[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර අටවක 2022-02-08

වැඩ පැවරීමේ දී මේ ගැනත් සිතන්න

තමා නියෝජනය කරන වයස, සමාජ තත්ත්වය, තනතුර කුමක් වුවද උදෑසන සිට රාත්‍රිය දක්වාත්, අද සමාජය කාර්ය බහුලව සිටී. කායිකව හෝ මානසිකව හෝ වාචසිකව හෝ සිය ශක්තීන් යොදවා කටයුතුවල නිරතව සිටී. පවුල් පරිසරයක ජීවත්වන විට මව්පියන් වෙතින් දරුවන්ට කටයුතු නියම වෙයි. දරුවන් වෙතින් මව්පියන්ට ද කටයුතු පැවරෙයි. ආයතනයක සේවය කරන විට ආයතන ප්‍රධානියා පවරන කටයුතු සේවකයා ඉටුකළ යුතු ය. පාසලක දී ගුරුවරයා නියම කරන අභ්‍යාස ආදිය ශිෂ්‍යයා විසින් නිමා කළ යුතු ය.

තමාට පැවරුණු කාර්යය අවසන් කර ගැනීමට නොහැකි වූ විට රාජකාරි වැඩි වුණා. ගෙදර වැඩ පිරිලා, අම්මලාගෙන් බේරෙන්න බෑ හැම වැඩක්ම කරන්න ඕන. දරුවන්ගේ වැඩ නිසා මට නිදහසක් නෑ. වෙළඳසැලේ කටයුතු නිසා සමාජ වැඩකට උදව් වෙන්න වෙලාවක් නෑ. පන්සල් යන්න, සිල් ගන්න, දන් ටිකක් දෙන්න වෙලාවක් නෑ. වැඩ ගොඩ ගැහිලා වැනි නොයෙක් වදන් බොහෝ දෙනාගේ මුවින් ප්‍රකාශ වනු අසන්නට ලැබේ.

බුදුරජාණන් වහන්සේ මෙම තත්ත්වය හඳුන්වන්නේ “අප්පකිච්ච” බව නොමැතිවීමක් ලෙසයි. එනම් අල්පකෘත්‍යතාවයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් වැඩ අධික වීමයි.

බෞද්ධයා හොඳින් දන්නා සූත්‍ර දේශනාවක් තමයි මෙත්ත සූත්‍රය හෙවත් කරණීය මෙත්ත සූත්‍රය. එහි දක්වන අප්පකිච්ච ගුණය යනු වැඩ අඩු බවයි. මිනිසුන්ගේ අධික තෘෂ්ණාව, අන් අය අබිභවා යාමේ කැමැත්ත, සැප ලැබීමේ හෝ තනතුරු ලැබීමේ රුචිය වැනි හේතු සාධක නිසා තම ශක්තියට වඩා වැඩි වැඩ ප්‍රමාණයක් කිරීමට යොදා ගනියි. එයින් සිදු වන්නේ කළ හැකි හෝ කළ යුතුම කටයුතු පවා මඟ හැරී යාමයි.

එයින් සිතේ සතුට, නිදහස, යහළුවන්, සමාජ සම්බන්ධතා, පවුල් ජීවිත ආදිය බිඳ වැටේ.

ගල්කඩන පුද්ගලයාට කුළුගෙඩිය දිය යුත්තේ ඔහුගේ කායික ශක්තියට ගැළපෙන ලෙස ය. දරුවාට පාඩම් වැඩ පැවැරිය යුත්තේ ඔහුගේ දැනුමට, වයසට ගැළපෙන ලෙස ය. ආයතනයක සේවකයකුට වැඩ පැවරිය යුත්තේ ඔහුට හෝ ඇයට කළ හැකි පමණට ය.

කොපමණ ඉලක්ක තිබුණත් අසීමිත වැඩ ප්‍රමාණයක් පැවරීමෙන් සිදුවන්නේ විශාල අලාභයකි. හානියකි, විපතකි, එමගින් ගුණාත්මක බව හීන වේ. පුද්ගල සෞඛ්‍ය තත්වයට පවා බලපෑම් එල්ල වේ. කොපමණ වැඩ අධික වුවත් නිසි කාල කළමනාකරණයක් තිබේ නම් කටයුතු සියල්ල උත්සාහයෙන් සහ සුදුසු අයුරින් නිමා කර ගත හැකි ය. බුදුරජාණන් වහන්සේ තරම් වැඩ අධික වූ ශාස්තෘවරයාණන් වහන්සේ නමක් නැත. උන්වහන්සේට සැතපීමට පවා වෙන් වූයේ පැය දෙකක් පමණ කාලයකි. එහෙත් නිසි කාල කළමනාකරණයක් පැවැති බැවින් සියල්ල ජය ගත්හ.

වැඩ අධිකවීම කම්මැළි පුද්ගලයාට නිදහසට කරුණකි. එහෙත් මෙහි දී අවධානය යොමු කළ යුතු වන්නේ වැඩපැවරීම සම්බන්ධයෙනි. සේවා ස්ථානයේ දී හෝ වෙනත් ස්ථානයක දී හෝ ඇතැම්හු තමාට විරුද්ධව පළිගැනීම අරමුණු කරගෙන අධික ලෙස වැඩ පවරති. ඒවා අවසන් කර ගැනීමට නොහැකි වූ විට ඔහුට හෝ ඇයට විරුද්ධව විවිධ පියවර ගනිති. එවැනි කටයුතුවලින් තොරව පුද්ගල ශක්තීන් හඳුනාගෙන වැඩ පැවරීම වැඩෙහි සාර්ථක බවටත්, ගුණාත්මක ප්‍රතිඵල ලැබීමටත් හේතු වෙයි. වැඩ අඩු බව සහ පුද්ගල ශක්තීන් හඳුනාගෙන වැඩ පැවරීම සැබෑ බෞද්ධයකුගේ උතුම් ලක්ෂණයකි.

නවම් පුර අටවක පෝය

පෙබරවාරි 08 අඟහරුවාදා පූර්වභාග 06.18 පුර අටවක ලබා 09 බදාදා පූර්වභාග 08.33 ගෙවේ.
08 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]