතාව නිසා විශාල
දුක් ගැහැට විඳින්නට සිදු වෙනවා.
පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ
සදහම් දේශනාවකිනි
- පියසිරි මාතරගේ |