[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දරුවන්ගේ ආතතිය සිහිනුවණින් දුරලන්න

දරුවන්ගේ ආතතිය සිහිනුවණින් දුරලන්න

ළමයි හරිම දඟයි, කියන දෙයක් අහන්නේ ම නෑ. නිතර ම සෙල්ලමට ම යි යන්නේ. නැතිනම් ෆෝන් එකේ එල්ලිලා. පොතක් පතක් බලන්නේ ම නෑ. ඉස්කෝලේ යන්න හරිම කම්මැළියි.

කොච්චර නම් මේ ළමයින්ට අපි වියදම් කරනවද? මේ සැරෙත් ලකුණු අඩුයි. ග්‍රහ දෝෂයක් ද කියල බෝධි පූජා පැවැත්තුවා. හරි ගියේ නෑ. අර අල්ලපු ගෙදර ළමයි බලන්න එපාය. උන් හොඳට ඉගෙන ගන්නවා. අනේ මන්දා අපට ම යි මේ හෙනේ...”

මෙසේ දෙස් දෙවොල් කියමින් බොහෝ මව්පියන් අශුභවාදී ව තම දරුවන් දිහා බලන ස්වභාවයක් අපි අත්දකිමු.

දරුවන් අන් අය සමඟ සන්සන්දනය කරමින් මව්පියෝ බොහෝ විට තම දරුවාට කෙනෙහිලිකම් කරති. එකම පවුලේ සිටින දරුවන්ගෙන් එක් අයකු දක්ෂයෙක් ලෙසටත්, අනෙක් දරුවා අදක්ෂයකු ලෙසටත් මැනීමට සමහරු පුරුදු ව සිටිති.

හේතුඵල දහම අනුව පින්වත් දක්ෂ දරුවන් ද, මද පිනකින් උපන් දරුවන් ද සිටිය හැක. එහෙත් පින්මද දරුවන්ගේ යම්කිසි සැඟවුණ පිනක්, කුසලයක් තිබිය හැක. මේ සඳහා පරිසර හා පුද්ගල සාධක අනිවාර්යයෙන් බලපානු ඇත.

චූලපන්තක පුංචි හාමුදුරුවන්ගේ කතා පුවත අපි අසා ඇත්තෙමු. එහිදී උන්වහන්සේගේ පින මතුකරලීමට අප බුදුපියාණන් වහන්සේ සමත් වූහ.

මහා පිනකින් මිනිස් ප්‍රතිසංධියක් ලැබූ සත්වයාගේ විශිෂ්ට වූ මහා කුසලයක් තිබෙන බව අප පිළිගත යුතු ය. එම කුසලය මතුකරලීමට මවුපියන්, ගුරුභවතුන් පමණක් නොව වැඩිහිටියන් වන අපගේ ද යුතුකමක් වනු ඇත.

“පබස්සර මිදං භික්ඛවේ චිත්තං...” ආදී වශයෙන් බුදුපියාණන් වහන්සේ දේශනා කළේ සත්වයාගේ සිත ගැන ය. ළමයාගේ සිත ප්‍රභාශ්වරයි. එම සිත කිලිටිවීමට නොදී ආරක්ෂා කිරීමට අප වගබලා ගත යුතු ය.

දරුවන් ඇමතිය යුත්තේ කරුණාවෙන් පිරුණු හදවතකිනි. ඔහුට ආදරණීය මවක්, පියෙක් පමණක් නොව කල්‍යාණ මිත්‍රයෙක් වශයෙන් මව්පියන් පෙනී සිටිය යුතු ය. දරුවාගේ සිත හඳුනාගත යුතු ය. ඔහු කැමැති, අකැමැති දෙය හඳුනාගත යුතු ය. එවිට ඔහුගේ චිත්ත අභ්‍යන්තරයේ සැඟවී ඇති වටිනා ගුණධර්ම මතුවීමට පටන් ගනී. ඔහු තුළ ඇති අගුණයන් දුටුවිට එය ඥානාන්විත ව නොසලකා හැර යහපත් ලෙස ප්‍රතිචාර දැක්විය යුතු ය.

ප්‍රඥාවන්ත පියතුමෙක් ගැන කතා පුවතක් බුදුපියාණන් වහන්සේ ජීවමාන ව වැඩ වාසය කරන කාලයේ අපට අසන්නට ලැබේ. ඒ අනේපිඬු සිටාණන් ය. ඔහුගේ පුතා විනෝදයට කැමැති, මුදලට ආස කරන්නෙකි. ශාසනයේ බොහෝ වැඩ කටයුතු කරමින් දිනකට දෙවතාවක් බුදුපියාණන් වහන්සේ බැහැදැකීමට යන ඔහුගේ පුත්‍රයා කිසිදාක බුදුපියාණන් බැහැදැකීමට ගොස් නැත. අනේපිඬු සිටුතුමා ඔහුට බල කළේ නැත.

ඔහු පුත්‍රයා ගැන කලකිරුණේ ද නැත. කල් යල් බලා සිටි ඔහු දිනක් පුත්‍රයා අමතා කීවේ පවුම් සියයක් දෙන්නම් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසාගෙන එන ලෙසයි. දෙවන වතාවේ දී පවුම් පන්සියයක් දෙන්නම් කියා බණ පදයක් දෙකක් අසා මතක තබාගෙන එන ලෙසයි.

එදා සමාජ පරිසරය අනුව නුවණින් සලකා බලා අනේ පිඬුසිටුතුමා ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු ව එසේ කළේ ය. ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තේ දරුවා තුළ තිබූ වැරැද්දේ සුන්දරත්වය දැක්ක නිසා ය. දරුවාගේ අගුණ කීවේ නැත. ඔහු උපක්‍රමශීලී වුවා පමණි. ඉන් දරුවා සසර දුකින් ද මුදවා ගැනීමට අනේපිඬු සිටුතුමා සමත් වූහ. මේ සිද්ධීන් හමුවේ අපට ගත හැකි ආදර්ශ බොහෝ වෙයි.

දරුවන් දුරකථනයට ඇබ්බැහි වී ඇතැයි කියා අද බොහෝ මව්පියෝ ආතතියකින් පසුවෙති. ඔවුහු දරුවන්ට බැණ වදිති. ගුරුභවතුන්ටත් බැණවදිති. ගුරු භවත්හු මව්පියන්ටත්, මව්පියෝ ගුරුවරුන්ටත් බැණ වදිති. එහෙත් ප්‍රශ්නයට විසඳුමක් නැත.

බැණවැදීම නිසා ශෝක පරිදේවයන් සිත්තුළ ගොඩනැඟීම පමණක් සිදුවේ. දරුවා තුළ ද වැඩෙන්නේ මෙවැනි ම පීඩනයකි. සිහි නුවණින් යුතු ව වැඩ කිරීමට මව්පියෝ සමත් වන්නේ නම්, මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනු නියත ය.

දෙමව්පියන්ගේ අකාරුණික වදන් හා හැසිරීම්, කෑකෝ ගැසීම්, තරවටු කිරීම්, අනුන් හා සන්සන්දනය කිරීම් ආදී පීඩනයන්ට මැදිවී සිටින දරුවා ඉතා අසරණ වී සිටී. ඔහුට පාසල තුළින් ද නිදහසක් නැත. ඔහුගේ චිත්ත සන්තානය පීඩනයකට බඳුන් වේ. දරුවා නරක දරුවෙක් ලෙසට සමාජය විසින් පිළිගනු ලැබේ. නම් කරනු ලැබේ. සමහර විභාගයන් සමත් වුවත් ඔහු තුළ සතුට නැත. ඔහු උසස් යැයි සම්මත රැකියාවක නිරත වූවත් සැනසීම නැත. එයට සාපේක්ෂ ව ඔහු තුළ පිරිහීමට අදාළ සිතුවිලි බෝ කිරීමට ඉඩ කඩ ඇතිවිය හැක. මේ නිසා දරුවා තුළ අනාගතය ගැන විශාල බලාපොරොත්තු වගා නොකළ යුතු ය. ඔහුට නිදහසේ ඉගෙන ගන්න හරින්න. ඉගෙන ගන්නා හැටි කියලා දෙන්න. ඔහු සතුටින් ඉගෙන ගන්නවා ඇත. ඒ දෙස නුවණින් බලා සිටීමට මව්පියන් ඉවසිලිමත් විය යුතු ය.

ඔහුගේ හොඳ ගුණ අගය කරන අතර නොහොඳ උපක්‍රමශීලී ව පෙන්වා දෙන්න. ඔහු සමග යහළු වෙන්න. ඔහු අසන ප්‍රශ්නවලට බොරු උත්තර සැපයීමෙන් වළකින්න. ඔහුට පෙනෙන ලෙසට වැරැදි කායික ක්‍රියා හා මානසික කි‍්‍රයා නොකරන්න. ඔහු හැම දෙයක් ම පුංචි මනසට එකතු කර ගනී. මේ නිසා තමන් නිවැරැදි වුවහොත් ඊට සාපේක්ෂ ව දරුවා ද නිවැරැදි වේ. එය ධර්මතාවකි.

වප් පුර පසළොස්වක

ඔක්තෝබර් 06 සඳුදා අ.භා 12.22 පුර පසළොස්වක ලබා 07 අඟහරුවාදා පූ.භා. 09.17න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]