[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙහිවල නව පොළොන්නරු ගල්විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - ගයාන් පුෂ්පික

නවම් පුර අටවක පෝය

පෙබරවාරි 08 අඟහරුවාදා පූර්වභාග 06.18 පුර අටවක ලබා 09 බදාදා පූර්වභාග 08.33 ගෙවේ.
08 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

උනන්තැන්නේ බුද්ධපි‍්‍රය නාහිමියෝ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබති

කළුතර තොටමුණේ, අභිනව ප්‍රධාන සංඝනායක ධුරයට කළුතර දියගම ශ්‍රී සුධර්මාකර පුරාණ විහාරාධිපති උනන්තැන්නේ බුද්ධප්‍රිය නාහිමියෝ පත් කරනු ලැබ සිටිති. උන්වහන්සේගෙන් සිදුවන ආගමික හා සමාජීය සේවාව අගයමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් එම පදවිය පිරිනමා ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ, උඩහේවාහැට, දියතිලක, උනන්තැන්න ග්‍රාමයේ දී 1947 සැප් 27 වන දින ජන්ම ලාභය ලැබූ එගොඩ ගෙදර මුතු බණ්ඩාර නම් වූ කුමරුවා උනන්තැන්න කනිෂ්ඨ විද්‍යාලය හා දියගම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූහ. මේ කුමරුවා 1964 සැප්තැම්බර් 11 වැනි දින දියගම ශ්‍රී සුධර්මාකර විහාරස්ථානයේ දී ලබුගම ශ්‍රී ලංකානන්ද අනුනාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය වෙතින් පැවිදි බව ලැබූහ.

ගෙවුණු අතීතයට නොපෙනෙන අනාගතයට නොගොස් වර්තමානයේ සිත තැන්පත් කර ගන්න

අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංඛෙ අනාගතං - යදතීතං පහිනං තං අප්පතිතඤ්ච අනාගතං -  පච්චුප්පන්නඤ්ච යො ධම්මං තත්ථ තත්ථ විපස්සති. මේ මජ්ක්‍ධිම නිකායේ එන භද්දෙකරත්ත සූත්‍රයට අයත් ගාථා ධර්මයකි. මේ ගාථාවෙන් උගන්වන උපදේශය දෛනික ජීවිතයේ සාර්ථකත්වය සඳහාත්, ආධ්‍යාත්මික ජීවිතයට අයත් පරම නිෂ්ටාව සඳහාත් එක සේ උපකාර වන දේශනාවේ ඒකදේශයකි. මේ ගාථාවේ තේරුම මෙසේ දැක්විය හැකි ය. අතීතය පසුපස නොයන්නේ ය. අනාගතය සිහි නොකරන්නේ ය. අතීතය පහව ගොස් ඇත. අනාගතය පැමිණ නැත. වර්තමානයේ යම් ස්වභාවයක් පවතී ද එයම විශේෂ වශයෙන් දකියි. මේ ගාථාව අපට දෙන උපදේශය අතීතයට සහ අනාගතයට ද නොගොස් වර්තමානය තුළ සිත තැන්පත් කර ගත යුතු බවයි. ඔබ දෙස බලා සිටින්නේ නම්, එවිට ඔබට වැටහේවි ඔබ ඉන්නෙ වර්තමානයේ නොව අතීතයේ හෝ අනාගතයේ හෝ බව. ජීවිතය විවිධාකාර සිද්ධීන්ගෙන් ගහනව පවතී. එය ජීවිතයේ දී මුහුණ දුන් කටුක අත්දැකීමක් විය හැකි ය. අස්ථාන චෝදනාවක් විය හැකි ය. පි‍්‍රය විප්‍රයෝගි අත්දැකීමක් විය හැකි ය. ධන හානියක්, වේදනාකාරි අත්හැරීමක් විය හැකි ය. එසේත් නැත්නම් සුන්දර පි‍්‍රයජනක සිදුවීමක් විය හැකි ය. එහෙත් ඒ සියලු මනසිකාරයන් ඔබගේ පවිත්‍ර සිත අපිරිසුදු කරයි. ආවරණය කරයි. සිත අපිරිසුදු කරන රාගය. ආශාව, ඊර්ෂ්‍යාව, තරහව, කෝපය. වෛරය, සැකය, පසුතැවිල්ල. සිතේ අකර්මණ්‍ය බව, මුළාව වැනි සිතිවිල්ලක් එම සිද්ධි ආවර්ජනයත් සමඟ ඵලයක් ලෙසට හටගනියි. මේ සිතිවිලි ඔබගේ සිත අපිරිසුදු කරන බව ඔබට නොවැටහේ. එයට හේතුව එම අතීත සිද්ධියට ඔබ දැහැන්ගතව සිටින නිසා ය. සිත අපිරිසුදු වූ බවට වටහා ගත හැකි චෛතසිකයක් ලෙසට කෝපය උදාහරණයක් ලෙසට දැක්විය හැකි ය.

 

සිරිපා කරුණාවේ සිරිත් විරිත්

ශ්‍රී පාදය කරුණා කරන්නේ සාමාන්‍යයෙන් නඩයක් වශයෙනි. ගමේ නැතිනම්, තම පවුලේ වැඩිහිටි අත්දැකීම් බහුල අයකු නඩේ නායකයා ලෙස තෝරා ගැනේ. ඔහු නඩේ ගුරා ය. නඩේ ගුරා නැතිනම් භාරකරුවා වූ ඔහුගේ වගකිම වන්නේ තම නඩය සිරිපා කරුණා කොට නිරුපද්‍රිතව තම ගම් බිම් බලා කැටුව ඒමයි. ඒ වගේ ම කිසිවෙක් නඩේ ගුරාගේ වචනයට ඉහළින් දෙයක් සිදු කරන්නේ ද නැත. නිරතුරුව ම ඔහුගේ අවවාදය වූයේ ශ්‍රී පාද අඩවිය සමන් දෙවියන්ගේ බැවින් නොගැළපෙන වචනයක් කියා කට වරද්දා ගන්න එපා යනුවෙනුයි. සමන් දෙවි අඩවියේ දී යම්කිසි කාර්යයකට මුල පුරනුයේ සමන් දෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලමිනි. “සමන් දෙවියන්ගේ පිහිටෙන්“ යැයි පවසමිනි. ශ්‍රී පාදය කරුණා කරන විට එයටම ආවේනික වූ සිරිත් විරිත් හා ආචාර ධර්ම මෙන් ම සිරිපා වන්දනාවට පමණක් ම ආවේණික වූ විශේෂ වචන මාලාවක් ද පවතී. සිරිපා කරුණාවේදී තම සිත, කය, වචනය සංවර කර ගත යුතු ය. ශ්‍රී පාදය කරුණා කිරීම ආරම්භ කරනුයේ නල්ලතන්නියේ දී දෙහි කැබැල්ලක් ඇඟ ගා සීත ගඟුලෙන් දිය නෑමෙන් ය. මෙය ‘පේවීම‘ යනුවෙන් හැඳීන්වේ. දිය නෑමෙන් අනතුරුව පිරුවට ඇඳ බුදුන් වැඳ සමන් දෙවි ආශිර්වාදය ලැබ මලුව කරුණා කිරීම අරඹයි. මෙතැන දී අවවාද දෙනු ලබන්නේ ද නඩේ ගුරා විසිනි. තම ජීවිතයේ පළමු වතාවට සිරිපා කරුණා කරන තරුණයා “කෝඩුකාරයා“ ය. ඒ වගේ ම පළමු වතාවට සිරිපා කරුණා කරන වැඩිහිටියා “දඬුකෝඩු“ යනුවෙන් ද , කුඩා දරුවා හැ දැරිය “කිරිකෝඩු“ නමින් ද හඳුන්වයි.

 

සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වීමට කැමැති නම් තණ්හාවට වහල් නොවන්න 

මිනිසුන් වශයෙන් මෙලොව උපත ලැබූ අපි සුව සේ ජීවත්වීමට පි‍්‍රය කරමු. දුක් විඳීමට අකමැති වන්නා සේ ම, දුක පිළිකුලෙන් බැහැර කරමු. එහෙත් ලෝකය දුක මත පිහිටා ඇත. මෙලොව ජීවිතයේ අප ලබන සුව සම්පත් සියල්ල තාවකාලික ය. අස්ථිර ය. අපි සැවොම ජාති, ජරා, ව්‍යාධි, මරණ යනාදී අනන්ත අප්‍රමාණ දුක්වලට මුහුණ දෙන්නෙමු. ඇස,කන, නාසය, දිව , ශරීරය යන පංච ඉන්ද්‍රියයන් පිනවීමෙන් කෙනෙක් සැප ලැබුව ද එම ඉන්ද්‍රියයන් ද මේ ජීවිතයේ දී ම දුර්වල වෙයි. ඇස් පෙනීමේ, කන් ඇසීමේ දුබලතාවන් මීට උදාහරණයි. අපි ඇසින් දකින පි‍්‍රයජනක රූප හා කනින් අසන මිහිරි ශබ්ද ඇසුරෙන් ගත සිත කෙතෙක් පිනවුව ද, එම ඉන්ද්‍රියයන් දුබල වූ කළ, ඉතිරි වන්නේ දුකක් ම පමණකි. අනෙකුත් ඉන්ද්‍රියයන් තුළින් ලබා ගන්නා වින්දනයන් ගේ අවසානය ද දුකකි. සාමාන්‍ය ලෝකයේ ස්වභාවය එය යි. ලොව නොවෙනස් වන එකම සුවයක් තිබේ. එනම් නිවන් සුවය යි. “නිබ්බානං පරමං සුඛං” යනුවෙන් බුදු දහමේ ඉගැන්වෙන්නේ එය යි. එය ඉක්මවා යන සැපතක් ලෝකයේ නොමැත. “වාන” යනු තෘෂ්ණාවට නමකි. “නි” යනු නික්මීම යි. ඒ අනුව වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මීම “නිබ්බාන” නම් වේ. ඒ තුළින් ක්ලේෂ ධර්ම නැවත නූපදින ලෙස සිඳී යයි. සියලු දුක් නිමවීම නිවන ලෙස හැඳින් වේ. යම් කුසලයක් සිදුකොට සැදැහැතියන් නිවන් සුවය ප්‍රාර්ථනා කරනුයේ එබැවිනි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]