[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටමස්ථානයේ නායක හිමි පදවිය

ලක්දිව සංඝරාජ පදවිය 14:

අටමස්ථානයේ නායක හිමි පදවිය

" අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලිමහ සෑ රදුන් වහන්සේ ඇතුළු අටමස්ථානයන්හි අධිපති පදවිය සඳහා හිමිනමක පත් කිරීමේ ක්‍රමවේදය ලක්දිව අන්‍ය පූජනීය ස්ථාන සඳහා අධිපති හිමිනමක පත් කිරීමේ ක්‍රමවේදයට වඩා වෙනස් ක්‍රමවේදයකි. පාරම්පරික උරුමය සේ ම අවස්ථා ගණනාවක දී අධිකරණයෙන් ලබා දුන් තීන්දුවලට අනුව මෙම පදවිය පත් කිරීම පිළිබඳ තොරතුරු හමු වෙයි."

අනුරාධපුර යුගයේ අටමස්ථානාධිපති හිමිනමක පිළිබඳ තොරතුරු හමු නොවෙයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහා සෑය, ථූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය, ජේතවනාරාමය, ලෝවාමහාපාය සහ ලංකාරාමය යන පූජනීය ස්ථාන අටමස්ථානය වශයෙන් හැඳීන්වෙන අතර උඩමලුව නමින් හැඳීන්වෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භාරකාරත්වය අටමස්ථානාධිපති හිමියන් යටතේ පවතින අතර අනෙකුත් සිද්ධස්ථාන සඳහා අටමස්ථානාධිපති හිමියන් විසින් විහාරාධිකාරී හිමිවරුන් පත් කරනු ලබයි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් ගරු සිරිත් ඉටු කිරීම සඳහා සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ මෙරටට පැමිණි අටලොස් කුලයක ශිල්ප ශ්‍රේණිවලට අයත් පිරිස් යොදවන ලද බවට තොරතුරු හමු වෙයි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් අධිපති හිමිනමක පත් කිරීමේ සම්ප්‍රදාය මහනුවර යුගයෙන් මෙපිට සිදු වූ අන්දම පිළිබඳ තොරතුරු හමු වෙයි. මුල් කාලයේ ප්‍රාදේශීය සංඝ සභා වශයෙන් සුළු සමාගම් පැවති අවධියේ නුවර කලාවියේ සුළු සමාගමේ නායකත්වය වූ අනුනායක පදවිය අටමස්ථානයට හිමි වූයේ යැයි පිළිගැනීමයි. එසේම දළදා වහන්සේගේ භාරකාරත්වය මහා නායක මාහිමිපාණන් වහන්සේ හොබවනු ලබන බැවින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භාරකාරත්වය හොබවන නාහිමිපාණන් වහන්සේ අටමස්ථානයේ අනුනායක හිමියන් ලෙස ව්‍යවහාර කළ බවට ද මතයක් පවතී.

මල්වතු විහාරයේ මහා නායක හිමියන්ගේ නිර්දේශය අනුව රජතුමා විසින් අටමස්ථානය සඳහා නායක හිමිනමක පත් කරන ලද බව මල්වතු පාර්ශ්වයේ මහානායක ධුරය හෙබවූ මැදගම දේවමිත්ත මහානායක හිමියන් උතුරු පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා වෙත දන්වා සිටි අවස්ථාවේ ඒජන්තවරයාගේ පිළිතුර වී ඇත්තේ එම තනතුර පත් කිරීමේ බලය ඇත්තේ නුවරවැව පවුලට සහ පළාතේ මුලාදෑනීන් හට බවයි.

පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමි

උඳුරුව හල්මිල්ලෑවේ ශ්‍රී සුමන රතනපාල නාහිමි

මහනුවර යුගයේ නුවර වැව, කලා වැව සහ පදවිය වැව යන වැව් තුනෙන් සීමා වූ බිම් ප්‍රදේශය හෙවත් නුවර කලාවිය පාලනය කරන ලද්දේ නුවරවැව මහවන්නියා විසිනි. ශ්‍රී මහා බෝධින් වහන්සේ මෙරටට වැඩම කරවන අවස්ථාවේ මෙරටට පැමිණ බෝධි භාරකාරත්වය ඉසිලු බෝධිගුප්ත පරම්පරාවෙන් නුවරවැව මහවන්නියා පැවත ආ බව පිළිගැනීම වූ අතර ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ගිහි භාරකාර ධුරය ද දැරීය. නුවරවැව මහවන්නියාගේ නිර්දේශය අනුව නුවර කලාවියේ පත්තු 16 භාරව සිටි වන්නි ජනප්‍රධානීන්ගේ එකඟත්වය ලබා අටමස්ථානාධිපති හිමිනමක පත් කරන ලදැයි විශ්වාස කෙරෙයි. මෙලෙස තෝරා පත් කළ අටමස්ථානාධිපති හිමියන් වෙත ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අක්තපත්‍ර පිරිනමා පදවිය ස්ථිර කොට ඇත.

කාලානුරූපී පරිපාලන බෙදීම් අනුව අටමස්ථාන භාරකාර කමිටුවෙහි සංයුතිය සහ හඳුන්වන පුද්ගල නාමයන් වෙනස් වී ඇත. වර්ෂ 1863 වන විට නුවරවැව පවුලේ ප්‍රධානියා වූ නුවරවැව බණ්ඩා නමැත්තා දරුවන් නොමැතිව මිය ගිය බැවින් ඔහුගේ බිරිඳ වූ ඕවිල්ලේ කුමාරිහාමි, මව සහ නුවරවැව ගල්ගොඩ බණ්ඩා යන තිදෙනා නුවරවැව පවුලේ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත් වූ අතර එය හිමි වූයේ ඕවිල්ලේ කුමාරිහාමි වෙත ය. ඕවිල්ලේ කුමාරිහාමිගෙන් හිමිකම් ලැබූ පරපුර බුලංකුලම නමින් හැඳීන්වෙන අතර අටමස්ථාන කමිටුවේ සභාපති පදවිය සහ අටමස්ථානයේ ගිහි භාරකාරත්වය හොබවනු ලබයි.


රුවන්වැලි සෑ රදුන් අසල පිහිටි නුවරවැව බණ්ඩාගේ සොහොන

වර්ෂ 1905 දී රජයෙන් ඉදිරිපත් කළ පනතට අනුව නුවරවැව පවුලේ ප්‍රධානියා, අටමස්ථානාධිපති, හුරුළු නුවරගම් සහ කලාවැව් යන පළාත් භාර රටේ මහත්තුරු, මල්වතු අස්ගිරි සහ ශ්‍රීපාදස්ථානයේ නායක හිමිවරුන්ගේ නියෝජිතයකු වශයෙන් අටමස්ථාන කමිටුවේ සංයුතිය වෙනස් කොට තිබේ. 1933 වසරේ දී රටේ මහත්තුරු ද මෙම කමිටුවෙන් ඉවත් කොට ඇත. අටමස්ථාන භාරකාර කමිටුව විසින් පත් කරනු ලබන අධිපති හිමියන් මල්වතු පාර්ශ්වයේ සංඝ සභාවට දැන්වීමෙන් පසු මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් ද පත්වීම අනුමත කොට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දන්වනු ලැබේ. ඉන් පසු ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් විසින් සන්නස් පත්‍රයක් පිරිනමා පදවිය රාජ්‍ය මට්ටමින් පිළිගත් බව තහවුරු කරනු ලැබෙයි.

වර්ෂ 1815ට පෙර උලුක්කුලමේ හිමි, ඇලගමුවේ හිමි සහ පාලුවැව හිමි යන හිමිවරුන් අටමස්ථානයේ නායක ඨානාන්තරය හොබවා ඇත. වර්ෂ 1815න් පසු උල්පත්ගම නාහිමි, ඉපලෝගම ධම්මජෝති නාහිමි, පල්ලේගම සිරි සුමන රේවත නාහිමි, කළුබ්බේ ශ්‍රී සුමන ධම්මරක්ඛිත නාහිමි, උඳුරුව හල්මිල්ලෑවේ ශ්‍රී සුමන රතනපාල නාහිමි, පහළ තලාවේ ශ්‍රී සුමන මේධංකර නාහිමි, පල්ලේගම ශ්‍රී සුමන රතනපාල නාහිමි, උඳුරුව හල්මිල්ලෑවේ ශ්‍රී සුමන රතනපාල නාහිමි, පල්ලේගම ශ්‍රී සුමන රේවත ඤාණරතන නාහිමිවරුන් අටමස්ථානයේ නායක පදවිය හොබවා ඇති අතර 1997 වර්ෂයේ සිට පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ විසින් අටමස්ථානාධිපති පදවිය හොබවනු ලබති.

නවම් පුර අටවක පෝය

පෙබරවාරි 08 අඟහරුවාදා පූර්වභාග 06.18 පුර අටවක ලබා 09 බදාදා පූර්වභාග 08.33 ගෙවේ.
08 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]