රාහුල මාතා - 01
සිය කුටියෙහි දොරට එල්ල වූ පහරින් තිගැස්සුණු ඇය ඇඳෙන් බිමට බැස්සා ය.
“ඇයි මේ මහ දවාලෙ දොර අගුළු දාගෙන. දොර අරිනවා. මේ නුඹේ පියා.”
ඇය ඒ හඬ හඳුනා ගත්තා ය. ඒ සුප්‍රබුද්ධ රජු ය. යසෝධරා දොර ඇරියා ය.
ඇයට මත් වතුර ගඳ දැනිණ.
“පියාණනි, එන්න ඇතුළට”
පියා පසුපසින් ඇගේ සොහොයුරා වන දේවදත්ත ද පැමිණියේ ය. ඔහුගෙන් මත් වතුර ගඳක්
නොහැමුව ද මුහුණේ වූයේ රකුසු පෙනුමකි.
පියා දුවගේ දෑත අල්ලා ගත්තේ ය.
“සිද්ධාර්ථ නුඹත්, නුඹේ දරුවාත් අත්හැර පලාගිය බව මට අද උදේ ම ආරංචි වුණා. මෙය අපට
මහා අවමානයකි. දැන් නුඹ දරුවා සමඟ දෙව්දහනුවරට යා යුතුයි. කිඹුල්වතෙන් කිසිවක් ගන්න
එපා. වහාම සූදානම් වන්න. දරුවා සමඟ නුඹ ගෙන යන්නටයි අප ආවේ.”
ඔහු දේවදත්ත දෙසට හැරිණ.
“පුතා - අර දරුවා අතට ගන්න. අපේ අශ්ව රථයේ සිටින ගැහැනු දෙදෙනා දරුවා බලා ගනීවි.”
යශෝධරා සිය පියාගේ පා මුල වැටුණා ය.
“පියාණනි, මා මේ මාලිගයෙන් පිටතට යන්නේ නැහැ. මගේ දරුවා ගෙන යන්න එපා.”
දේවදත්ත කුපිත විය.
“නෑ
නැඟණිය, නුඹත් දරුවාත් මෙහි අතරමං කොට සිද්ධාර්ථ රහසේ ම පලා ගියා. ඇයි ඉතින් නුඹ
තනිව ම මෙහි රැඳෙන්නේ. නුඹට, අපට දැන් මෙහි අයිතියක් නැහැ.”
යශෝධරා නැඟිට්ටා ය.
“පියාණනි, අසුන් ගන්න.”
ඇය ඔවුන්ට කුටියේ වූ අසුන් දෙක පෙන්නුවා ය.
සුප්‍රබුද්ධ රජ හිඳ ගත්තේ තව දුරටත් ඔහුට සිටගෙන සිටීම අපහසු වූ හෙයිනි.
“අයියණ්ඩිය, ඔහු ගියේ හොර ගමනක් නොවෙයි. රහසේ ගිය ගමනක් නොවෙයි.”
“හා එහෙනම් නුඹ ඔහු යන බව දන්නවා. නුඹ ඒ ගමන අනුමත කළා එහෙනම්’
“ඔව් මා මෙහි පැමිණි දා සිට ම මා දැන සිටියා ඔහු කවදා හෝ ගිහිගෙය හැරදා යන වග.”
“මේ සිදුවූ දේ ගැන නුඹ කැමැතියි.”
“අයියණ්ඩිය, සිද්ධාර්ථ මේ ලෝකයට ම අයත් කෙනකු මිස අප දෙතුන් දෙනකුට අයත් කෙනකු
නොවෙයි. ඔහුට උතුම් පරමාර්ථයක් තියෙනවා. ලෝක සත්ත්වයා දුකෙන් ගලවා ගැනීමයි ඒ. මා
මෙහි ආ දා සිට ඒ උතුම් අරමුණු ගැන මා සමඟ කතා කළා. ඒ සියලු කාරණා ඇත්ත. මා ඔහුගේ
මතයට, ඔහුගේ ගමන් මාර්ගයට එකඟයි.”
“එහෙනම් ඇයි නැඟණිය ඔහු නුඹට ළමයකු දීලා දෙදෙනකු ම අනාථ කරලා ගියේ.”
“ළමයකු නොලබා අපි දොළොස් වසරක් සිටියා. සුද්ධෝදන පියා, ප්‍රජාපතී මව වගේ ම මගේ
පියාත්, මවත් අපට චෝදනා කළා ළමයකු නැති ව රාජ්‍යය අතරමං කරනවා කියා. ජීවිතය, ලෝකය,
සංසාරය ගැන කතා කරන අපට දරු උපතක් වුවමනා වුණේ නැහැ.”
සුප්‍රබුද්ධ රජු කෝපයෙන් වෙවුලමින් නැඟිට්ටේ ය.
“නුඹටත් දරුවකු වුවමනා වුණේ නැහැ එහෙනම්?”
“ඔහු ගිහි ගෙය හැර යන විට මාත් ඔහු සමඟ ම යන්නයි හිටියේ. දරුවකු හැදීම ඊට බාධාවක්.
ඒ නිසා අපි දරුවන් ගැන සිතුවේ නැහැ. වැඩිහිටියන්ගේ බලපෑම් නිසයි ගිය අවුරුද්දේ අපි
දරුවකු ගැන සිතුවේ.”
දේවදත්ත දොර ළඟට ගොස් ආපසු හැරුණේ ය.
“සිද්ධාර්ථ නුඹේ ඔළුව වෙනස් කරලා. ඔහුගේ උමතුව නුඹටත් වැලඳිලා.”
“නැහැ. අයියණ්ඩි ඒක උමතුවක් නොවෙයි. ඇත්ත දැකීමක්.”
සුප්‍රබුද්ධ රජු දේවදත්ත අසලට ගියේ ය.
“අපි යමු. යශෝධරා නුඹ බලන්න ආපසු එන්නේ නැහැ.”
දොර මහ හඬින් වැසිණ.
යළි දොර ඇර බැලූ ඇයට ඉක්මන් ගමනින් යන පියා සහ සිය සොහොයුරා පෙනිණ. ඔවුහු ආපසු හැරී
නොබැලූහ.
ඇය දොර වසා සිය පුතු ළඟට ගියා ය.
“මුත්තණුවන්ට සහ මාමාට මේ කුමරා බැලීමට වුවමනා වුණේ නැහැ.”
පුතු ළඟ සිටි සේවිකාව කීවා ය.
“ඔව්”
යශෝධරා කඳුළු පිසිමින් පිළිතුරු දුන්නා ය. |