පුර පෑළවිය සඳ- 23 කොටස
බඩල්ගම විපුලසිරි හිමි
වෙදමහත්තයා කී එළකිරි බෝතලය නම් සුනිල් අයියාගේ ගෙදරින් හොඳ පිරිසිදුවට ම ලබාගත
හැකි ය. වෙද මහතා කී අනෙක් වර්ගය වූයේ හීරැස්ස ය. ඒ මොනවාදැයි නන්ද හිමියන්ට
වැටහීමක් නැත. බාරගත් නිසා කෙසේ හෝ සොයා තැබිය ද යුතු ය. එසේ නැත්නම් අද වෙදකම්
කරන්නට නොහැකි වනු ඇත.
නන්ද හිමියන්ට සිතුණේ ධම්මාලංකාර හිමියන් වැඩිහිටියකු වන නිසා මේ පිළිබඳ ව දැන
සිටිය හැකි බව ය.
“ අපේ හාමුදුරුවනේ, මේ හීරැස්ස කියලා කියන්නේ මොනවද ඔබ වහන්සේ දන්නවද ? “
ධම්මාලංකාර හිමියන් සිදු කළේ ඊට උත්තර දීම නොවේ. පෙරලා ප්‍රශ්නයක් නැගීමය.
“ දැන් නන්ද හාමුදුරුවෝ හදන්නේ ඔය ගොඩයට කියලා අරුන්දට වෙදකම් කොරවන්නද ?
ආණ්ඩුවේ දොස්තරටත් බැරි නම් මේ විට හපයා මොනව කරන්නද ඕකට ?
අනේ මං දන්නෑ ඔබ වහන්සේලටත් ඔලුවේ අමාරුවක් තියෙනවා ද කියලා? “
සිතට පැමිණි ආවේගය යටපත් කොට සඟවාගත් නන්ද හිමියන් එතැනින් පිටත්ව වැඩියේ ලොකු
ස්වාමීන් වහන්සේ වෙතට ය.
හීරැස්ස යනු ශාකයක් බවත්, එය පන්සල් භූමියේ පිං ළිඳ ආසන්නයට වන්නට ගොල්ලට වැඩී ඇති
බවත්, එහි දඬුපුරුක් හතරැස් බවත් ලොකු හාමුදුරුවන්ගෙන් නන්ද හිමියන්ට දැන ගන්නට
ලැබිණි.
නන්ද හිමියන් ඒවා සොයන්නට පිටත් වෙන විට දමිත සාමණේරයනුත් ඒ පසුපසින් පැමිණියහ.
සාමණේරයන්ගේ අතේ පොල් කට්ටකි. එහි ඇත්තේ ලිපෙහි අළු ය.
“ නන්ද හාමුදුරුවනේ මාත් එන්නම් නන්ද හාමුදුරුවොත් එක්ක යන්න. මං ඔය බෙහෙත තියෙන
තැන දන්නව නන්ද හාමුදුරුවනේ.”
“ ඒ කොහොමද දමිත, දමිත දන්නවද හීරැස්ස කියන්නේ මොනවද කියලා ?”
“ එහෙමයි නන්ද හාමුදුරුවනේ, අපේ අත්තා එහෙ ඉද්දි හරක් කවන්න කැළේ යද්දි මාවත්
එක්කගෙන යනවා. එතකොට මට එක එක බේත් ජාති ගැන කියලා දුන්නා නන්ද හාමුදුරුවනේ. “
කවුරුන් කියලා දුන්නත් මේ වයසේ කුඩා දරුවකුට ඕවා මතක තිබෙන්නේ කලාතුරකිනි. එසේ
වනවිට දමිත සාමණේරයන් යනු පෙර මහා පුණ්‍ය බලයක් ඇති දරුවකු විය හැකි යැයි නන්ද
හිමියන්ට නැවතත් සිතිණි.
හීරැස්ස දඬු කපාගෙන එන විට වෙද මහතා පන්සලට පැමිණ සිටියේ ය. දඬු කපා තිබූ අයුරු
දුටු වෙද මහතාට හොඳ සිනහවක් ගියේ ය.
“ හරියට හරි, හරියට හරි, මට මේක කපලා ගන්න විදිහ කියලා යන්න බැරි උනානේ. අපේ
හාමුදුරුවන්ටත් යමක් කමක් වෙදකම පිළිබඳ ව දැනෙන පාටයි.”
වෙද මහත්තයා එසේ පැවසුවේ නන්ද හිමියන් දෙස බලා ය.
හීරැස්ස ශාඛය යටින් කැපුවේ දමිත හිමියන් ය. ඒත් සමඟ ම සාමණේරයන් සිදු කළේ එහි කෙළවර
අළු පොල් කට්ටේ ඔබාගැනීම ය. මේවා සාමණේරයන්ට කියා දී තිබුණේ සාමණේරයන්ගේ අත්තා
විසිනි.
“ අනේ නෑ අපේ වෙද මහත්තයා, මෙන්න මේ පුංචි හාමුදුරුවෝ තමයි ඕක ඔය විදිහට කපලා
ගෙනාවේ. දමිතගේ අත්තලුනෙ ඔය විදිහට බෙහෙත් ගහ කපන්න කියලා දුන්නේ. “
වෙද මහත්තයා දමිත සාමණේරයන් දෙස බැලුවේ දයාබර නෙතිනි.
ඉන් අනතුරුව ඇරඹුණේ වෙදකම සිදුකරන මොහොත ය. බෙහෙත් සෝදා පිරිසිදු කළේත්, කැපුවේ
තැලුවේත් බොහෝ විටම දමිත සාමණේරයන් අතිනි. මැටිහට්ටි සෙව්වේත්, සේදුවේත් එළකිරි දමා
තැම්බුවේත් සාමණේරයන් ම ය. |