[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වීමට කැමැති නම් තණ්හාවට වහල් නොවන්න

සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වීමට කැමැති නම් තණ්හාවට වහල් නොවන්න

මිනිසුන් වශයෙන් මෙලොව උපත ලැබූ අපි සුව සේ ජීවත්වීමට පි‍්‍රය කරමු. දුක් විඳීමට අකමැති වන්නා සේ ම, දුක පිළිකුලෙන් බැහැර කරමු. එහෙත් ලෝකය දුක මත පිහිටා ඇත.

මෙලොව ජීවිතයේ අප ලබන සුව සම්පත් සියල්ල තාවකාලික ය. අස්ථිර ය. අපි සැවොම ජාති, ජරා, ව්‍යාධි, මරණ යනාදී අනන්ත අප්‍රමාණ දුක්වලට මුහුණ දෙන්නෙමු. ඇස,කන, නාසය, දිව , ශරීරය යන පංච ඉන්ද්‍රියයන් පිනවීමෙන් කෙනෙක් සැප ලැබුව ද එම ඉන්ද්‍රියයන් ද මේ ජීවිතයේ දී ම දුර්වල වෙයි. ඇස් පෙනීමේ, කන් ඇසීමේ දුබලතාවන් මීට උදාහරණයි.

අපි ඇසින් දකින පි‍්‍රයජනක රූප හා කනින් අසන මිහිරි ශබ්ද ඇසුරෙන් ගත සිත කෙතෙක් පිනවුව ද, එම ඉන්ද්‍රියයන් දුබල වූ කළ, ඉතිරි වන්නේ දුකක් ම පමණකි. අනෙකුත් ඉන්ද්‍රියයන් තුළින් ලබා ගන්නා වින්දනයන් ගේ අවසානය ද දුකකි. සාමාන්‍ය ලෝකයේ ස්වභාවය එය යි.

ලොව නොවෙනස් වන එකම සුවයක් තිබේ. එනම් නිවන් සුවය යි. “නිබ්බානං පරමං සුඛං” යනුවෙන් බුදු දහමේ ඉගැන්වෙන්නේ එය යි. එය ඉක්මවා යන සැපතක් ලෝකයේ නොමැත.

“වාන” යනු තෘෂ්ණාවට නමකි. “නි” යනු නික්මීම යි. ඒ අනුව වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මීම “නිබ්බාන” නම් වේ. ඒ තුළින් ක්ලේෂ ධර්ම නැවත නූපදින ලෙස සිඳී යයි. සියලු දුක් නිමවීම නිවන ලෙස හැඳින් වේ. යම් කුසලයක් සිදුකොට සැදැහැතියන් නිවන් සුවය ප්‍රාර්ථනා කරනුයේ එබැවිනි.

ලොව පවත්නා ජාති, ජරා, ව්‍යාධි, මරණ යනාදී සියලු දුක් හටගැනීමේ ප්‍රධාන හේතුව තණ්හාව බව අපි දනිමු. දුකෙහි නිමාවක් දැකීමට නම් එම තණ්හාව නිම කළ යුතු ම ය. තණ්හාව නැවත නැවතත් හට ගනී නම් දුක ද නැවත නැවතත් හටගනී. සත්ත්වයා භවයෙන් භවයට ගමන් කරනුයේ තෘෂ්ණාව නිස යි. මෙම තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලු කෙලෙසුන්ගෙන් නික්මීම නිවන යි. එලෙස සියලු දුක් නිමාවීම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ලෙස හැඳින්වේ. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දී මෙසේ වදාළ හ.

“ඉදං ඛො පන භික්ඛවෙ
දුක්ඛ නිරොධං අරිය
සච්චං යො තස්සායෙව
තණ්හාය අසේස විරාග,
නිරොධො චාගො
පටිනිස්සග්ගො මුත්ති අනාලයො’

මෙහි සිංහල අර්ථය මෙසේ ය.

මහණෙනි, දුක් නැති කිරීමේ ආර්ය සත්‍යය මෙය යි. එනම් තණ්හාව ඉතිරියක් නැතිව ඉවත් කිරීම, නැති කිරීම, අත්හැරීම, මුලුමනින්ම ඉවත දැමීම ඉන් මිදීම හා එහි නො ඇලීම යි.

මූලික වශයෙන් තණ්හාව තුන් ආකාරය. පස්කම් සැපතෙහි ඇති ආශාව හෙවත් ඉඳුරන් පිනවීමේ ඇති කැමැත්ත කාම තණ්හාවයි. භවයට හෙවත් සදාකාලික පැවැත්මට ඇති ආශාව භව තණ්හාව යි. මෙලොව හැකිතාක් සැප විඳීමට ඇති කැමැත්ත විභව තණ්හාව යි. මේ හැර විවිධාකාරයෙන් බුදුදහම තණ්හාව විස්තර කොට ඇත. අප සසර නැවත නැවතත් ඉපදීම, දිරායාම, මහලුවීම, ලෙඩවීම, මරණය හෙවත් ජීවිතයේ අවසානය ආදි සියලු දුක් විඳින්නේ තණ්හාව නිසා ය. එදිනෙදා ජීවිතයේ දී විවිධ ආශාවන් ඇති මිනිසුන් ඒවා ඉටුකර ගැනීමට නොයෙක් ආකාරයෙන් දුක් විඳින සැටි සමාජය දෙස බැලූ විට අපට තේරුම්ගත හැකි ය.

එම තණ්හාව කිසිදු ඉතිරියක් නොමැතිව සහමුලින්ම දුරු කළ බුද්ධාදී ආර්ය උතුමන් වහන්සේලා ගේ අත්දැකීම නිවන යි. එම අත්දැකීම සසර වසන තෘෂ්ණාව ඇති, කෙලෙස් සහිත අපට විඳගත නො හැකි ය. තේරුම්ගත නොහැකි ය.

එනිසාම අප ලියන, කතා කරන භාෂාව පවා දුක්ඛ නිරෝධයේ හෙවත් නිවනෙහි ස්වභාවය පැවසීමට සපුරා ප්‍රමාණවත් නො වේ. භාෂාවෙහි ඇත්තේ අප දන්නා දේ අපේ අදහස් හා අත්දැකීම් පැවසීමට යොදන වචන යි. නිවන අප ගේ අත්දැකීමක් නොවන බැවින්, ඒ ගැන විස්තර කිරීමට භාෂාව ප්‍රමාණවත් නොවේ.

එහෙත් භාෂාව නොමැතිව සසර හෝ නිවන විස්තර කිරීමට අප අසමත් වෙමු. මේ අනුව බුදුරජාණන් වහන්සේ ද පරමාර්ථ සත්‍යය වූ නිවන තේරුම් කරදීමට සම්මුතියක් වන භාෂාව භාවිත කළහ.

සත්ත්ව සන්තානයෙහි මුල්බැස ඇති තෘෂ්ණාව ඇතිතාක් සසර දුක පවතියි. එම නිසා ඉපදීම, ලෙඩවීම, මහලුවීම හා මරණය යනාදී කටුක අත්දැකීම්වලට මුහුණදීමට අපට සිදුවෙයි. තෘෂ්ණාව සපුරා නැති කළ විට සසර දුක ද සපුරා නැති වී යයි. මෙසේ තෘෂ්ණාව ද, ඉන් උපදනා සියලු දුක් දොම්නස් ද නැවත නූපදනා පරිදි නැතිවීම සැපතකි. එය බුදු දහමෙහි ඉගැන්වෙන පරම නිෂ්ටාව වන නිවන යි. සසර දුකට හා දුක් සහිත පැවැත්මට එකම හේතුව තණ්හාව නො වේ. එය මූලික හේතුව යි. රාග, ද්වේෂ, මෝහාදී තණ්හාව පෙරටු කොටගත් සියලු කෙලෙස් සසර දුක් උපදවයි. ඒ අනුව මිනිස් සන්තානයෙහි කා වැදී ඇති රාගාදිය මුලුමනින්ම ක්ෂයවීම නිවන යැයි ද බුදුරජාණන් වහන්සේ වදාළහ.

තණ්හාව පුද්ගලයාටත්, සමාජයටත් දුක් උපදවයි. නොයෙක් කරදර හිරිහැර පමුණුවයි. මෙම තණ්හාව නිසාම රැස්කරගත් ධනය ඇතැමුන් ආරක්ෂා කරනුයේ නිධානයක් රකින නාගයන් සේ ය. ඔවුහු ධනය තමා ගේ වත්, අනුන් ගේ වත් යහපත සඳහා යොදා නො ගනිති.

කොපමණ ලැබුණත් තෘප්තියකට පත් නොවෙති. අනුන්ගේ දේ ද බලෙන් හෝ නීති මාර්ගයෙන් හෝ තමා සන්තක කර ගැනීමට වෙහෙසෙති. ඉඩකඩම් , දේපළ, මිල මුදල් ආදී දේ පිළිබඳ ආරවුල් හටගන්නේ ද මෙම තෘෂ්ණාව නිසා ය.

බොහෝ දුක් පීඩා විඳිමින් අපමණ වෙහෙස වී මිනිසුන් රැකීරක්ෂා ආදිය කරන්නේ සම්පත් උපයා ගැනීමට ඇති තණ්හාව නිසා ය.

ඇතැම් මහා ධනවතුන් ගේ සිට දුගී දුප්පතුන් දක්වා ම තත්ත්වය මෙබඳු ය. තණ්හාව නිසා ඇතැම්විට දෙමව්පියෝ හා දරුවෝ ද, සහෝදර සහෝදරියෝ ද අමනාප වෙති. ගැටුම් ඇතිකර ගනිති. ඤාතීහු ද, හිතවත්හු ද, අසල්වාසීහු ද අමනාප කර ගනිති. ලෝකයේ සියලු අරගලවලට ප්‍රධාන හේතුවක් වන්නේ ද තණ්හාව ය. බල තණ්හාව මුල්කොටගත් යුධ කෝලාහල යනාදිය නිසා මිනිසුන්ට වටිනා ජීවිත පවා අහිමි වෙයි. මේ අනුව තණ්හාවට වසඟ වූ සිත පුද්ගලයාට ද සමාජයට ද ඉතා භයානක විපත් පමුණුවන්නේ ය.

යම් පුද්ගලයකු බහුභාණ්ඩික බවට පත්කර වීමට ද ප්‍රධාන හේතුව මෙම තණ්හාවයි. එවැනි බහුභාණ්ඩිකත්වයට හුරු වූ පුද්ගලයකු පහසුවෙන් පෝෂණය කළ හැකි හෙවත් රැකිය හැකි අයකු නොවේ.

ආහාර, ඇඳුම්, පැළඳුම් නිවාස යනාදි සියල්ල ඉතා ඉහළ මට්ටමකින් අපේක්ෂා කරන අය ජන සමාජය තුළ වැඩියෙන් දක්නට ලැබෙයි. පමණට වඩා වියදම් කිරීමට ද ඔවුහු පෙළඹෙති. අධික පරිභෝජන රටාවකට හුරු වු අය දැකීමෙන් පසු අනුකරණයට මෙන් එවැනි හැසිරීම් රටාවන් ප්‍රදර්ශනය කරන්නවුන් ද කොතෙකුත් දැකිය හැකිය. ඔවුහු ක්‍රමයෙන් බහුභාණ්ඩික ජීවන රටාවකට යොමු වෙති. ඒ නිසාම අසීමිත ලෞකික ආශාවන් පසුපස හඹා යති.

තමා ගේ ආර්ථික ශක්තිය දුර්වල වූ විට ණය වී අත්‍යවශ්‍ය නො වූ දේවල් රැස්කර තබා ගැනීමට පෙළඹෙති. නොයෙකුත් ගෘහභාණ්ඩ, තාක්ෂණික උපකරණ, සුවිසල් සුවපහසු ගේ දොර, මිල අධික ඇඳුම් මෝස්තර ආදියෙන් කැපී පෙනීමට යාම නිසා ඇතැමුන් ජීවත්වන්නේ සමාජයට නොපෙන්වන ආර්ථික ප්‍රශ්න රැසක් මධ්‍යයේ ය. මේ සියල්ලට ම මුල සරල චාම් දිවි පෙවෙතකට හුරු නොවීමයි. අසීමිත තණ්හාව යි.

එබැවින් ආශාවන්ට වහල් වී ජීවත්වීමෙන් අප ඈත්විය යුතු ය. එය ජීවිතයම විනාශය කරා ගෙන යාමක් වන හෙයිනි. අතෘප්තිකර තණ්හා අධික ජීවිතයක බලාපොරොත්තු සියල්ල කිසිසේත් සම්පූර්ණ කරගත නො හැකි ය.

එබැවින් එවැනි අපෘත්තිකර ජීවිතයක් ගත කිරීමට වඩා ලද දෙයින් සතුටු වී සැහැල්ලු අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමට අප හුරුපුරුදු විය යුතු ය. එවිට ජීවිතයේ අප විසින් ම අප ගේ නොදැනුවත්කම නිසාම ගොඩනඟා ගනු ලබන ප්‍රශ්න බොහොමයක් අවම වී යනු ඇත.

ධාර්මික අල්පේච්ඡ දිවි පැවැත්ම මෙලොව ජීවිතයේ සාර්ථකත්වයට බෙහෙවින් බලපාන්නා සේ ම තණ්හාව දුරු කර සංසාර දුකින් අත්මිදීමට ද මූලික වශයෙන් ම උපකාරි වෙයි.

මෙසේ කාම, භව හා විභව යන ත්‍රිවිධ තණ්හාව ම දුකට මුල් වෙයි. අප හුරුපුරුදු විය යුත්තේ සසර දුකට මුල්වන, අප අතර ගැටුම් ඇති කරවන, හොඳ හිත පලුදු කරවන තණ්හාව පාලනය කර ගැනීමට ය. තණ්හාවට දාසයෙකු නො වී කටයුතු කිරීම ට ය.

එසේම අසීමිත තණ්හාවෙන් අනුන් පරදවා යාමේ ආදීනව තේරුම් ගනිමින් අල්පේච්ඡව ජීවත්වීමට ය. ලද දෙයින් සතුටුවෙමින් බහුභාණ්ඩික නොවී කටයුතු කිරීමට ය. එබඳු ජීවිතයක් ගත කරන්නාට දුක් පීඩා අඩුවෙයි. හෙතෙම සැහැල්ලුවෙන් හා සතුටින් ජීවත් වෙයි. ඔහුට ජීවත්වීම පහසු ය. මහමෙරක් හිස පිට තබා ගත්තාක් මෙන් හෙතෙම පීඩා නො විඳී. එවැනි සැහැල්ලු පී‍්‍රතිමත් සාමකාමී ජීවිතයක් ගත කිරීමට අප සැම හුරුපුරුදු විය යුතු ය.

නවම් පුර අටවක පෝය

පෙබරවාරි 08 අඟහරුවාදා පූර්වභාග 06.18 පුර අටවක ලබා 09 බදාදා පූර්වභාග 08.33 ගෙවේ.
08 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]