භික්ෂූන් වහන්සේගේ කාලීන මෙහෙවර
අග්ගමහා
පණ්ඩිත,
මහාචාර්ය
අත්තංගනේ රතනපාල නාහිමි
භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය, මෙහෙවර පිළිබඳ ව බුද්ධානුශාසනාවෙහි අන්තර්ගත ව ඇත. ඒ
ආත්මාර්ථ සාධනයෙන් පසුව බහුජන හිත සුව පිණිස කටයුතු කළ යුතු ය යන්න ය.
කාලීන යුග මෙහෙවර වන්නේ ද එයම ය. සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් පරිදි ගිහි සමාජයෙන්
උපස්ථාන ලබන පැවිද්දෝ, ගිහි සමාජයට අනුකම්පා කළ යුත්තෝ ය. පවින් වළක්වා යහපතෙහි
යෙදවිය යුත්තෝ ය. වරදට යොමු වීමෙන් සිදුවන අයහපත්, වරදින් නිදහස් ව සුමඟට
යොමුවීමෙන් සිදුවන යහපත් පෙන්වා දිය යුත්තේ ය. පිහිටීමේ මඟ හා දියුණුවේ මඟ
අනුකම්පාවෙන් ම කියා දිය යුතු වන්නේ ය. එකල්හි ගිහි සමාජය උපද්‍රව රහිත ව ආරක්ෂා
වන්නේ ය. යහපතට ම යොමු වන්නේ ය.
බහුජන හිතසුව පිණිස භික්ෂූන් වහන්සේට ක්‍රියා කළ හැකි වන්නේ ආදර්ශවත් වීමෙන් පමණි.
ස්වකීය ආධ්‍යාත්ම දියුණුව, ධර්මාචාරී වීම එහිදී අත්‍යවශ්‍යම කාරණය වන්නේ ය.
වර්තමානයෙහි අනුශාසකත්වය, මාර්ගෝපදේශනය, ඵල රහිත වන්නේ මේ ආදර්ශය නොමැති නිසා ය.
තමා වරදෙහි ගැළි, අනෙකා වරදින් ගැලවීමට ක්‍රියා කිරීම නිසා ය. එය සාර්ථක
ප්‍රයත්නයක් නො වන බව සමාජ ක්‍රියාකාරීත්වයෙන් පැහැදිලි වේ.
වර්තමාන සමාජයෙහි භික්ෂූන් වහන්සේ මහත් දෝෂාරෝපණයකට, ගර්හාවකට ලක්ව ඇත. එයට හේතුව
වන්නේ භාවිතාවෙහි දෝෂය යි. ධර්මචාරී නො වීමයි. නැතහොත් වරදවා වටහා ගැනීම යි.
අනවබෝධය යි. අනුශාසකයා හැම විටම ආදර්ශවත් විය යුතු ය. කල්‍යාණ මිත්‍රයකු විය යුතු
ය. තම ජීවිතාදර්ශය සමාජයට මුදා හරින්නකු විය යුතු ය. එසේ නො වන විට ගර්හාවට,
දෝෂාරෝපණයට ලක් වන්නේ ය.
අනුශාසකයකුට, නායකයකුට, මඟ පෙන්වන්නකුට චරිත පාරිශුද්ධිය අත්‍යවශ්‍යම වේ. ඔහුගේ
අවවාදය, අනුශාසනය බලාත්මක වන්නේ එවිට ය. අගතිගාමී නොවීම ද අනුශාසකයකු තුළ තිබිය
යුතු විශේෂ ගුණයකි. ඡන්දයෙන්, ද්වේෂයෙන්, බියෙන්, මෝහයෙන් අගතියට නො යාම ය. එසේ වූ
විට යුක්තිය, සාධාරණත්වය යටපත් වී යන්නේ ය. විශ්වාසය බිඳී යන්නේ ය. චරිත
පාරිශුද්ධිය හා අවංක භාවය නායකත්වයට අත්‍යවශ්‍ය වන්නේ එනිසා ය.
සමාජය තුළ ගුණ ධර්මයන්ට වටිනාකමක්, පිළිගැනීමක් ඇතැයි තහවුරු වන්නේ එසේ
අගතිගාමිත්වයෙන් බැහැර ව, තොරව කටයුතු කිරීම නිසා ය.
සැබෑ අනුශාසකයා කුසලය, අකුසලය හඳුනන යි. කුසලයට, යහපතට අනුබල දෙයි. සහයෝගය දක්වයි.
අකුසලය, අයහපත වළක්වයි. අනුශාසකයාගෙන් යහපතට ලැබෙන අනුග්‍රහය සමාජ සංවර්ධනයට මහත්
පිටුවහලක් වන්නේ ය. අනුශාසකයා අයහපතට, වරදට අනුකූලතාව අනුග්‍රහය දක්වන්නේ නම්, එය
සමාජ පරිහානියට හේතු වන්නේ ය.
වර්තමාන භාවිත සමාජයෙහි අනුශාසකත්වයෙන් පෙනී සිටින ඇතැම්හු වරදට අනුග්‍රහ දක්වන්නේ
ය. වැරැදිකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නෝ ය. ඔවුන් පෙනී සිටිය යුතු වන්නේ වරද
නිවැරැදි කිරීම වෙනුවෙනි. යහපතට අනුග්‍රහ, අනුබල දැක්වීම වෙනුවෙනි. සමාජයක්
ධාර්මිකත්වයට නැඹුරු වන්නේ එබඳු බලගැන්වීමකිනි. භික්ෂූන් වහන්සේ හැම විට ම ධර්මය
සවිබල ගැන්වීමේ ලා අනුග්‍රහය සපයන්නකු විය යුතු ය. භික්ෂූන් වහන්සේ හැමවිට ම
ධාර්මිකත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. සිල්වතා ආරක්ෂා කළ යුතු ය. සිල්වතාගේ ගුණය
පැසසිය යුතු ය. දුශ්ශීල චර්යාවේ අයහපත, සමාජයට පැහැදිලි කළ යුතු ය. දුශ්ශීල
භාවිතාවේ අනිටු විපාක සමාජයට පෙන්වා දිය යුතු ය.
ගුණයට ප්‍රශංසා කිරීමත්, වරදට නිග්‍රහ කොට, වරද පෙන්වා අවවාද කිරීමත් අනුශාසක
කාර්යය විය යුතු ය. සතුරා කෙරෙහි වුව ද ගුරුවරයා කෙරෙහි වුව ද වරද වරදම ය. ගුණය
ගුණය ම ය. පක්ෂග්‍රාහී වීමෙන් වරද සඟවාලීමත්, ගුණය යටපත් කිරීමත් සමාජමය වරදකි. එය
සමාජ ක්‍රියාවන් නිවැරැදි කිරීමට උපකාර වන්නේ නොවේ. එහෙයින් අනුශාසකවරයාගේ සිල්වත්
බව, අවංක බව හා සාධාරණත්වය, අගතිගාමී නොවීම සමාජ යහපත පිණිස උපකාරී වන්නේ ය.
ලාභ සත්කාර, වරප්‍රසාදවලට ගොදුරු නොවීම, කීර්ති ප්‍රශංසාදියට වහල් නොවීම, බහුජන
හිතසුව පිණිස ම සිය මෙහෙවර සිදු කිරීම අනුශාසක භික්ෂූන් වහන්සේගේ පරම වගකීම විය
යුතු වේ. එයින් බැහැර ව කටයුතු කරන්නේ නම්, එය සමාජ පරිහානියට හේතු වේ.
වර්තමාන භික්ෂු භූමිකාව දුර්වල වී ඇත්තේ මේ සමාජ ව්‍යසනයට හේතුවන භාවිතාව නිසා ය.
බුදු සිරිත විකෘති කිරීම, බුදු දහම විකෘති කිරීම ආදී බරපතළ සාවද්‍ය නිර්මාණයන්ට
ඊනියා භික්ෂූන් ඉදිරිපත් ව ඇත්තේ මේ ලාභ සත්කාරවලට, වරදානවලට ගොදුරු වීම නිසා ය. එය
ඉතා දරුණු ලෙස වර්තමාන සමාජය තුළ ක්‍රියාත්මක වීම දැකිය හැකි ය. ඒ හේතු කොට ඇතිවන
සමාජ, ආගමික ගැටලු අතිශය සංකීර්ණත්වයට පත්ව ඇති බව පෙනේ.
“දාරුණෙ භික්ඛවෙ ලාභ සක්කාර සිලොකො කටු කො ඵරුසො අනතරායිකො....
“මහණෙනි, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා දරුණු ය. තියුණු ය. රළු ය. අනුත්තර වූ ඵල
සාධනයට අන්තරාය කරයි."
සංයුක්ත නිකායේ, ලාභ සක්කාර සංයුත්තයෙහි සූත්‍ර ගණනාවකින් බුදුරදුන් විසින් මෙම ලාභ
සත්කාරයන්හි දරුණු බව දක්වා ඇත. ඒවාට ගොදුරු නොවිය යුතු බව, ආත්මය නසන බව, ඇම ගිලූ
මත්ස්‍යයා සෙයින් විපතට පත්වන බව දක්වා ඇත. උපමා රාශියක් දක්වමින් ලාභ, කීර්ති,
ප්‍රශංසා, වරදාන ආදියට ගොදුරුවීමෙන් අරමුණින් බැහැර වන බවත්, තමන් අපේක්ෂිත අරමුණ
කරා ළඟා විය නොහැකි බවත් පැහැදිලි කොට ඇත.
භික්ෂූන් වහන්සේ ට ස්වකීය කාලීන යුග මෙහෙවර ඉටු කළ නො හැක්කේ මෙම නායකත්වයට, භික්ෂු
භූමිකාවට සිදු වී ඇති අනේක විධ ව්‍යාසනයන් බවත්, ඒවා හඳුනාගෙන ඒවායින් වැළකී කටයුතු
කිරීමෙන් මෙම අභියෝග ජය ගත හැකි බවත් වටහා ගත යුතු ය. |