ගැටලු හා ප්‍රශ්න යෝනිසෝමනසිකාරයෙන් දකින්න ශාස්ත්‍රපති
ඕමාරේ පුඤ්ඤසිරි හිමි
ගැටුම්වලින් තොරව සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීමේ වැදගත්කම ඉතා හොඳින් සහ නිරවුල්
ව දේශනා කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේ ය.
බුදුරජාණන් වහන්සේ මිනිස් සමාජය තුළ ඇතිවන ගැටලු අස්වාභාවික ලෙස නො දකී. අසුභවාදී
හෝ සුබවාදී හෝ ලෙස ද නො දකී. විසඳුම් නොමැති ගැටලු ලෙස ද දකින්නේ නැත.
අපූර්ණත්වයේ සිට පූර්ණවත්වය කරා පැමිණීමේ දී ඉතා හොඳ එළඹුමක් ඉදිරිපත් කොට ඇත. එනම්
යෝනිසෝමනසිකාරයෙන් බැලීමයි. එය ගැටලුවක් හෝ ප්‍රශ්නයක් හෝ ඇති වූ විට එදෙස මුල සිට
අග දක්වා විචාරශීලී ව හා විධිමත් ව කරුණු විමසා බැලීමේ ක්‍රමයකි. මෙම ක්‍රමය
අනුගමනය කිරීමෙන් මිනිසා මුහුණපාන ඕනෑම ගැටලුවක් විසඳාගත හැකි බව බුදුසමය අවධාරණය
කරයි.
බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායට අයත් රෝග සූත්‍රයේ දී දේශනා කොට ඇත්තේ මිනිසාට
වැලඳෙන රෝග දෙකක් ඇති බවයි. එනම්, කායික රෝග හා මානසික රෝග යි.
මෙහිදී මානසික රෝග හටගැනීමට මුල් වන මනෝභාවයන් තුනක් පැහැදිලි කරයි. එනම් ලෝභ,
ද්වේශ හා මෝහය යි. මෙම මනෝභාවයන් මඟින් ඕනෑ ම මිනිසකු නරක ජීවියකු බවට පත් කර විය
හැකි බව බුදුරදුන් දේශනා කරයි. අරගලවලට, භේදභින්න තත්ත්වයන් ඇතිවීමට, විවිධාකාර
ගැටුම්වලට මුල්වනුයේ මෙම මනෝභාවයන් ය. මෙම පාපී සිතිවිලි පරම්පරාව මඟින් මමත්වයෙන්
යුතු ව තමන් ගැන පමණක් සිතන, තමා අයත් ජනවර්ගය පමණක් උසස් යැයි සිතන මානසික තත්ත්වය
වර්ධනය කරයි.
අනෙකුත් ජනවර්ග පහත් කොට තමන්ගේ ජනවර්ගය, ආගම පමණක් උසස් ය යන මානසික සිතිවිල්ල
ප්‍රකාශිත ගැටුමකට මූලබීජයන් සපයයි. සියලු අයිතීන් සහ වරප්‍රසාද තම ජන වර්ගයාට
පමණක් ලැබිය යුතු ය. තමන්ගේ ආගමික කණ්ඩායමට පමණක් වරප්‍රසාද දිය යුතු ය යන සිතිවිලි
සාමයට සහ සහජීවනයට බාධා පමුණුවන බව බුද්ධ දේශනාවේ අන්තර්ගත වේ.
ගැටුම් මුලින්ම හටගනුයේ මිනිස් මනසේ ය. බුදුරදුන් වදාළ ධර්මයට අනුව අපිරිසුදු මනස
පිරිසුදු කර ගත යුතු ය.
ඕනෑම ජන වර්ගයකට, කුලයකට, අයත් අය බුදුරදුන් තම සංස්ථාවට බඳවා ගත්තේ ය. නූතනයේ
වුවත් සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම ජන වර්ගයකට අයත් කෙනකුට බුදුසසුනේ පැවිදිවීමේ
නිදහස තිබේ. කුමන ජනවර්ගයකට අයත් වුව ද ඒ සියලු දෙනා ම සලකනුයේ මහා සංඝරත්නය ලෙසයි.
මෙයින් පැහැදිලි වන්නේ, පටු වර්ගවාදය, කුලවාදය, ජාතිවාදය මිථ්‍යාවක් බව නොවේ ද? අද
අප සිංහල වුවත් ඊළඟ උපත කෙසේ වේ දැයි අපට කිව හැකි ද?
සියලු කෙලෙසුන් නසා රහත් භාවයට පත්වීමටත්, ඉන් මෙහා ඇති සියලු ම ආධ්‍යාත්මික ඉහළ
තත්ත්වයන් ළඟා කර ගැනීමේ හැකියාවත් සියලුම මිනිස් වර්ගයාට ඇති බව බුදුරදුන් අවධාරණය
කොට ඇත.
වසල සූත්‍රයේ දී බුදුරදුන් පෙන්වා දී ඇත්තේ කෙනෙක් උපතින් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක්
හෝ නොවන බවයි. වසලයෙක් හෝ බ්‍රාහමණයෙක් හෝ වනුයේ කරනු ලබන ක්‍රියාව අනුවයි. වාසෙට්ඨ
සූත්‍රයේ දී බුදුරදුන් මිනිස් වර්ගයා ම එකම ජාතියකට අයත් බව තර්කානුකූල ව පෙන්වාදී
තිබේ. මජ්ක්‍ධිම නිකායේ මධුපිණ්ඩික සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛක්ඛන්ධ
සූත්‍රය, සුත්ත නිපාතයේ කලහ විවාද සූත්‍රය, දීඝනිකායේ දසුත්තර සූත්‍රය වැනි
සූත්‍රවලින් ආශාව හේතු කොට ගෙන පාපී ක්‍රියාවන් වන ගැටුම්, කලකෝලාහල, අමනාප සහගත
ඛේදනීය තත්ත්වයන් ඇතිවන බව බුදුරදුන් පෙන්වා දී ඇත.
බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මිනිසුන් වශයෙන් අප සියලු දෙනා ම එකම මිනිස්
කුලයකට අයත් බව ඉතා පැහැදිලි ය. එය වර්ග භේදවලින් තොරව අප හැමෝම තේරුම්ගත යුතු
සත්‍යයකි. බුදුරදුන් ගොඩනඟන ලද පරමාදර්ශී සමාජය වන පැවිදි සමාජය තුළ මෙම තත්ත්වය
කෙසේවත් පැවතීමට ඉඩක් නැත. සමානාත්මතා දහම බෞද්ධයාගේ ප්‍රාර්ථනාව තුළින් ද පැහැදිලි
වේ.
“අපාදකේහි මේ මෙත්තං - මෙත්තං දිපාදකෙහි”
සියලු සත්ත්ව වර්ගයා වෙත සිදු කරනු ලබන එම ප්‍රාර්ථනාව මඟින් බුදු සමයේ ජීවහිතවාදී
පදනම මොනවට පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයෙන් දේශනා කර ඇත්තේ
මෛත්‍රිය සියලු ලෝකවාසීන් වෙත පතුරුවා හරින ලෙසයි.
“සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගි වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා.”
මෙම මෙත් වැඩීමට අයත් වන්නේ ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව පමණක් නොවේ. තායිලන්ත
බෞද්ධයන්, මියන්මාර බෞද්ධයන් මෙන් ම සමස්ත ලෝකවාසී ජනතාව ම අයත්වන බව අප තේරුම් ගත
යුතු ව ඇත. එපමණක් නොව, විශ්වයේ ජීවත්වන සියලුම ජීව ලෝකය එයට ඇතුළත් වෙයි. මෙම
ප්‍රාර්ථනාව තුළ දක්නට ඇත්තේ මානව හිතවාදී බව ඉක්මවා ගිය සමස්ත ජීව හිතවාදී භාවය
යි.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා'යි ප්‍රාර්ථනා කොට සෙසු ජන වර්ගවලට වෛර කළ නොහැකි ය.
බෞද්ධ ජනතාව විශේෂයෙන් තේරුම් ගත යුත්තේ බෞද්ධ ඉගැන්වීම්වලට අනුව සහජීවනය, සාමය,
සතුට, සංහිඳියාව, ළඟා කර ගැනීමට වඩාත් ශක්තියක් අප සතු ව පවතින බවයි. |