[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු සසුන ඒකාලෝක කළ වප් පුන් පොහොය අදයි

සම්බුදු සසුන ඒකාලෝක කළ වප් පුන් පොහොය

වසරේ මාස දොළොස හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු ලැබේ. එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂුන් වහන්සේ වස් වසා වැඩ සිටින කාලය යි. එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේ වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දී ය. භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, එක්ව වස් වැසු සබ්‍රහ්මචාරීන් වහන්සේ ඉදිරියේ පවාරණය සිදු කරනු ලබන්නේ මෙලෙස පවසමිනි.

“සංඝං භන්තේ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා, වදන්තු මං ආයස්මන්තෝ, පස්සන්තෝ පටිකරිස්සාමි. ස්වාමීනී, සංඝයා වහන්සේට පවරමි. වස් වසා වැඩසිටි කාලය තුළ මාගේ වරදක් දැක්කා නම්, අසන්නට ලැබුණා නම්, සැකයක් ඉපදුණා නම් එය මට පවසන්න. මා අතින් එම වරද සිදු වූ බව දන්නේ නම් එය නිවැරැදි කර ගනිමි.” යනු එහි තේරුමයි.

සම්බුදු සසුනක පමණක් දක්නට ලැබෙන එම උත්තම ආයති සංවරය තුළ පිහිටමින් මහා පවාරණය සිදුකරන භික්ෂුන් උදෙසා ඊළඟ චීවර මාසය තුළ සැදැහැවත් උපාසක උපාසිකාවෝ කඨින චීවර පූජා කර උතුම් පුණ්‍ය ධර්මයන් රැස් කර ගනිති. පැවිදි උතුමන් වහන්සේ සිය ශාසනික ජීවිතය පිළිවෙතින් සරු කර ගන්නා වූ ද ගිහි පින්වතුන් බොහෝ පින් රැස් කර ගන්නා වූ ද පින්බර වස්සාන සමය නිමාවට පත්ව මහා පවාරණය සිදුකරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දී ය.

භාග්‍යවතුන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක සැවැත් නුවර ගණ්ඩබ්බ රුක්ඛ මූලයේ දී තීර්ථකයන්ගේ මානය මර්දනය කරනු පිණිස, යමක මහා ප්‍රාතිහාර්යය දක්වා සත්වෙනි වස් කාලය ගත කරනු පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළ සේක. සක්දෙව් රජුන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනයෙහි වස් වැස මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙව් පිරිසට අභිධර්මය දෙසූ සේක. දේශනා කෙළවර අසූ කෙළක් දෙවියෝ නිවන් අවබෝධ කළහ. මාතෘ දිව්‍ය රාජයා ද සෝවාන් විය.

වප් පුර පසළොස්වක පොහෝ දිනය එළැඹියේ ය. පුරා තුන් මසක් මුළුල්ලෙහි තව්තිසාවෙහි වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කොට දිව්‍ය බ්‍රහ්ම මහා හරසර මැදින් තව්තිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස පුරයට මහ පෙළහර පාමින් වැඩි සේක.

සම්බුද්ධ ශරීරයෙන් සවණක් ගණ බුද්ධ රශ්මි මාලා විහිදුවමින් දෙව් බඹුන් පිරිවරා අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස පුරයට වැඩි ඒ අසිරිමත් සම්බුදු මහිමය සිදුවූයේ වප් පුන් පොහෝ දිනයක දී ය. ඒ විස්මය දුටු අග්‍රශ්‍රාවක ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ, සර්වඥයන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරමින්, මෙවැනි බුද්ධශ්‍රීයක් දුටු ප්‍රථම වාරය මේ යැයි පවසමින්, ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවෙන් සමලංකෘත වූ බුද්ධ ශ්‍රී දේහය දෙස බලමින් බුද්ධාලම්බන පී‍්‍රතියෙන් යුතු ව සම්බුදු ගුණ වර්ණනා කළ සේක.

ඉක්බිති සර්වඥයන් වහන්සේ තමන් වහන්සේගේ විස්මිත පෙළහර නිමිති කරගෙන රැස් වූ දෙව් මිනිස් සමාගමයට ධර්මය දේශනා කර වදාළ සේක.

දේශනා කෙළවර බොහෝ දෙනෙක් මගඵල ලැබූහ. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ සද්ධිවිහාරික පන්සියයක් පමණ භික්ෂුන් අරහත්වයට පත් වූ සේක. මෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් න්‍යාය ක්‍රමයක් අනුව තථාගතයන් වහන්සේ විසින් නඟන ලද ප්‍රශ්න මාලාවක් මහාප්‍රාඥ සාරිපුත්තයන් වහන්සේ විසින් විසඳන ලදී. එවිට ඒ මහා ජන සන්නිපාතය මධ්‍යයේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් අගතැන්පත් ශ්‍රාවකයා ලෙස සම්බුදු මුවින් සාරිපුත්ත මාහිමියන් ප්‍රශංසාවට ලක් විය.

දේවාවරෝහණ මහා පෙළහර දැකීමෙන් අතිශයින් ප්‍රමුදිත සිත් ඇති බොහෝ දෙනෙක් එදින සම්බුදු සසුනේ පැවිදි බව ලැබූහ.

සුර, නර මහා සංගමයේ දී බුදුරජාණන් වහන්සේ හා සාරිපුත්තයන් වහන්සේ අතර ඇති වූ රමණීය දහම් සංවාදයට සවන් දුන් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ද ඉමහත් ප්‍රසාදයට පත්ව ගෞතම සසුනේ පැවිදි වූහ. මේ මහා භද්‍ර කල්පයෙහි, මිනිස් ආයුෂ අවුරුදු අසූ දහසක් වූ කල, සම්බුද්ධත්වය සාක්ෂාත් කරනා මෛත්‍රී බෝසතුන් එලෙස පැවිදි වූයේ ද වප් පුන් පොහෝ දින දී ම ය.

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා උදාර සේවාවක් සිදුකළ දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මාහිමියන්ගෙන්

‘ලංකා ද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටියේ දැ'යි විචාළේ ය.

‘මහරජ, ශාසනය පිහිටියේ ය. එහෙත් තවම මුල් බැසගෙන නැත’ යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන් සේක.

‘ශාසනය මුල් බැස ගන්නේ කෙසේ දැයි?’ තව දුරටත් රජු විසින් විචාරන ලදුව

‘යම් කලෙක මේ හෙළ දිවයිනෙහි සිංහල මවුපියන් හට දාව උපන් දරුවෙක් මෙහිදී ම පැවිදි ව, විනය පිටකය ඉගෙනගෙන, මේ දිවයිනෙහි ම විනය සංගායනා කරයි ද, එකල්හි බුද්ධ ශාසනය මුල් බැසගත්තා වන්නේ ය’ යැයි මිහිඳු මහරහතන් වහන්සේ පැහැදිලි කළහ.

ප්‍රථම සිංහල රහතන් වහන්සේ වන මහා අරිට්ඨ මාහිමියන්ට මේ සුදුසුකම් සියල්ල ම පිහිටා තිබිණි. එබැවින් මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි ථූපාරාම සෑ මළුවේ දී අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ සිංහල මහරහතන් වහන්සේ වප් පුන් පොහෝ දින විනය පිටකය සංගායනා කළ සේක. ඒ මොහොතෙහි ලක්දිව සම්බුදු සසුන මුල්බැස ගත් පී‍්‍රතියෙන් මිහිකත කම්පිත වූවා ය.

ලංකා ද්වීපයේ රාජ්‍යය පාලනය කළ දේවානම්පියතිස්ස රජු මිහිඳු මහරහතන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය අසා බුදු සසුනේ බොහෝ සේ පහන් වූ සිත් ඇත්තේ දිවමන් මුනිරජාණන් බඳු වූ ඒ ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවාගෙන ඒම පිණිස අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සමඟ කතිකා කරන්නට විය. ඒ අනුව අරිට්ඨ මහා අමාත්‍යවරයා ප්‍රධාන දූත පිරිවරක් දඹදිව ධර්මාශෝක අධිරාජයා වෙත පිටත් කරවා යැවීය.

එහි ප්‍රතිඵලයක් ලෙස මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ සමඟ කරුණු පැහැදිලි කර ගත් ධර්මාශෝක නරේන්ද්‍රයන් මහා බෝධි ශාඛාවක් වැඩම කරවීමට සියල්ල සංවිධානය කරවන්නට වූහ. විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මනාකොට සරසා, පුද පූජාවන් පවත්වා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වෙන් කර ගැනීමට ධර්මාශෝක රජු රන් තෙළිතුඩක් ගෙන මහා බෝධීන් වහන්සේත්, දක්ෂිණ ශාඛාවත් වෙන් වන පරිදි රේඛාවක් ඇන්දේ ය.

සැබැවින් ම ආශ්චර්යයකි! රැස්ව සිටි පිරිසගේ සාධුකාර මැද දක්ෂිණ ශාඛාව තෙමේ ම වෙන් වී පිළියෙල කොට තිබූ රන් කටාරමේ පිහිටන්නට වූ සේක. කටාරමේ පිහිටි බෝධි ශාඛාව එයත් සමඟ ම සෘද්ධියෙන් අහසට පැන නැඟ වලා අතර නොපෙනී ගිය සේක. මේ මහා අසිරිය සිදු වූවේ උතුම් වූ වප් පුන් පොහෝ දිනයක දී ය.

මෙවන් උතුම් ශාසනික සංසිද්ධීන්ගෙන් අනූන වූ වප් පුන් පොහෝ දිනයේ දී අපි සියලු දෙනා ම දානාදී පින්කම් සිදු කරමින්, සීලාදී කරුණා මෛත්‍රියාදී ගුණධර්මයන් දියුණුූ කර ගනිමින්, භාවනාදී ප්‍රතිපත්තීන්හි නියැළෙමින් සේඛ බල ධර්ම දියුණු කර ගනිමු. මේ ගෞතම බුදු සසුනේ දී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගෙන මේ බියකරු දුක්ඛිත සසරින් එතෙර වන්නට වෙර දරමු. ඒ පිණිස උතුම් තිසරණය ම පිළිසරණ කර ගනිමු.

වප් පුර පසළොස්වක

ඔක්තෝබර් 06 සඳුදා අ.භා 12.22 පුර පසළොස්වක ලබා 07 අඟහරුවාදා පූ.භා. 09.17න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]