අට මහා පින්කම්
ඌරුගමුවේ අස්සජී හිමි
අටමහා පින්කම් අතර ප්‍රමුඛතම පින්කමන් වන්නේ කඨින චීවර පූජාවයි.
මහ පොළොව මෙන් කිසි කලෙකත් කම්පා නොවන, මහාමේරු පර්වතය මෙන් අධික සුළඟින් නොසෙල්වෙන
ඒකඝන වජිර පර්වතය මෙන් නොබිඳෙන ස්ථාවර ගරු පුණ්‍ය කර්මයකි.
අට මහා පින්කම් අතර දෙවැන්න අටපිරිකර පූජාවයි. භික්ෂුන් වහන්සේ නමකට එදිනෙදා දිවි
විහරණයට අවශ්‍ය පිරිකර අටක් එක්කොට තැනූ මූලික පිරිකර අටක් මෙයට ඇතුළත් ය. ඒවා නම්
තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය, පාත්‍රය, දැළිපිහිය, ඉදිකටුව, කාය බන්ධනය (පටිය) සහ
පෙරහන්කඩ යි. මේවා බුදුරජාණන් වහන්සේගේ අනුමතයෙන් පිළිගැනී ඇත. සිද්ධාර්ථ ගෞතම
බෝසතාණන් වහන්සේ පැවිද්දට පත් වූ අවස්ථාවෙහි ඝටීකාර බ්‍රහ්මයා විසින් මෙම අටපිරිකර
උන්වහන්සේට පිදූ බව සඳහන් වෙයි.
ආවාස පූජාව තෙවැන්න යි. මෙයින් අදහස් කෙරෙන්නේ ආවාස, නිවාස පූජා කිරීමයි. මෙම පූජාව
කළ තැනැත්තා දිවා රෑ පින් රැස්කර ගන්නා බවත්, සියලු දෙය පූජා කළා වැනි බවත් සඳහන්
ය.
සංයුක්ත නිකායෙහි මෙසේ සඳහන් වෙයි. “තෙසං දිවා ච රත්තො ච සදා පුඤ්ඤාභිවඩ්ඪති සො ච
සබ්බ දදෝ හොති යො දදාති උපස්සයං”
අට මහා පින්කම් අතරට බුද්ධ ප්‍රමුඛ සඟසතු මහා දානය ද ඇතුළත් වෙයි. දාන පූජාව විවිධ
ක්‍රමයට සිදු කරන කුසලයකි. සඟසතු කොට දන් දීමේ දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ව දෙන
දානය බුද්ධ ප්‍රමුඛ දන්දීම ලෙස මෙහි දී අදහස් වෙයි. ධර්මය ලිවීම ද අටමහා පින්කම්
අතර එකකි. ධර්මය ඉගෙනීමට උපකාරී වන ලෙස ධර්ම ග්‍රන්ථ, ධර්ම පත්‍රිකා, ධර්ම ලිපි
ලිවීම හා ඒවා ප්‍රචාරයන්ට අනුග්‍රහය දැක්වීම මෙයින් අදහස් වෙයි.
ඛෙත්ත දාන හෙවත් කුඹුරු හා ඉඩකඩම් පූජා කිරීම ද අට මහා පින්කම්වලට අයත් ය. සසුනේ
චිර පැවැත්මට හා ව්‍යාප්තියට එමඟින් සිදු වනුයේ සුවිශාල අනුග්‍රාහකත්වයකි. එය ද
සැමදා පින් වැඩෙන පින්කමක් බවට පත්ව ඇත්තේ එබැවිනි.
සත් වැනි අට මහා පුණ්‍ය කර්මය බුද්ධ ප්‍රතිමා ඉදිකරවීමයි. ත්‍රිවිධ චෛත්‍ය විස්තර
වන තැන උද්දේසික චෛත්‍යය යනුවෙන් සඳහන් වන්නේ බුද්ධ ප්‍රතිමාවලට වැඳුම් පිදුම්
කිරීම ය. බුදුරදුන් ධරමාන සමයේ දී ම බිම්බිසාර රජු විසින් කරවන ලද රත්සඳුන් බුද්ධ
ප්‍රතිමාවක් පිළිබඳ කරුණු කෝසලබිම්බ වර්ණනාවෙන් හමුවෙයි. දඹදිව ගන්ධාර, මථුරා,
ගුප්ත, අමරාවතී යන සම්ප්‍රදායන් ඔස්සේ පසුකාලීන ව ලොව අග්‍රගණ්‍ය බුද්ධ ප්‍රතිමාවන්
නිර්මාණය විය. ඊට නොදෙවැනි ආකාරයට සිරිලක බුද්ධ ප්‍රතිමා කලාව ද ඉතා සංවර්ධිත
තත්ත්වයකට පත් වුණි.
අට මහා පින්කම් අතර අවසාන පින්කම ලෙස ඉගැන්වෙන්නේ වච්චකුටි පූජාව හෙවත් වැසිකිළි
පූජාවයි. ජනී ජනයාගේ සුව පහසුව වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම් ඇති කරවීමේ වැදගත්කම
නිසා මෙය අටමහා පින්කම්වලට ඇතුළත්ව ඇත. |