[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කඨින පින්කමේ උදාරත්වය

කඨින පින්කමේ උදාරත්වය

උපසම්පන්න භික්ෂූන් වහන්සේ නමක් ඇසළ පුර පසළොස්වක් පොහෝ දිනයේදී පෙහෙවස් සමාදන් වී වප්පුර පසළොස්වක් පොහෝ දිනයේ දී මහා පවාරණය සිදුකොට ඊළඟට එළඹෙන ඉල් පොහෝ දිනය දක්වා කාලය තුළ වස් සමාදන්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් කඨින චීවරයක් පිළිගැනීමට හැකියාව ඇති බව බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන ලදී.

ඒ බව කඨිනක්ඛන්ධකයේ එන අනුජානාම් භික්ඛවෙ වස්සානං වුත්තානං කඨිනං අත්ථරිතුං අත්ථත කඨිනානං වො භික්ඛවෙ පඤ්ච කප්පිස්සන්ති අනාමත්තවාරො අසමාදාචාරො, ගණභොජනං යාවදත්ථචීච රුප්පාදො යොච තත්ථ චීවරුප්පාදො”

යන දේශනා පාඨයට අනුව ඒ බව පැහැදිලි වේ. ඒ අනුව කඨිනය ලබා ගන්නා භික්ෂූන් වහන්සේට අනාමත්තචාර - පන්සලේ සිටින අනිත් අයට නොදන්වා පන්සලෙන් පිටත්වී ගෙවල්වලට යාමේ අවසරය ලැබීම, අසමාදානචාර අධිෂ්ඨාන කළ තුන් සිවුර නැතිව ගමන් යාමේ හැකියාව, ගණ භෝජනය - හතරනමකට වැඩි ඕනෑම තැනකට ගොස් වැළඳීම, යාවදත්ථචීවර - අධිෂ්ඨානයකින් තොරව දින දහයකට වඩා අතිරේක සිවුරු වැඩි වශයෙන් තබා ගැනීම, යොච තත්ථ චීවරුප්පාද - සැම පිරිකරකම අයිතිකරුවීම යන ආනිසංස පහ ලැබේ. එසේම කඨින චීවර පූජාව කරන තැනැත්තාට ද විශාල ආනිසංස දායක පින්කමක් වශයෙන් මෙය දැක්විය හැකිය. එවැනි පින්කමකින් ලැබෙන ආනිසංස කොතෙක්ද යන්න කඨින යන වචනය සඳහා දී ඇති අර්ථවලින් ම පැහැදිලි වේ.

පඨවීරීව න ජාතු කම්පතෙ
න චලති මෙරුරිවාති වායුනා
වජිරම්ව න භිජ්ඣතෙ සනං
තමි ද මතො කඨිනත්ති වුච්චති

අපි මහපොළොව උදැල්ල, අලවංගුව ගෙන කොතරම් හෑරුවත් සියලු කුණු රොඩු ආදිය මහපොළොවෙහි දැමුවත් මහපොළොව කිසිදා කම්පා වන්නේ නැත. මහාමේරු පර්වතය ලෝක විනාශයේ දී හැරුණු කොට කිසිදු කුණාටුවක දී සෙලවිය නොහැකි ය. දියමන්ති කන්දක් සාමාන්‍ය කුලු ගෙඩියකින් කඩා දැමිය නොහැකි ය. එසේම කඨින පින්කමකින් ලැබෙන පින ද එසේම ය. එම නිසා එවැනි පින්කම් කඨින යැයි කියනු ලැබේ. මෙවැනි පින්කම් එක් විහාරස්ථානයක එක් වර්ෂයක් තුළ පැවැත්විය හැක්කේ එක් වතාවක් පමණි. එසේ උසස්, දුර්ලභ, ශක්තිමත්, කඨින පින්කම සම්බුද්ධ ශාසනයේ බැබළීමටත්, දායකයින්ගේ ගුණධර්ම දියුණුවටත් බෙහෙවින් ඉවහල් වේ. ඒ අනුව කඨින පින්කමේ උදාරත්වය කොතරම්ද යන්න පැහැදිලි වේ. සෙසු පින්කම්වලට වඩා කඨින පින්කමකින් ලැබෙන පින ද ආනිසංස දායක වේ. සතර අපයාදී දුක්වලින් මිදී සුගතිගාමී තත්ත්ව ලබා ගන්නටත්, සසර කෙටි කරගෙන නිවන් අවබෝධය ලබා ගැනීමටත් එය බෙහෙවින් ඉවහල් වේ. ඒ අනුව කඨින පින්කමේ උදාරත්වය කොතරම්ද යන්න පැහැදිලි වේ. සෙසු පින්කම්වලට වඩා කඨින පින්කමකින් ලැබෙන පින ද ආනිසංසදායක වේ. සතර අපයාදී දුක්වලින් මිදී සුගතිගාමී තත්ත්වය ලබා ගන්නටත්, සසර කෙටි කරගෙන නිවන් අවබෝධය ලබා ගැනීමට එය බෙහෙවින් ඉවහල් වේ. නාගිත ථෙරාපදානයේ දැක්වෙන නිවන් අවබෝධය ලබා ගැනීමටත් එය බෙහෙවින් ඉවහල් වේ.

නාගිත ථෙරාපදානයේ පහත ගාථාවෙන් ඒ බව පැහැදිලි වේ.

කඨින දානං දත්වාන සංඝෙ ගුණ වරුත්තමෙ
ඉතො තිංසෙ මහාකප්පේ නාභිජානාමි දුග්ගතිං

සංඝයාගේ උතුම් ගුණ සිහිකොට, ඒ උතුම් ගුණ සමුදායට කඨින දානයක් පූජා කොට මෙයින් කල්ප තිහක් යනතුරු, කිසිදු දුගතියක උප්පත්තිය නොලැබූ බව උන්වහන්සේ ප්‍රකාශ කරති. එපමණක් නොව කල්ප දහ අටක් දිව්‍ය ලෝකවල උප්පත්තිය ලැබූ බවත්, තිස් හතර වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර වශයෙන් කටයුතු කළ බවත් දක්වති. මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලැබුවේ නම් උසස් ම කුල දෙක වන බ්‍රාහ්මණ හා ක්ෂත්‍රීය කුලවල පමණක් උප්පත්තිය ලබා වෛශ්‍ය හා ශුද්‍ර කුලයන්හි කිසිදු ආත්මයක නොඉපදුන බවත් දක්වති. එහිදී ද 84 වතාවක් සක්විති රජ වූ බවත්, සිවුරේ මසන ලද නූල් පොටක් ගානේ සක්විති රජ කෙනකුට ලැබෙන ශ්‍රී සම්පත්තිය වින්දනය කළ බවත්, උපනූපන් සියලු තැන්හි ම සැප සම්පත් ලැබූ බවත්, මිනිසුන් අතර උතුම් මිනිසකු හා දෙවියන් අතර උතුම් දෙවි නාමයෙන් පහළ වූ බවත් ඒ සියලු තැන්හි සෑම දෙනාටම පි‍්‍රයමනාප පුද්ගලයකු වශයෙන් සිටි බවත්, දක්වමින් කඨිනයෙහි ආනිසංස විස්තර කර තිබේ. අවසානයේ තමන් වහන්සේගේ ප්‍රාර්ථනා අනුව බුදුරජාණන් වහන්සේ නමක් සමීපයේ පැවිදි වී උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කළ බව ද කියැවේ.

තෙනෙව කුසලකම්මස්ස පියො’ හං දෙවමානුසෙ
තස්සේව භද්දකම්මස්ස පත්තෝස්මි අචලං පදං

මහාමේරූ පර්වතය තරම් උසට සිවුරු ගොඩ ගසා පූජා කළත් කඨින පින්කමකින් ලැබෙන ආනිසංස අතිවිශාල බව දක්වයි.

කඨින චීවරය සමඟ බොහෝ දෙනා වෙනත් පිරිකර ද පූජා කරනු දැකිය හැකි ය. ඒ අනුව එම පූජාව සිදුකරන දිනයේ සිදුකරන අනෙකුත් පූජාවන්ට ද කඨින චීවරයක් පූජා කිරීමේ ආනිසංස ම ලැබේ. එපමණක් නොව විවිධ පූජාවන් සඳහා ලැබෙන ආනිසංස පහත පරිදි ද පෙන්වා දිය හැකි ය.

කුඩ සේසත් පූජාව - සීත උෂ්ණ නැති කිරීම, රූප සම්පත්තිය ලැබීම ආදී කුසල අටකි.

සිවුරු පූජාව - රන්වන් පාට සිරුරු ලැබීම, අගනා කසී සළු ආදිය ලැබීම, අඹුදරු ඥාති ආදීන්ගේ හිඟයක් නැතිවීම.

දැලිපිහි පූජාව - ක්‍රියාශීලී බව, දැකුම්කලු හිසකෙස්, බාධක ජය ගැනීම.

ඉදිකටු නූල් පූජාව - රූප ශෝභාව, දේපළ ලැබීම, සැක නැතිකම හා තියුණු නුවණ

තෙල් බෙහෙත් පූජාව - නීරෝගීකම, රූපසම්පත්තිය

පාවහන් - යාන වාහන ලැබීම

ඇඳ පුටු පැදුරු පූජාව - වැදගත් දෙමවුපියන් ලැබීම, ආසන පහසුකම් හා සිනිඳු ඇඳුම් ලැබීම.

පිරිසුදු ආහාර පූජාව - ආයු සම්පත්තිය, බලවත් බව හා පිරිස් බලය ලැබීම යන ආනිසංස හිමි වේ.

මේ හේතුව නිසා බොහෝ දෙනෙක් කඨින චීවර පූජාවක් පැවැත්වීම සඳහා උනන්දු වන බව පෙනේ. අතිවිශාල වශයෙන් දායක හා ප්‍රතිග්‍රාහක යන දෙපිරිසට ම ආනිසංස ලැබෙන සම්බුද්ධ ශාසනයේ අටමහ පින්කම්වලින් පළමු පින්කම වශයෙන් ද මෙය හැඳින්විය හැකි ය.

ශාසනික වශයෙන් වෙනත් පින්කමක් කරනවාට වඩා කඨින පින්කමක් වඩා වැඩි සූදානමකින් හා දැඩි අවධානයකින් යුක්තව සිදුකරන්නේ එයින් ලැබෙන ආනිසංසය ද අති ප්‍රබල නිසා ය.

කෙසේ නමුත් පුද්ගලයකු විසින් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ලේ සෙලවීම හා සංඝභේදය යන පංච ආනන්තරීය පාපකර්ම සිදුකර ඇත්නම් මෙවැනි පින්කමක් සිදු කළත් ඒ ආනිසංස ලබා ගත නොහැකි බව දක්වා තිබේ.

මියයන අවස්ථාවේ ඔහුගේ චුති චිත්තයට එවැනි බරපතල ගණයේ පාපකර්ම සිහියට නැඟීමත්, ඒ තුළින්ම අපායගාමි වීමට හේතුවක් වීමත් ඊට බලපානු ලැබේ. ඇතැම් විට ආනන්තරීය පාපකර්ම සිදු නොකොට වෙනත් අකුසල කර්මයක් සිදු කර ඇති පුද්ගලයකුට මැරෙන මොහොතේ දී ප්‍රබල ව ඇති කඨින පින්කමක් පිළිබඳ සිත් පහළ වීමෙන් සුගතිගාමි විය හැකි ය. එම නිසා කඨින පින්කම අතිශය ප්‍රබල පින්කමක් ලෙස හඳුන්වා දිය හැකි ය.

වප් පුර පසළොස්වක

ඔක්තෝබර් 06 සඳුදා අ.භා 12.22 පුර පසළොස්වක ලබා 07 අඟහරුවාදා පූ.භා. 09.17න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]